ණය හිමියන්ගේ රැස්වීමේ ලබන සතියේ : ශ්‍රී ලංකාව බංකොලොත් බවෙන් ඉවතට

ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබා දී තිබෙන රටවල කමිටුව ලබන සතියේ රැස්වන බවත්, ඉන් පසුව ශ්‍රී ලංකාවේ බංකොලොත් රටක් ලෙස ඇති පිළිගැනීම ඉවත් කරගත හැකි බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

එම රැස්වීමෙන් පසු ශ්‍රී ලංකාවට බංකොලොත් බවින් ඉවත්වීමට හැකියාව ලැබෙන බවට ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා සඳහන් කළේ අනාගතයට ගැලපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද රටේ දරුවන් වෙනුවෙන් නවීන අධ්‍යාපනයක් ලබා දීමට රජය කැපවී කටයුතු කර තිබෙනවා. අතීතයේ අධ්‍යාපන ක්‍රම පිළිබඳ දැන් කථා කර ඵලක් නැහැ. අප අනාගතය දෙස බලමින් දකුණු ආසියාවේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් මේ රට තුළ ඇති කළයුතුයි. අපේ රටේ ශක්තිය අධ්‍යාපනයයි. සෑම විටම අපේ රට තුළ හොඳ අධ්‍යාපන ක්‍රමයක් පැවතුණා. පසුගිය කාලය තුළ අධ්‍යාපනය වෙනුවෙන් අප හැකි අයුරින් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. මම භාරගනු ලැබුවේ බංකොලොත් රටක්. ඒ වන විට දේශපාලන පක්ෂ කැඩී ගොස් තිබුණා. ඒ නිසා අප කණ්ඩායමක් එක් වී ආණ්ඩුවක් නිර්මාණය කර රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවා. දැන් අප අනාගතය පිළිබඳව සිතිය යුතුයි. දැන් අපි ආර්ථික ප්‍රශ්න ක්‍රමයෙන් විසඳා ගනිමින් ඉදිරියට පැමිණෙමින් සිටිනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ සිදු කළ ප්‍රකාශය අනුව අපට සාර්ථක ලෙස ඊළග කාර්තුවේ මුදල් ලැබී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබා දී තිබෙන රටවල කමිටුව ලබන සතියේ රැස් වෙනවා. එම රැස්වීමෙන් පසු අපට බංකොලොත්බාවෙයන් ඉවත්වීමට හැකියාව ලැබෙනවා. වසර දෙකක් ගතවීමට පෙර මෙම තත්ත්වය උදාකර ගැනීමට හැකිවීම පිළිබඳ මම ආඩම්බර වෙනවා.

අපට එයින් සෑහීමකට පත් විය නොහැකියි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවත් සමඟ ඉදිරියට යා යුතුව තිබෙනවා.

තව වසර දෙකකින් විරැකියාව 5%ක් දක්වා අඩු කරගත යුතුයි. ඒ වගේම අපේ ආදායම් ද වැඩිකර යුතුයි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා. මේ රට දියුණු කළ හැකිවන්නේ එම වැඩසටහන ඉදිරියට ගෙන ගියහොත් පමණයි. අපි අලුතින් සිතිය යුතුයි. එහිදී අලුත් තාක්ෂණය අධ්‍යාපනයට ඇතුළත් කිරීමට අප කටයුතු කර තිබෙනවා.

ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීමයි. සටන් පාඨ කියමින් කාලය ගත කළ යුගය දැන් අවසන්. අපට නැවතත් එම යුගයකට යන්න බැහැ.

රට දියුණු කිරීමට නම් අප අලුත් මාර්ගයක ගමන් කළයුතුයි. ඒ සඳහා අවශ්‍ය ආර්ථික පරිවර්තනය ඇති කර, රට තුළ සීග්‍ර දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය ගෙනවිත් තිබෙනවා. ඒ නිසා දේශපාලනයෙන් තොරව මෙය සම්මත කර ගැනීම සඳහා සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරනවා. මේ කාලයේ සාම්ප්‍රදායික දේශපාලනය කරන්න බැහැ. කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් සියලුදෙනා එකතු වී රටේ සහ දරු පරපුරේ අනාගතය වෙනුවෙන් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වැඩ කළයුතුයි.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *