| |

විදුලි බල පනත් සම්මතයෙන් හෙළි වූ ව්‍යාජ ජනමතය – ජයවීර සෙනෙවිරත්න

 

විදුලි බල මණ්ඩලය කොටස් අටකට කඩා එහි තිබු ඒකාධිකාරය අවසන් කරන්නට රජය ඉදිරිපත් කළ නව විදුලි බල පනත වැඩි කලබලයක් නැතව ම පාර්ලිමේන්තුවේ සම්මත වුයේ එයට සහ රජයට එරෙහිව තිබෙනවා කියා ඇතැම් පිරිස් කළ විරෝධය පිලිබඳ සියලු ප්‍රචාර පුස්සක් කරමිනි. රට ම අඳුරේ තබනවා කී වෘත්තීය සමිති නායකයින්ට අවසානයේ තම සාමාජිකයින් දෙතුන් සියයක් වත් සටනට කැඳවා ගත නොහැකි වීම කැපී පෙනෙන සිදුවීමකි. එයින් පෙනී ගියේ ජනතාව හෝ සේවකයින් හෝ මේ කයිවාරුකාරයින් සමග නැති බව යි. මොවුන්ගේ වොයිස් කට් දේශපාලනයෙන් මවා තිබු ඊනියා ජන මතය ද ජනමාධ්‍ය මගින් තහවුරු කළ මිත්‍යාවක් බව ද පැහැදිලි වී ය.

විදුලි බල පනත ගේන්න හැදුවොත් මුළු රට ම අඳුරේ තියන බව කියමින් සටන පටන් ගත් කයිවාරුකාර වෘත්තීය සමිති නායකයින් කීවේ විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසි තුන් දහස වැඩ කරන්නේ ඇමතිගේ අණට අනුව නොව තමන්ගේ අණට බව යි. ඒ අණ එදා පිළිගෙන විනය විරෝධී වැඩ කළ සේවකයින් 65 කගේ  වැඩ තහනම් කළ විට විසිතුන් දහස පැමිණියේ නැත. කයිවාරුකාරයින් කළේ උසාවියට යෑම පමණකි.

මොවුන් කියන්නේ ජන වරමක් නැති ජනාධිපතිට සහ ආණ්ඩුවට මේවා කරන්නට ජනතාව ඉඩ දෙන්නේ නැති බව යි. කතා කරන්නේ ලක්ෂ ගණන් ජනතාව ගෙන්වා කොළඹ වට කරන්නට ය. ජනාධිපති ගෙදර යවන්නට ය. ඒ කතා මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමෙන් ව්‍යාජ ජන මතයක් නිර්මාණය කරන්නට පමණක් මොවුන්ට හැකි වී තිබේ. නමුත් ජනතාව ඒ අනුව ක්‍රියා කරන්නේවත් මොවුන්ට සහය දෙන්නේවත් නැත. අඩු තරමේ ඔවුන්ගේ සමිති සහ සංවිධානවල සිටින බව කියන සාමාජික පිරිසවත් මොවුන්ගේ ඊනියා සටන්වලට සහභාගී වන්නේ නැත.

වෘත්තීය සමිති සහ විපක්ෂයේ කණ්ඩායම් මෙබඳු ව්‍යාජ ජන මතයක් ගොඩනගා මෙතෙක් පවත්වාගෙන ආවත්, එය ව්‍යාජයක් බව අවස්ථා ගණනාවක දී හෙළි වී ය. වරෙක එය මහ ඝෝශාවක් ලෙස මතු වුයේ විදුලි ගාස්තු වැඩි කළ අවස්ථාවේ දී ය. සාමාන්‍ය ජනයාට බරපතළ ලෙස දැනුනු ප්‍රශ්නයක් නිසා එමගින් ජනයා වීදි බස්සන්න හැකි වේ යැයි මොවුන් සිතුවා විය හැකි ය. නමුත් රටේ ඇත්ත යථාර්ථය දැන සිටි ජනයා විපක්ෂයේ එම ඇම ගිල්ලේ නැත.

ආදායම් බදු වැඩි කළ විට ද කණ්ඩායම් ගණනාවක් පාරට බැස්සේ මුළු රාජ්‍ය යන්ත්‍රය ම නවතා දමන බව කියමිනි. සියලු රජයේ සේවකයින් වර්ජනය කරවන බව කියමිනි. ඒ මොහොතේ පෙරට ආ වොයිස් කට් කයිවාරුකාරයින්ගේ කියමන් වලින් මුළු රට ම වෙවුලා ගියා සේ පෙනිණි. රජය බදු සතයකින්වත් අඩු කළේ නැත. ඇතැම් විට අනෙක් අයට නොපෙනුනාට මේ වොයිස් කට් කාරයින්ගේ කෙරුවාවේ තරම ආණ්ඩුව දැන සිටියා විය හැකි ය.

වැට් බදු සියයට 18 ක් කළ අවස්ථාවේ දී කීවේ ද දශ ලක්ෂ ගණන් ජනයා වීදි බස්වා ආණ්ඩුව ගෙදර යවන බවකි. ජනතාව පාරට බැස්සේ නැත. කයිවාරුකාරයින් පෙනෙන්නට නොසිටියේ ඔවුන් ගෙදර ගිය නිසා විය හැකි ය.

ආණ්ඩුවට හෝ ජනාධිපතිට හෝ ජනවරමක් නැති බව සහ ජනතාව ආණ්ඩුවේ වැඩ පිළිවෙළට විරුද්ධ බව මොවුහු දිගින් දිගට කියති. එසේ වුවත්, සැබෑ ජනමතය තිබෙන්නේ මේ කයිවාරුකාරයින්ට එරෙහිව ය. මේ වන විට පෙනෙන්නේ ඔවුන් ද එය තේරුම් ගෙන ඇති බවකි. ඔවුන්ගේ සටන් දිය වී යාමෙන් එය පැහැදිලි විය යුතු ය.

දැන් මොවුන් කියන්නේ සැබෑ සටන තියෙන්නේ තව ඉදිරියට බව යි. මේ පටන්ගැන්ම පමණක් බව යි. එසේ කියන විට ප්‍රශ්න මතු වන්නේ මොවුන් මෙතෙක් කළේ මොනවාද යන්න යි.

ජනතාව නිහඬව ප්‍රකාශ කොට ඇත්තේ මේ කයිවාරුකාරයින්ගේ  බොරු බේගල් වලට රැවටෙන්නට තමන් සුදානම් නැති බව යි. වොයිස් කට් කාරයින් සහ ඔවුන් පුම්බන ජනමාධ්‍ය තවමත් එය තේරුම් ගෙන නැති නම් ඔවුන්ට තවත් අත්හදා බැලීම් කොට යළි යළිත් පස්ස බිම ඇණ ගන්නට අවස්ථා එළඹෙනු ඇත.

ජනතාවට නම් ඔවුන් ගැන වගේ වගක් නැත.

ජයවීර සෙනෙවිරත්න

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *