ඔක්තෝබර් විප්ලවය සියවස සමරයි මෛත්‍රී, රනිල් පෙරමුණ ගනිති – මහින්ද රත්නායක

 

 මානව ඉතිහාසයට විශාල බලපෑමක් කළ රුසියානු විප්ලවයට වසර 100ක් සම්පූර්ණ වන්නේ මේ වසරේ දී ය. මේ කියන ලද විප්ලවයට ඇති ආකර්ෂණය දුබලව ඇති නමුත් ලෝකයේ සෑම රටකම පාහේ සිටින වාමාංශිකයෝ රුසියානු විප්ලවය සමරති. රුසියානු විප්ලවයට ශ්‍රී ලංකාවේ ද සැලකියයුතු ආකර්ශනයක් නැති නමුත් පසු ගිය 13(ඊයේ)වෙනිදා රුසියානු විප්ලවයේ ශත සංවත්සර උත්සවය පැවැත් විය. යහහපාලන ආණ්ඩුවේ නායකයින් දෙදෙනා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද මේ ශත සංවත්සර උත්සවයට සහභාගි වූහ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ජනවාරි 08 ජයග්‍රහණයට උරදුන් වාමාංශිකයින් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදින් මෙම සංවත්සර උත්සවය සැමරීමට පෙරමුණ ගැනීමය.

මේ කියන ලද උත්සවය පිළිබඳ බොහෝ වාමාංශික කණ්ඩායම්වලට ඇත්තේ විවේචනයකි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ ශත සංවත්සර සැමරුමේ ආරාධිතයෙක් වීම මේ කියන ලද විවේචනවලට පදනම වී ඇති බව පැහැදිළිව පෙනෙන්නට ඇත. විවේචකයින්ගෙන් අතිමහත් බහුතරය රාජපක්ෂ ජනාධිවරයාගේ පාලක රෙජීමය වෙනුවෙන් පෙනී සිටි අය පමණක් නොව එම කඳවුරේ සිටින අය වෙති. පසුගාමී සමාජ බලවේගයන් නියෝජනය කරන මෙම පිරිසට රුසියානු විප්ලවයේ ප්‍රජාන්ත්‍රවාදි අභිලාෂයන් පිළිබඳව ඇති වැටහීම ඉතා අල්ප ය. එහෙයින් රුසියානු විප්ලවයේ පමණක් නොව මූලික වශයෙන් බටහිර ලෝකයේ සිදු වූ වැදගත් ජනතා නැගිටීම් පිටුපස තිබූ ප්‍රජාතන්ත්‍රවාදි අභිලාෂයන් පිළිබඳ මේ ලිපියෙන් විමසා බැලීමට අදහස් කෙරේ. ලංකාව සම්බන්ධයෙන් ගත් කල ජනවාරි 08 වෙනිදා පෙරළියේ අර්ථය ද ප්‍රජාතවන්ත්‍රවාදය පිළිබඳව එකක් මිස වෙන යමක් නොවේ.

නිදහස, යුක්තිය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ආරම්භ වන මේ ජනතා නැගිටීම් පටන් ගන්නේ ධනපති පංතියේ උවමනාව මත ය. රාජාණ්ඩුවලටත්, රදල බලයටත් විරුද්ධව සාධාරණත්වයේ සටන පළමුවෙන් ආරම්භ වූයේ එංගලන්තයෙනි. එදා 1644 වනවිට එංගලන්තයේ රජමාලිගාව හෙල්ලූම් කමින් පන්ති සටනක් ලෙසින් ඇරඹුණේ ඒ නිදහසේ සටන ය. එම සටන තුළින් ඉදිරියට පැමිණි නායකයා වන්නේ ඔලිවර් කොම්වෙල් ය. ඔහු ඉහළ පවුලක කෙනෙක් වුයේ වී නමුත් පොඩි මිනිසාගේ අයිතිය වෙනුවෙන් පාලනය වෙනස් කිරිමට ඉදිරියට පැමිණියේ ය. ඒ යුගයේ කම්කරු පංතිය හැටියට විශාල පිරිසක් ඒකාරාශී වී සිටියේ නැත. සුළු පරිමාණ වැඩපොළ තුළ වැඩ නායකයෝ සිටිය හ. වැඩ පොළේ අයිතිය තිබුණේ ඒ වැඩ නායකයින්ට ය. කඩකාරයෝ, කරත්තකාරයෝ, නගරවල සිටි නමුත්, අළුත් ව්‍යාපාරික, කොටස් විප්ලවයේ කර්තෘක බලවේගය විය. කම්කරුවන්ගේ හඬත් ඒ විප්ලවය තුළ තුබූ නමුත් ඔලිවර් කොම්වෙල් එයට ඉඩ දුන්නේ නැත. සම අයිතිය, සමානාත්මතාවය, සාධාරණ නොවන බව ක්‍රෙම්වෙල් පැවසුවේය. එංගලන්ත විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ලබාදුන් නමුත් එය සමාජ සාධාරණත්වය ඉටුකළ බව කළ සඳහන් නොවේ.

ඊළග විප්ලවය ආරම්භ වූයේ ඇමරිකාවේ ය. බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වී ස්වපාලනයක් ලබාගැනීමේ සටනක් ලෙසටයි එය මතු වුයේ. පූර්ණ නිදහස 1787 වනවිට ලැබුණේ වී නමුත් වහල්ක්‍රමය ඒ රට තුළ දිගටම තිබුණි. එය නැති කළේ ධනපති නායකයකු වූ ඒබ්‍රහම් ලින්කන්ගේ නායකත්වයෙන් යුත් අරගලයෙනි. 1862 මේ විප්ලවය ආරම්භ වූයේ සිවිල් යුද්ධයක් ලෙසට ය. 1863 දි එම විප්ලවය තුළින් ඇමෙරිකාව නිදහස ලබාගත්තේ ය.

ඊළගට නිදහස් විප්ලවය පැතිරුණේ, ප්‍රංශය තුළ ය. එය ප්‍රංශ මහා විප්ලවයක් ලෙස අපි හඳුන්වමු. 1793 ආරම්භ වූ එම විප්ලවයෙන් රාජාණ්ඩුව බිඳදමා ජනතා බලයක් පිහිටවීමට යොමු වු නමුත් එය අවසන් වුයේ නැපෝලියන් බොනපාට් යටතේ අලූත් ධනපති රාජාණ්ඩුවක් ඇතිකරමිනි. එය ධනේශ්වර රාජාණ්ඩුවක් වූවත්, නැපෝලියන් බොනපාට් ඉතාම වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් සමාජයට විවර කළේ ය. පාර්ලිමේන්තුවට එහා ගොස් පළාත් පාලනය ඇතිකිරීමට පියවර ගත්තේ ඔහු විසිනි. පළාත් හැටියට ජනතාව දේශපාලනයට යොමු කළේ නැපෝලියන් බව සඳහන් කළ යුතුය. ඉතාමත් කාර්යක්ෂම සිවිල් පරිපාලන ක්‍රමයක් ලොකයට හඳුන්වා දුනනේ ද නැපොලියන් ය.

සාමාන්‍යයෙන් පවසන්නේ විප්ලවය ඇමරිකාවෙන් පසු නැගෙනහිරට ගමන් කළා යන්න ය. ප්‍රංශයෙන් පසු විප්ලවය ගලා ගියේ ජර්මනිය දෙසට ය. ඒ වනවිට නගරවල බලයට කම්කරුවන් තරග කරණ තත්ත්වයක් උදාවී තිබුණි. ඒ නිසා ජර්මන් ධනපති පංතිය විප්ලවයට අත ගැසුවේම සැකයෙනි. ධනපති පංතියට නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය උවමනාවුයේ වි නමුත් කම්කරුවන්ගේ සමානත්මතාවයට ඉඩ දෙන්නට සූදානම් නැතිබව දිගින් දිගටම පෙන්නුම් කළ හ. විශේෂයෙන්ම පැරිස් කොමියූනයෙන් පසුව ජර්මන් ධනපති පංතිය ක්‍රියාත්මක වූයේ ඉතා කල්පනාවෙනි. විප්ලවයේ මේ දෙබිඩි පිලිවෙතට නායකත්වය දුන්නේ බිස්මාර්ක් විසිනි. සමාජ විප්ලවය පිලිබඳව බිස්මාර්ක්, මාක්ස් සමඟ දිගින් දිගටම වාද කළේ ය. බිස්මාර්ක් පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයෙන් මුළු මිනිස් සංහතියටම යුක්තිය, සාධාරණය ඉටුවන හෙයින් සමාජ විප්ලවය අනවශ්‍ය බවය. සාධාරණ වැටුප් විශ්‍රාම වැටුප්, අතිකාල දීමනා, රෝගීවූ කලට දීමනා, හා වෛද්‍ය හසුකම්, විනෝදය ආදී සෑම දෙයකටම සාමූහික ගිවිසුම් ඇතිකරගත හැකි නිසා සමාජ විප්ලවය අනවශ්‍ය බවයි බිස්මාර්ක් පැවසුවේ. ප්‍රාග්ධනයේ නිදහස නැතිකිරීමෙන් ඒකාධිපතිවාදය ගොඩනැගෙන හෙයින් එය නොකල හැකි බවත්, සියලූ දේ ලබාගැන්මට සටන්කළත්, නිර්ධන පංතිය වෙළඳපොළ වැසීමට යෝජනා කිරීමෙන් නිදහස නැතිකර ගන්නා බවට ඔහු චෝදනා කළේ ය. විප්ලවයට නිර්ධන පංතියේ මැදිහත්විම තුළ 1871 පැරිස් කොමියූනය ඇතිවීමත් සමඟ ජර්මනිය තුළ ධනපති අර්ධ විප්ලවයක් බිස්මාර්ක් විසින් ඇති කෙරුණි. කෙසේ නමුත් ඒ තුළින් ජර්මනිය එක්සත් කිරීමට බිස්මාර්ක් සමත් විය.

යුරෝපය තුළ ඇති වූ සමාජ පෙරළියේ ඊළග පියවර ලෙසයි රුසියාව විප්ලවයට ඇතුල් වෙන්නේ. මුල සිටම නිර්ධනින්ගේ විප්ලවීය හඬ රුසියාව තුළ පැතිරුණි. ධනපති මතවාද සමඟ තදින් ගැටුන මාක්ස්වාදීහු ප්‍රජාතනත්න‍්‍රවාදයේ පූර්ණ සැලැස්මක් ඉදිරිපත් කළහ. පාර්ලිමේන්තුව ක්‍රමයක් පමණක් ම නොව වැඩබිම පාලනය, පලාත් පාලනය, ජාතීන්ගේ නිදහස, ජාතිවාදී මර්දනවලට මුහුණදීම, පූර්ණ සර්වජන ඡන්දයක් පැවැත්වීම ඇතුළු ධනපති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවන්ට නිර්ධන පංතියේ නායකයින් විරුද්ධ වූයේ නැත. ඒ නිසාම විප්ලවයේ හඬ තුළ ධනේෂ්වරයේ නායකයින් මෙන්ම නිර්ධන පංතියේ නායකයින් ද වැඩ වසම්වාදයට එරෙහිව එක පෙළට පෙනී සිටිය හ.

රාජාණ්ඩුව ධනපති නායකයින් විසින් වෙනස් කෙරුණේ වි නමුත්, නිලධාරී තන්ත්‍රය හා රදල පවැත්ම අතුගා දැමීමට ධනපති පාලක පංතිය බියවි ය. 19017 පෙබරවාරි මාසයේ දි තාවකාලික ආණ්ඩුවේ නායක කෙරෙන්ස්කි විප්ලවය ගැන කතා කළ නමුත් රාජාණ්ඩුවාදීන් හා ප්‍රතිගාමි හමුදා නායකයන්ගෙන් වෙන්වීමට බිය විය. මේ නිසා ඔහු එම ඊනියා මිතුරන්ගේ බිල්ලක් බවට පත්විය. කම්කරුවන් අවදි වී සටන් කළ එම විප්ලවය නොනවතින ගමනක් ලෙසයි ඉදිරියට ගමන් කළේ සැබැවින්ම නිදහස, සාධාරණත්වය, යුක්තිය ලබාදීම වෙනුවෙන් ජනතාව ඉදිරියට ගමන් කිරීම වළක්වන්නට කෙරෙන්ස්කිගේ ආණ්ඩුවට හැකිවූයේ නැත. සමාජවාදය පිළිබඳූ අදහස් පැතිර තිබුණේ වී නමුත්, එතැන දී වැදගත් වූයේ නිදහස, සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමය. කම්කරුවන් ලෙනින්ව හැූඳින්වූයේ සමාජවාදයේ නායකයා ලෙස නොව ප්‍රජාතන්ත්‍රවාදයේ නායකයා ලෙසිනි. රුසියානු විප්ලවය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ අභිලාෂය කොතෙක් ශක්තිමත්ව තිබුණේ යන්න එයින්ම පැහැදිළි වේ. ඒ අනුව සුළු ධනපතින්, ගොවියන්, සුළු ජාතිකයන්, උගතුන් ඇතුළු ජනකොටස් නිර්ධන පංති බලය සමඟ එක්ව ඉදිරියට යෑමට පෙළ ගැසුනි. රුසියන් විප්ලවයෙන් අපට දෙන පණිවිඩය එයයි.

2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ ඇති වූ වෙනස තුළද බලවත්ව පෙරට පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදයේ අභිලාෂයයි. මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති රෙජීමට පලවා හැරිම පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් වූ විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය වෙනස් කළ යුතු බවට ඉදිරියට එන්නේ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදි කර ගැනීමේ ඒ අභිලාෂය හැර වෙන යමක් නොවේ. බලයට පත් වූ පසු ප්‍රතිගාමි බලවේගයන්ට යට වී විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය වෙනස් කිරීමට මැළි වන්නේ වී නමුත් මැතිවරණය ජයග්‍රහණය කරගැනීමට එම සටන් පාඨය යොදා ගැනීම තුළම මේ රටේ ජනතාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇති ඇල්ම මොනවට පැහැදිළි ය.

එහෙයින් ව්‍යාජ හේතු දක්වමින් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම මගහැර යන වෘත්තිය දේශපාලනඥයින්ට රුසියානු විප්ලවය සාධනීය පාඩමකි. රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදි කිරීම වෘත්තිය දේශපාලනඥයින් මේ ආකාරයට මග හරින්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදි රාමුව තුළ ඊ ළග පියවර විය යුත්තේ ජනතාවට ඒ ගැන තීරණයක් ගැනීමට අවස්ථාව සළසාදීම ය. රුසියානු විප්ලවයට වසර සියයක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන සංවත්සර උත්සවයට නායකයින් දෙදෙනාම සහභාගිවීම අර්ථවත් වන්නේ එක කොන්දේසියක් යටතේ ය. ව්‍යවස්ථාව වෙනස්කර රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදි කිරීමට සහයෝගය දෙන ලෙස ජනතාවට ආයාචනා කිරිමට නායකයින් දෙදෙනා ඉදිරිපත් වීම එම කොන්දේසිය වේ.

මහින්ද රත්නායක 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *