කුමන්ත්‍රණ න්‍යාය හා ගොඩනැගෙමින් ඇති ප්‍රජාතන්ත්‍රවාදය – අජිත් පැරකුම් ජයසිංහ

 

දුමින්ද සිල්වා යනු මැරවරයෙකි. භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ද මැරවරයෙකි. මොවුන් දෙදෙනා ම මහින්ද රාජපක්ෂ නම් මහා මැරවරයාගේ විවිධ කොන්ත්‍රාත්තු ඉටු කිරීමෙන් බලවත් වූ අයයි.

භාරත ලක්ෂ්මන්ගේ දියණිය වන හිරුනිකා ද මැරවරියකි. පුද්ගලයකු පැහැරගෙන ගොස් හිංසනයට ලක් කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහි නඩුවක් අධිකරණයේ විභාග වෙමින් තිබේ. අපට පෙනෙන ආකාරයට නම්, අතරමග සම්මුතියක්, පක්ෂපාතී නඩු තීන්දුවක් ඇති නො වුවහොත්, හිරුනිකාට ද මෙම නඩුවෙන් ගැලවී යන්නට බැරි තරමට සාක්ෂි තිබේ.

දුමින්ද සිල්වා හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර යන මැරවරයන් අතර වෙඩි හුවමාරුවේදී භාරත මිය ගිය අතර දුමින්ද මාරාන්තික තුවාල ලැබී ය. එහෙත්, හිරු කියා මාධ්‍යයක් හිමි වී තිබුණත්, දුමින්ද සිල්වාගේ හිසට වෙඩි වැදුණු බව හා එයින් ඔහු දීර්ඝ කාලීන සංකුලතාවලට ලක් වූ සරළ ඇත්ත සමාජය හමුවේ ඔප්පු කර ගන්නට දුමින්ද සිල්වාට බැරි වී තිබේ. ඒ ඇයි? ජනමාධ්‍යවලට වඩා කටකතාව ප්‍රබල වූයේ කෙසේ ද?

දුමින්ද සිල්වා සම්බන්ධ  විද්වත් වෛද්‍ය මණ්ඩලයේ විද්‍යාත්මක නිර්දේශය පවා බොරුවක් ලෙසත්, එවැනි වෛද්‍යවරුන් පවා මුදලට විකුණුන අය ලෙසත් සලකන ප්‍රචාර විශේෂයෙන් ම සමාජ ජාල තුළත්, ඉන් පසු කටකතා තුළත් පැතිරිණි. එවැනි තත්වයක් ඇති වූයේ කෙසේ ද?

මේ වනාහි ජනමාධ්‍ය හා සමාජය ගැන නැවත සිතා බලන්නට කදිම නිමිත්තකි.

පෞද්ගලිකව මා නම් දුමින්ද සිල්වාටත්, භාරත ලක්ෂ්මන්ටත්, හිරුනිකා ප්‍රේමචන්ද්‍රටත්, මහින්ද රාජපක්ෂටත් නො කැමැත්තෙමි. එවැනි අවම වටිනාකම් සහිත මිනිසුන් මේ රටේ දේශපාලන නායකයන් වීම මා නම් සලකන්නේ ශ්‍රී ලංකාවේ අවාසනාවක් ලෙසයි.

ඒ කෙසේ වෙතත්, ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටිමින් ප්‍රශ්න දෙස බලන්නට සමාජය උත්සාහ කළ යුතු බව මම විශ්වාස කරමි. හේතුව ඔවුන් පසුගාමී මිනිසුන් බව අප හොඳින් දන්නා නිසා ය. අප වනාහි හොඳ නායකත්වයක් නැති රටකි. එවැනි තත්වයක් තුළ තවදුරටත් දියසේන කුමාරයන් සොය සොයා කාලය කා නො දමා, සමාජය නායකත්වයේ වගකීම සියතට ගත යුතු ය. නායකත්වය වෙනස් කළ හැක්කේ එමගිනි.

ඉහත සඳහන් කළ මිනිසුන් යහපත් මිනිසුන් නො වුණ ද, ලංකාවේ සියලු සිදුවීම් ඔවුන්ගේ කුමන්ත්‍රණ ලෙස දකින්නට මම නො කැමැත්තෙමි.

එහෙත්, ලෝකය සීඅයිඒ කුමන්ත්‍රණයක් ලෙස ද, කේජීබීය එයට එරෙහි සමාජවාදී කුමන්ත්‍රණයක් ලෙස ද, ලංකාව ජේආර්ගේ කුමන්ත්‍රණයක් හා පසුව මහින්දගේ කුමන්ත්‍රණයක් ලෙස ද දැකීම දිගු කාලයක් තිස්සේ මාධ්‍ය විසින් ප්‍රවර්ධනය කරන ලදී. මෙය කෙරෙහි දැන් අප සමාජයක් ලෙස ග්‍රස්ථික වී තිබේ. වතුර කොරහේත් කිඹුලන් දැකීම සන්නිවේදනය විෂයෙහි ඉතා ප්‍රගතිශීලී කුසලතාවක් ලෙස සලකන තත්වයක් නිර්මානය වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

දේශපාලනයටත් වඩා මෙය අහිතකර ලෙස බලපාන්නේ සංවර්ධනය කෙරෙහි ය. සරළ උදාහරණයකින් මෙය පෙන්වා දිය හැකි ය. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හදන්නට සැලසුම් කරන සමයේදී ගල් අඟුරු බලාගාර විරෝධය ඉතා ජනප්‍රිය විය. ඒ කාලයේ එම උද්ඝෝෂණවල විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ද තිබිණි. ඒ කාලයේ කියූ කාරණයක් වන්නේ ගල් අඟුරු බලාගාර නිසා නුදුරු අනාගතයේදී ම ශ්‍රී මහා බෝධිය පවා මිය යනු ඇති බව එදා කියැවිණි.

එහෙත්, එදා ගල් අඟුරු බලාගාරවලට විරුද්ධව උද්ඝෝෂණය කළ අය ම දැන් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සමග එක්ව රජය සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම අත්හිටුවීමට විරුද්ධව ගල් අඟුරු බලාගාරවලට පක්ෂව උද්ඝෝෂණ කරති. කලින් තමන් සිටි ස්ථාවර දෙස ආපසු හැරී නො බැලීම අලුත් කුමන්ත්‍රණ න්‍යාය නිර්මානය කර ගැනීමට අත්‍යවශ්‍ය ය. අන්තවාදී කුමන්ත්‍රණ න්‍යායන්ගේ සීමිතකම පිළිබඳ මෙවැනි උදාහරණ තවත් ඕනෑ තරම් ඉදිරිපත් කළ හැකි ය.

ආසන්න ම උදාහරණයක් ගතහොත්, බොහෝ දෙනෙකු කීවේ පොලිසිය සයිටම් ප්‍රධාන විධායකට පහර දීමේ සිද්ධිය පිළිබඳ නිසි විමර්ශනයක් නො කරනු ඇති බවයි. එහෙත්, එය සිදු විය. හිරුනිකා පුද්ගලයකු පැහැරගෙන යාම ගැන ද එය ම කියැවිණි. එහෙත්, දැන් නඩු විභාගයක් සිදු වේ. දුමින්ද සිල්වා කෙසේ හෝ නිදහස් වනු ඇතැයි ද කියැවිණි. එහෙත්, ඔහුට මරණීය දණ්ඩනය හිමි විය. බැඳුම්කර වංචාව කළ අය කිසි දිනෙක දඬුවමකට ලක් නො වනු ඇතැයි කීව ද, දැන් විමර්ශනයෙන් බොහෝ දේ හෙළිදරව් වෙමින් තිබේ. රාජපක්ෂවරුන් විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් නම් තවමත් ඔවුන්ට එරෙහිව කිසිවක් සිදු වන බවක් නො පෙනේ. එහෙත්, තත්වයන් වෙනස් කළ හැකි ය.

ඒකාධිපති සමාජයක ඕනෑම කුමන්ත්‍රණයක් ඇත්ත විය හැකි ය. ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිඳ මරණ දඬුවමට ද සමාව ලැබ ගෙදර යාම, චන්දන කත්‍රිආරච්චිගේ මිනීමැරුම් නඩුව හා කාදර්ගේ වංචා නඩුව අවසන් මොහොතේ නීතිපති විසින් අස් කර ගැනීම එවැනි උදාහරණ ඕනෑ තරම් තිබේ.

එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගෙමින් තිබෙන සමාජයක කුමන්ත්‍රණ න්‍යාය ප්‍රවර්ධනය කිරීම අතිශය භයානක ය. හේතුව, ඒකාධිපති සමාජයකදී මෙන් පුද්ගලයන්ට සියල්ල තීරණය කිරීමේ හැකියාවක් ප්‍රජාතාන්ත්‍රික සමාජයක නැත. තනි පුද්ගලයන්ට වඩා ආයතන හා සමාජය ශක්තිමත් වීමක් එහිදී සිදු වේ. අපි නැවතත් මෙම ලිපියට ප්‍රස්තුත වූ කරුණ වෙත ගියහොත්, මරණ දඬුවමට ලක් වූ (අභියාචනා කර ඇති) සිරකරුවකු වන දුමින්ද සිල්වා දෙසත් සෙසු සිරකරුවන් විෂයෙහි අපගේ ආකල්පය වන සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය යන ආකල්පයෙන් බැලීමට අපට බැරි ඇයි? එසේම, ඉහත දක්වන ලද වෛද්‍ය වාර්තාව නිකුත් කළ ප්‍රධාන වෛද්‍යවරුන් මුදලට විකුණන අය බවට බොරුවක් ප්‍රචාරය කිරීමෙන් සමාජයට අත් වන සෙත කුමක් ද?

සාමාන්‍ය සමාජයට පමණක් නොව, ඊනියා නායකත්වයට ද වඩා ඉදිරියෙන් සිට ප්‍රශ්න විග්‍රහ කිරීමේ හැකියාව පුරවැසියන් තුළ ගොඩනගා ගත යුතු ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *