| |

වෛද්‍ය සාෆිට විරුද්ධව මෙතරම් දැවැන්ත ව්‍යාජ චෝදනාවක් එල්ලවෙන්නේ කෙසේද? – මාකස් ප්‍රියන්ත පෙරේරා

කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අදහස් දැක්වූ විඩීයෝ දෙකක් නැරඹුවා. ඊනියා ‘වද සත්කම් කළා’ යැයි ව්‍යාජ  චෝදනාවක් මත 2019 මැයි 25 දා අත් අඩංගුවට ගෙන CID යේ (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ) මාසයක් පමණ රදවාගෙන සිටි එම වෛද්‍යවරයා සහ ඔහුට නැගුණ චෝදනා  සම්බන්ධයෙන් විමර්ශනය කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ අදහස් එම වීඩියෝ දෙක තුල අන්තර් ගත වූවා.

වෛද්‍ය සාෆි සිය කර්ෂ අත්දැකීම ගැන හද කම්පා කරවන අනුවේදනීය අදහස් බෙදාගැනීමක නිරතවූ. අදාල චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කළ ශානි අබේසේකර සිය පරීක්ෂණ කටයුතු වලදී ඔහු මුහුණ දුන් දුෂ්කරතා එම කතා තුලින් කියවුනා.

මගේ අවදානය යොමුවූනේ ඔවුන්ගේ වේදනාවන්  සහ ඔවුන් මුහුණ දුන් දුෂ්කරතාවයන්ට වඩා ඇත්තටම එයට හේතුවූ කරුණු මොනවා ද යන්න ගැනයි.

වෛද්‍ය සාෆි යනු පිලිගත් ගරු කටයුතු, අති දක්ෂ  වෛද්‍යවරයෙක් බවට කිසිම සැකයක් නෑ. ඔහු සිය වෘත්තිය දක්ෂතාවය තුලින්ම විශාල ධනයක් උපයා එම ධනය ආයෝජනය කරමින්, බැංකු ණය සහ අයිරා මගින්, කුරුණෑගල කෝටි 13කට තක්සේරු කළ ඉඩමක් ඇතුළුව සැලැකිය යුතු දේපළක් රැස්කරගත් තැනැත්තෙක්. ඔහුගේ දේපළ මිලදී ගැනීම් සදහා ඉස්ලාමීය අමානා  බැංකුව ආදිය ද මුල්‍ය පහසුකම් සපයා තිබූ බවත් විමර්ශන වලදී හෙළිවූවා. ඒවගේම වෛද්‍ය සාෆි යනු කිසියම් දේශපාලනය බලයකුත් හිමිකරගෙන සිටි තැනැත්තෙක්. ඔහු 2015 මහා මැතිවරණයට එ.ජා.පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කර චන්ද 50,000 කට වැඩියෙන් ලබමින් එම දිස්ත්‍රික්කයේ 8 වෙනියාට පත්වූවෙක්. එම මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එ. ජා. පක්ෂයට ලැබුනේ ආසන 7ක් නිසා ඔහුට මංත්‍රී ධූරයක් භිමිවූයේ නෑ. එවැනි ධනයක්, බලයක්, පිලිගැනීමක් හිමි වෘත්තිකයෙක් වූ වෛද්‍ය සාෆිට දිවයින පුවත්පතේ මුල් පිටුවේ පල කළ ලෙස “සිංහල – බෞද්ධ මව් වරුන්ට වද සත්කම් කිරීම්” යනුවෙන් දැවැන්ත ව්‍යාජ චෝදනාවක් එල්ලවෙන්නේ කෙසේද?

එය 2019 යේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ගෙන ගිය මුස්ලිම් විරෝධී ජාතිවාදි වර්ගවාදී නහීන මැතිවරණය ව්‍යාපාරයේ එක් ඉලක්කයක් බව පැහැදිලිය. වෛද්‍ය සාෆි 2019 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ගෙන ගිය මුස්ලිම් විරෝධී මැතිවරණ ව්‍යාපාරයේ ගොදුරුක් බව සහ සුද්දෙන්ම පැහැදිලිය. බොහෝ මාධ්‍යය වාර්තාවලින් කියවී ඇති එම කරුණ නැවත කීම මගේ අරමුණ නොවේ.

මගේ අරමුණ නම් වෛද්‍ය සාෆි වැනි කුරුණෑගල හොදින් මුල් බැසගත් උගත්, බුද්ධිමත්, ධනවත්, බලවත් පුද්ගලයෙකුට එවැනි අභියෝගයක් එල්ල කළ හැකි පුද්ගලයින්, කණ්ඩායම්, බලවේගයන් ගොඩගැගුනේ කෙසේද යන ගැන හෙවිය යුතුයැයි යන්න මතුකර ලීමයි.

ඇත්තටම වෛද්‍ය සාෆි ට එවැනි අස්ථාන ව්‍යාජ චෝදනා ගොඩ නැගුවේ කවුද? එවැනි චෝදනා පොහොට්ටුවේ මැතිවරණ ක්‍රියාදාමය සමග සමපාත වුයේ කෙසේද? එම චෝදනා දිවයින පුවත්පතේ හේමන්ත රන්දුනු ලාට, අනුර සොලමොන්ලාට මුල් පිටුවල පලකරන්න සැලැස්වූයේ කෙසේද? මුස්ලිම්වරුන් වූ අලි සබ්‍රිලාට නොතිබි විරෝධයක්  මුස්ලිම්වරයෙක් වූ වෛද්‍ය සාෆිට එල්ල වෙන්නේ ඔහුගේ ජාතියට වඩා දේශපාලනය පසුබිම තුලද? ඔහුව එසේ සුවිශේෂීයව ගොදුරු කරගන්නේ වෛද්‍ය පාදෙනිය, චන්න ජයසුමන ආදීන්ට ඔහු සමග ධනය, බලය, කීර්තිය, දේපළ අත්කර ගැනීම  සම්බන්ධයෙන් තිබූ ආරෝවන්, ප්‍රතිවිරෝධතාවයන්, පසමිතුරුකම්, තරගාකාරීත්වයන් හා ඊර්ෂ්‍යාවන් නිසාද?

එමෙන්ම වෛද්‍ය සාෆී සහ ඔහුට එල්ලවූ චෝදනා  සම්බන්ධයෙන් පරීක්ෂා කල  හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් දෙපාර්තමේන්තුව තුලත්, නීති ක්ෂේත්‍රය තුලත්, වෛද්‍ය ක්ෂේත්‍රය තුලත් එල්ලවූ බාධාවන් සහ දුෂ්කරතාවයන් එල්ලවන්නේ එකම පංති පදනමකින්ද?

වෛද්‍ය සාෆී අත් අඩංගුවට ගැනීමට මාසයකට පෙර එල්ලවූ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව ගැන විමර්ශනය කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මුහුණ දුන් විවිධ බාධා, අවහිරතා හා දුෂ්කරතාවයන් එල්ල වන්නේ එවැනිම පංති  පදනමකින් පැමිණි නිලධාරීන්ගෙන් ද?

වෛද්‍ය සාෆී සම්බන්ධ ප්‍රශ්ණයේදී මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ද කියවෙන මූලික මතයක් වන්නේ එම සිද්ධීන් දෙකම “2019 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට සිදුකල  මුස්ලිම් විරෝධී මැතිවරණය ව්‍යාපාරයක ප්‍රතිඵලයක්” බවයි.

ඒ මහා මතය කිසිසෙත්ම ඉවත් දැමිය නොහැක්කකි.

ඒ වගේම ඒ මහා මතය යට තවත් සලකා බැලිය යුතු පැති කඩවල්ද තිබේ. ඉන් එකක් නම් මේ මොහොතේ ලංකාවේ රාජ්‍යය ආයතන ව්‍යහුයේම බලය ඔසවාගෙන සිට්න නිලධාරී තන්ත්‍රයයි.

ඔවුන් බොහෝ දෙනෙක් ග්‍රාමීය ප්‍රදේශවල මධ්‍යම මහා විද්‍යාල හෝ බෞද්ධ පාසැල් වලින් පැමිණි, දේශීය විශ්ව විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ, සිංහල – බෞද්ධ පදනමක් ඇති නිලධාරීන් ය.

අනෙකුවූ මුස්ලිම් ජාතික සාෆී වෛද්‍යවරයාට නැගූ අභූත, අස්ථාන, ව්‍යාජ චෝදනා තමන්ගේ එකෙක්වූ පාදෙනිය වැනි  වෛද්‍යවරයෙකුට ඔවුන් නගයිද?  ප්‍රහාරය එල්ල වෙන්නේ තමන්ගේ ආගමික ස්ථානවලට යැයි ප්‍රහාරයට පෙර ලද තොරතුරුවලින් කියවුනේ නම් අනෙකෙකුෆේ ආගමික ස්ථාන  ප්‍රහාරයක් එල්ල වෙන බව දැනගත් විට දැක්වූ ඇල් මැරුණු උනන්දුවෙන්ම ඔවුන් කටයුතු කරාවිද? ඔවුන් තමන් සහ අනෙකා යනුවෙන් හදුනාගත් බෙදීමක සිටිමින් සිය රාජකාරී කටයුතුවල නිරත වේද? ශ්‍රී ලංකා රාජ්‍යය පිලිබදව විමසීමේදී එහි වර්තමාන නිලධාරී තන්ත්‍රයේ එකී පැති පිලිබදව ද අවධානය යොමුකළ යුතු බව මගේ අදහසයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා

“අයිතිය උදෙසා මාධ්‍යව්දියෝ” විසින් සංවිධානය කළ උත්සවයේ දී වෛද්‍ය සාෆි දැක්වූ අදහස් පහත..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *