|

දූෂණ විරෝධී පනත ශක්තිමත් යන්ත්‍රණයක් ; චෝදනා කරලා වැඩක් නෑ ; නීතිය ඉදිරියට යන්න -මානව හිමිකම් ක්‍රියාකාරි, ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා

ආර්ථික අපරාධ වැළැක්වීමට දේශීය යන්ත්‍රණයක් තිබිය යුතුයි

යාවත්කාලීන විය යුතු තවත් වැදගත් නීති ගණනාවක් තියෙනවා

ළමාවියේ පටන්ම සත්‍ය, ගුණගරුක වීමට දරුවන් පෙලඹීම වැදගත්

වංචාව, දූෂණය මැඬලීම ඇතුළු කාරණා රැසක් වෙනුවෙන් විශාල වැඩ කොටසක් ආණ්ඩුව ඉකුත් දෙවසර තුළ කර ඇතැයි යන්න නීති විශාරදයන් ඇතුළු විද්වතුන් පිළි ගන්නා කරුණකි. ඒ අනුව මෙරට හෙට දවස පිළිබඳව අපි දැන් මානව හිමිකම් ක්‍රියාකාරි, ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සමඟ සාකච්ජා කරමු.

අපි වර්තමානයෙන් මේ කතාබහ අරඹමු?

අපේ රටේ මූලික වශයෙන් ප්‍රශ්න කිහිපයක්ම වෙනවා. ඉන් එකක් නම්, නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමයි. එයින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකුත් වෙනවා. සර්වසාධාරණය ඉටු කර ගැනීමට නොහැකි වීමත් එහි විපාකයක්. අනෙක, පොදුවේ ආයතනයකට ගිහින් එදිනෙදා කටයුතු නොපමාව ඉටු කරවා ගැනීමට නොහැකිවීමයි.

රාජකාරියක් ඉටු කරවා ගැනීමේදී තුටුපඬුරක් හෝ වෙන යම් අල්ලසක් ඒ ඒ තැන්වල සිටින නිලධාරීන්ට, සේවකයන්ට දෙන්න වෙලා කියලා මැසිවිල්ලක් ජනතාව තුළ තියෙනවා. එහෙමත් නැතිනම් ඒ කටයුත්ත ඉටු කරවා ගැනීමේදී කිසියම් ඥාති හිතවත්කමක් තිබිය යුතුයි කියලා බහුතරයක් කල්පනා කරනවා. ඒත්, ඒ අක්‍රමවත් ක්‍රම.

හැබැයි, සාමාන්‍ය නීතියේ දැක්වෙන දෙයක් තමයි නීත්‍යනුකූල ක්‍රමවේදයකට අනුව කටයුතු කර ගත යුතු බව. ඒත්, ඇතැම් විට ඒ අනුව කටයුතු කරන විටදී එම කටයුතු හමාර වීමට තරමක් කල්ගත වන්නත් පුළුවන්. මේ නිසා කෙටිකාලීනව තමන්ගේ කටයුතු ඉටු කරවා ගැනීමට වැඩි දෙනෙක් පෙලඹෙන බවක් පෙනෙන්නට තියෙනවා. කුමක් හෝ තුටුපඬුරක් දීමෙන් හෝ තමන්ගේ කටයුත්ත කරවා ගැනීමට ඇතමුන් කල්පනා කරනවා. මෙය දිගින් දිගටම පැවැති තත්ත්වයක්. එහෙමත් නැතිනම් මුල් බැස ගත් දෙයක් වගත් මෙරට සමාජය දෙස විමසීමෙන් බැලීමේදී හඳුනා ගන්න පුළුවන්. දැන් ඒ තත්ත්වය සමාජ දේහය පුරාම වයිරසයක් වගේ ඔඩු දිවූ බවත් පෙනෙනවා. ඒ නිසා ඉකුත් දෙවසර තුළ රජය මහජන සුබසිද්ධිය පිණිසත් ජනතාවගේ අයිතිවාසිකම් රැකෙන ආකාරයටත් ඒ වගේම මහජන දේපළ සුරක්ෂිත වන අයුරිනුත් යම් යම් පනත් ගෙන ඒමට ආණ්ඩුව කල්පනා කර තියෙනවා.

සුබසාධනය රජයේ ප්‍රමුඛ වගකීමක්?

ඔව්. දූෂණ විරෝධී පනත එහි ප්‍රධානතම අංගයක්. ඊට කලින් පැවැති පනතට අනුව සාමාන්‍යයෙන් රජයේ ඉහළ නිලධාරීන්ගෙන් වන අක්‍රමිකතා, දූෂණ, වංචා පිළිබඳ එළිපිට කතා කරන්නට, ඒ ගැන අදාළ තැන්වලට දැනුම් දීමට පහළ සේවකයන් තුළ යම්කිසි බියක් පැවතුණා. ඊට හේතුව අදාළ වැරදි හෙළි කරන තැනැත්තන්ට නිසි ආරක්ෂාවක් නැති වීමයි. ඇතැම්විට එවැනි අවස්ථාවලදී පහළ සේවකයන්ගෙන් පලිගත් ඉහළ නිලධාරීන් පිළිබඳත් වාර්තා වුණා. ඒත් අලුත් දූෂණ විරෝධී පනතේ වඩාත්ම වැදගත් ලක්ෂණය වෙන්නේ තුටුපඬුරක්, අල්ලසක්, ඥාති සබඳතාවක් මත යම් රාජකාරිමය කටයුත්තක් කෙරෙනවා නම්, ඒ ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට දැනුම් දිය හැකියි. එවිට ඒ පැමිණිලිකරුවන් ආරක්ෂා කරන වි‍ශේෂ නීති පද්ධතියකුත් ඒ හා සමගාමීව දැන් ක්‍රියාත්මකයි. එවිට දූෂණ විරෝධී පනතත් එක්කම 2015 සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනතත් ක්‍රියාත්මකයිනේ. එයින් ඒ පැමිණිලිකරුවන්ට ආරක්ෂාව සැලසෙනවා.

එසේම වින්දිතයන්ගේ ආරක්ෂාව පිණිස වන විවිධ නීති ප්‍රතිපාදන මූලික වශයෙන් මේ හා සමගාමීව ක්‍රියාවට නැංවෙනවා. ඒ අනුවත් බියකින්, සැකයකින් තොරව ඉදිරියට ඇවිත් ඒ පිළිබඳ තොරතුරු ගැනීමේ හැකියාව තියෙනවා. ඒ, තොරතුරු දැනගැනීමේ පනතට අනුවයි. ඊට සමගාමී තවත් නීති රැසක් සම්මත වී තියෙනවා. ඒ හැම එකකින්ම ජනතා අයිතීන් රැකෙන අතරේම මූලික වශයෙන් මුදල් අවභාවිතයෙන් ඒ ආයතනවලටත් දෙවනුව රටටත් හානි වන බව පැහැදිලියි. ඒවා ආරක්ෂා කිරීම පිණිස විශාල වශයෙන් විමර්ශන බලතල සහිතවමයි දූෂණ විරෝධී පනත පිහිටුවා තියෙන්නේ.

අනෙක, පෞද්ගලික අංශයෙන් වන දූෂණ ආදියත් මේ පනත යටතේ ආවරණය වෙනවා. එය එසේ පෙන්වා දීමට හැකි වීම මෙරට ලද විශාල ජයග්‍රහණයක්. ඉතා වැදගත් කරුණක් වන්නේ, මේ කියන කොමිෂන් සභා ස්වාධීනයි. එම නිලධාරීන් ද එසේමයි. ඒ අනුව ඒ අයට බලපෑම් කිරීමට ඉඩක් නැහැ. එහෙම කරනවා නම්, එහෙම කරන දේශපාලනඥයා හෝ වෙනයම් කාට වුණත් අපරාධ නීතිය යටතේ කටයුතු කළ හැකියි. ඉතින් මේ පනතින් ඊට යම් පසුබිමක් මෙරට දූෂණයෙන් තොර කලාපයක් කිරීමට සැකසී තියෙනවා. එය ඉතා පැහැදිලියි. කලින් වගේ කිසිවකුටත් අනවශ්‍ය පරිදි අතපොවන්නට, ඇඟිලි ගහන්නට බැරි තැනකට පත් කර ඇති බව මෙයින් පැහැදිලියි.

ඉදිරියේදී මෙරට දූෂණය, අල්ලස අවම කර ගත් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ කෙරෙන කටයුතු, ඒ සම්බන්ධතා මත ඉදිරි ගමනක් තියෙනවා. ඒ වගේම පිටරටවලින් වැඩිපුර ආයෝජකයන් මෙරටට පැමිණීමටත් එය ප්‍රබල හේතුවක් වෙනවා. එවිට දැන් ඇතැම් විට තියෙනවා වගේ සමහර පළාත් පාලන ආයතනවලට හෝ වෙන යම් රජයේ තැනකින් යම් කාර්යයක් ඉටු කරවා ගැනීමේදී තුටුපඬුරු දෙන්න ඕනැ නැහැ. ඒ වගේම ඒ කටයුතු මාර්ගගතව ඉටු කරවා ගැනීමට හැකි වටපිටාවක් ඇති කළ විට, මහජනතාවට ඉහත ගැටලුවලට මුහුණදීමට වෙන්නේ හරිම අඩුවෙන්. මෙවැනි ආරක්ෂණයක් ඇති කර ගත් විට තවදුරටත් කටයුතු පහසුවෙන් ඉටු කරවා ගැනීමට 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ප්‍රසම්පාදන කොමිසමක් පිහිටුවා තියෙනවා. ඉන් මහා පරිමාණ වංචා, දූෂණ නැවැත්වීමට අදාළ කටයුතු සොයා බලා නඩු පැවරීම් කළ හැකියි. මේ හැම එකකින්ම මෙරට සුපිළිපන් බව, නිලධාරීන්ගේ සුපිළිපන් බව සහ ජනතා අයිතිවාසිකම් රකිමින් එහි ප්‍රතිලාභ වශයෙන් ඉදිරියේදී අභිවෘද්ධිය සැලසෙනවා.

වැඩිදුරටත් පණගැන්විය යුතු පැති තියෙනවා ද?

දැනට නීති 75ක් සම්මත වූ බවක් කියවෙනවානේ, ඒක හුඟක් හොඳයි. ඒත්, යාවජීව විය යුතු තවත් වැදගත් නීති ගණනාවක් පෙන්වා දෙන්න පුළුවන්. අපරාධ දේපළ පනත ඉන් විශේෂයි. රාජ්‍ය නිලධාරීන් ආදීන් අයථා විදිහට ධනය රැස් කර ඒවා දෙස්, විදෙස් වශයෙන් සඟවා ඇති නම් ඊට එරෙහිව මෙයින් කටයුතු කළ හැකියි. එවිට ඒවා යළි මෙරටට ගෙන ඒමේ හැකියාව තියෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම ආදියට ඊට පැමිණිලි කළ හැකියි. විශේෂත්වය වෙන්නේ මෙරටට අහිමි වූ ධනය, සම්පත් මෙයින් නැවත ගෙන්වා ගැනීමට හැකිවීමයි. ඉලෙක්ට්‍රොනික හා තාක්ෂණික විමර්ශන පනත් ඒ සමඟ ඇති කිරීමත් මෙහිදී වැදගත්. ඊට එහා ගිය පුළුල් විමර්ශන ක්‍රමවේද සඳහා තානාපති කාර්යාල ආදියත් සමඟ සහයෝගිතාවෙන් මෙරටට තවදුරටත් ඒ අතින් ඉදිරිගාමී වැඩ කොටසක් කළ හැකියි.

ඒ වගේම මුදල් විශුද්ධිකරණ පනත ගැනත් කතා කළ යුතුයි. ඒ අනුව මෙරට දේපළ අනීතිකව උපයා ඇතිනම්, එසේත් නැතිනම් විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් ආදියෙන් හිටිහැටියේ පොහොසතුන් වී ඇත්නම් ඒවා උපයා ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වූ විටදී, ඒවා රාජසන්තක කිරීම, මෙරටට ගෙන ඒමට හැකියාව පවතිනවා. මෙයින් රටට අවශ්‍ය ධනය රට තුළ රැස් කරවා එමඟින් ආයෝජකයන් ආරක්ෂා කර ගැනීමට ඉන් මඟ පෑදෙනවා.

තවත් එවැනි කරුණක් විදියට ඉදිරි සංවර්ධනය පිළිබඳ පස් අවුරුදු, දස අවුරුදු සැලසුම් පාර්ලිමේන්තු පනත් මඟින් බලාත්මක කළ හැකි නම්, පෝට් සිටි ආදී ව්‍යාපෘතිවලට වඩාත් වැදගත් වෙනවා. විදේශ මුදල්, ආයෝජන විශාල වශයෙන් ගෙන්වා ගැනීමට එයින් මඟපෑදෙනවා. මෙරටට ආර්ථික ගැටලු වැඩිපුර ඇති වී තියෙන්නේ ඒ අඩුපාඩු මුල් කරගෙනයි. මෙරට ඇතැම් කම්කරු නීති වෙනස් කළ යුතුව තියෙනවා. එවිට මහජනතාව, රට අගාධයට ඇද දමන අයුරින් හිටිහැටියේ කරන වැඩ වර්ජන ආදියටත් වැට බැඳෙනවා. එවිට ආයෝජකයන් මෙරටට ආකර්ෂණය කර ගත හැකියි.

ඒත්, කම්කරු නීති ආරක්ෂා නොකළ යුතු බවක් නෙවෙයි මේ කියන්නේ, තවත් අලුතින් යාවත්කාලීන වූ කම්කරු නීති ගෙන ඒමත් වැදගත්. ඒ සමඟ සංවර්ධනයට පිටිවහලක් එයින් සැලසිය යුතු බවයි මේ කියන්නේ. අනෙක බේරුම්කරණයට අදාළ තැන් පළාත්බඳ වශයෙන් පිහිටුවිය හැකියි. නඩු විභාගවලදී මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු කටයුතුවලට ජනතාව කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයටම පැමිණිය යුතු වෙනවා. ඊට පිළියමක් වශයෙන් ඒ බලතල පළාත්බඳ මහාධිකරණවලට පවරා දීම ආදී විකල්ප සඳහා යොමු වීම කාලීනයි. මෙරට නීති කඩ කිරීම් වර්ධනයට ජනතාව ඒ කෙරෙහි එතරම් දැනුම්වත් නොවීමත් හේතුවක්. එහිදී දිවයින පුරා පොලිස් ආශ්‍රිතව පිහිටි ළමා හා කාන්තා කාර්යාංශ හරහා දැනුම්වත් කිරීමේ වැඩසටහන් පහසුවෙන් ක්‍රියාවට නැංවිය හැකියි. ඉතින්, ආයතන ගණන වැඩි කිරීමට වඩා දැනට පවතින ඒවායෙන් ගමට ගිහින් දැනුම්වත්භාවය වැඩි කිරීමට කටයුතු කිරීම වැදගත්. ප්‍රජා පොලිස් සංකල්පයත් මෙහිදී ඉතා වැදගත්.

නීතිය ගැන මෙරට බහුතර ජනතාව දැනුම්වත් ද?

ඇත්තෙන්ම නීතිය කියන එක, අධ්‍යයන ආයතන, එසේත් නැතිනම් විශ්වවිද්‍යාල 3,4ක විතරයිනේ උගන්වන්නේ. ඒත් එය සාමාන්‍ය විෂය ධාරිතාවට ඇතුළු වෙන්න ඕනි. ළමාවියේ පටන්ම සත්‍ය, ගුණගරුක වීමට වග බලා ගැනීමට දරුවන් පෙලඹීම වැදගත්. ඒත් මවුපියන්, වැඩිහිටියන් ඒ ආදර්ශය ළමුන්ට දෙනවා ද කියන එක ගැටලුසහගතයි. නිදසුනක් ගමුකෝ, ජාතික මට්ටමේ පාසලකට දරුවා ඇතුළත් කර ගැනීමේදී වැඩිහිටියන් කියන, කරන බොරු කොච්චර ද? එහෙමනම් ගෙදරින්ම බොරුව සමාජගත කරලා ඉවරයිනේ. එතැන ඉඳන්ම වෙනස් වෙන්න ඕනෑ කියලායි මං කියන්නේ.

නීතිය විතරක් ඇති ද? අධිකරණවල නඩු ගොඩගැසී ඇති බවකුත් කලෙක සිටම වාර්තා වෙනවා නේද?

ඔව්. විශාල නොවිසඳුණු නඩු සංඛ්‍යාවක් මෙරට පවතිනවා. මහෙස්ත්‍රාත් අධිකරණවල ලක්ෂ 8කට වඩා නොවිසඳුණු නඩු ගොඩ ගැසී තියෙනවා. දිස්ත්‍රික් අධිකරණවලත් ලක්ෂ 4-5ක් වෙනවා. ඉතින්, නඩුවලට යෑමට ජනතාව පෙලඹවීම නෙවෙයි මේ රටේ වෙන්න ඕනෑ. නෝර්වේ ආදී රටවල ප්‍රී ට්‍රයල්ස්, තියෙනවා. ඉතින්, හැම දේටම නඩු යන්න අවශ්‍ය නැහැ. ඊට කලින් සාකච්ඡා, මඟපෙන්වීම් ඇසුරින් ගැටලු විසඳා ගන්න අවස්ථා සලසා දී තියෙනවා. සමථ මණ්ඩල, සාකච්ඡා මණ්ඩප ඇසුරින් අපට නඩු නොයා ගැටලු විසඳා ගත හැකි මාර්ග තියෙනවා. ඒත් හුඟ දෙනෙක් ඊට පෙලඹෙන්නේ නැහැනේ, අධිකරණ ශාලා, නීතිඥයන්, බන්ධනාගාර වැඩි වූ පමණින් රටක නඩු අඩු වෙනවා කියලා කියන්න බැහැ. මූලික වටයෙන්ම ගැටලු විසඳා ගන්නවා නම් මේ ගැටලු නැහැ. බේරුම්කරණ, සමථකරණ අවස්ථා තියෙනවානේ. සාමූහික ගිවිසුම්, උපදේශන සේවා වැඩි කිරීම් ආදියෙන් අපට ඉදිරියේදී තවත් ඉහළ අගයක් ගනු ඇතැයි අනුමාන කළ හැකි නඩු ගණන අපට බොහෝ සෙයින් අඩු කර ගත හැකියි. එවිට සැලකිය යුතු නඩු ප්‍රමාණයක් මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොඩගැසීමක් වෙන්නේ නැහැ. ඒ සඳහා අපේ සාක්ෂි නීතියේ වෙනස්කම්, නඩු පැවරීමට කලින් ගත හැකි පියවර සුලබ කිරීම් හරහා අපට ඒ ඉලක්කයට පහසුවෙන් ළඟා විය හැකියි.

නුවන් මහේෂ් ජයවික්‍රම

ඡායාරූපය – ගයාන් පුෂ්පික

දිනමිණ 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *