මෙන්න බුද්ධි අංශ දඩයම් කරනවෝ ; ගොබෙල්ස්වාදීන් නොකියන කතාව – තුෂාල් විතානගේ

අද ‘බුද්ධි අංශ දඩයම’ කියලා මහා ඝෝෂාවක් නඟන හිටපු පාලකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් සමාජය හමුවේ සඟවන්න උත්සාහ කරන්නේ කිසිදා එළි නොවනු ඇතැයි සිතා සිටි ඔවුන්ගේ මේ කැත සෙළුවයි. අපි සමාජයක් ලෙස මේ තත්ත්වය වටහා ගත යුතුයි. නිල සංඛ්‍යා ලේඛන නැති නිසා දස දහ දහස් ගණනක් යැයි සැලකිය හැකි බුද්ධි අංශ සාමාජිකයන්ගෙන් අද චෝදනා ලබා සිටින්නේ නොසැලකිය යුතු තරම් අතලොස්සක් පමණක් බවයි වාර්තා වෙන්නේ.

‘එකම බොරුව අඛණ්ඩව සියවරක් කී විට එය ඇත්තක් බව ජනතාව පිළිගන්නවා’ මේ ප්‍රකාශය කළේ ජර්මන් අාඥාදායක ඇඩලෝෆ් හිට්ලර්ගේ ප්‍රචාරක ලේකම්වරයා වූ ජෝෂප් ගොබෙල්ස්ය. ගොබෙල්ස් මේ කියමන හුදු වචනයට පමණක් සීමා නොකොට ක්‍රියාවෙන් ද ඔප්පු කළා. ගොබෙල්ස් මොන තරම් සාර්ථක වුණාද කියලා කියනවා නම් එකළ ජර්මනියේ බුද්ධිමතුන්, දාර්ශනිකයන් පමණක් නොවෙයි කම්කරුවන්, පාදඩයන් පවා අවසානයේ නතර වුණේ හිට්ලර්ගේ දෙපතුල ළඟ. ගොබෙල්ස් මවපු බොරුව අවසානයේ මුළු ජර්මනිය පමණක් නොව සමස්ත ලෝකයම ව්‍යසනයක් කරා ගෙන ගියා.

‘එකම බොරුව සියවරක් කී විට ඒක ඇත්තක් කියලා ඕනෑම කෙනෙක් පිළිගන්නවා’ කියන ගොබෙල්ස්ගේ මේ ප්‍රකාශය අවසානයේ දේශපාලන සන්නිවේදනයේ ප්‍රබල න්‍යායක් බවට පත් වුණා. දේශපාලනඥයෝ, ආඥාදායකයෝ, අවස්ථාවාදියෝ මේ න්‍යායෙන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩ ගත්තා. අදත් වැඩ ගනිමින් ඉන්නවා.

ගොබෙල්ස්ගේ මේ ප්‍රකාශය උපුටා දක්වන්න සිදුවුණේ පසුගිය කාලය පුරාම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කල්ලියේ ක්‍රියාකාරීත්වය විමසුමට ලක් කරන්න වුවමනා නිසා.

ලංකාවේ ගොබෙල්ස්ලා

ලංකා දේශපාලනයේ ගොබෙල්ස්වාදී න්‍යාය ප්‍රබල ආකාරයෙන් භාවිතයට ගත්තේ යුද්ධය පැවැති කාලයේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව බව අපට හඳුනාගත හැකියි. 1994 පරාජයෙන් පසු විපක්ෂයට ගිය එක්සත් ජාතික පක්ෂයට දශක දෙකකට අධික කාලයක් විපක්ෂයේ කල් මැරීමට සිදු වුණේ එවකට ආණ්ඩු පක්ෂය හා එයට සහාය දුන් ජනමාධ්‍ය විසින් ඉතා සූක්ෂම ආකාරයෙන් එහෙත් ශක්තිමත්ව, අඛණ්ඩව භාවිත කළ ‘ගොබෙල්ස්වාදී ප්‍රචාරණ ව්‍යාපාරය ’ නිසා බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි. ‘අලි – කොටි ගිවිසුම’ සහ ‘රනිල් ආවොත් රට බෙදනවා’ මේ අතර ප්‍රබලතම මෙන්ම සංවේදීම මාතෘකා බවට පත් වුණා. අදත් දශක දෙකකට අධික කාලයක් ගෙවිලත්, කොටි සංවිධානයක් නොමැති තත්ත්වයක එක්සත් ජාතික පක්ෂයට, විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මේ ලේබල් ඇලවීම අඛණ්ඩව සිදුවෙනවා.

ගොබෙල්ස්වාදී ප්‍රචාරණයේ කූටප්‍රාප්තිය අපට නීරීක්ෂණය කළ හැකිවන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බලය දැරූ 2005-2015 කාලය තුළදීය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අඛණ්ඩවත් හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ආදීන් පසුවත් මේ ගොබෙල්ස්වාදීන්ගේ ගොදුරු බවට පත් වුණා. ඒත් ගොබෙල්ස්ගේ බොරුව මත ගොඩනැඟී නාසි ජර්මනිය අවසානයේ විනාශය කරාගිය ආකාරයෙන්ම ගොබෙල්ස්ලාගේ බාප්පලාගේ ආණ්ඩුවත් අවසානයේ විනාශය කරා ඇ දී ගියා.

නාසීන්ගේ අවමන් සහගත ඇදවැටීම සමඟ ජර්මනියේ ගොබෙල්ස්වාදය ඉතිහාසයේ කුණු බක්කියට වැටුණත් ලංකාවේ දැකිය හැකි වුණේ එහි විලෝමය. ඒ කියන්නේ බොරුවෙන්ම ජීවත් වූ බලයෙන් පහ වූ කල්ලිය තවදුරටත් ඒ බොරුවම නඩත්තු කිරීමට පියවර ගැනීම ලංකාවේ දී අපට දැකිය හැකි වෙනවා. අද ඒකාබද්ධ විපක්ෂය හා ඔවුන්ට සහාය දෙන විවිධ පාර්ශ්ව හරහා ලංකාවේ සමාජය අත්විඳිිමින් සිටින්නේ ඔවුන් විසින් පසුගිය කාලය පුරාම අඛණ්ඩව අභ්‍යාස කරමින් සිටින ගොබෙල්ස්වාදය මිස වෙනෙකක් නොවෙයි.

බොරුව මතම යැපීම

මීට පෙර සඳහන් කළ ආකාරයට 1994 සිට දශකයක් පමණ කාලයක් ලංකා දේශපාලනයේ දැවැන්තම ගොබෙල්ස්වාදී ප්‍රචාරය වුණේ ‘අලි – කොටි ගිවිසුම’ ඒත් 2009 යුද ජයග්‍රහණය සමඟ ‘අලි – කොටි ගිවිසුමේ’ අගය පහළ බසින විට ගොබෙල්ස්වාදීන්ගේ අතට පත් වුණේ ‘විදුලි පුටුව’ කියන කතාව. ඒ අනුව රට බේරාගත් නායකයන් සහ රණවිරුවන් විදුලි පුටුවට ගෙන යන්න එක්සත් ජාතික පක්ෂය සූදානම් වන බවට’ ගොබෙස්වාදීන් පුන පුනා ප්‍රචාරය කළා. ජෙනරාල් සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ 2010 ජනපතිවරණය මෙන්ම 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ ජනපතිවරණයේ දී ද ගොබෙල්ස්ලාගේ බාප්පලා මේ මිත්‍යාව සිංහල ජන මනසේ පැළපදියම් කිරීම සඳහා අපමණ වෙහෙසක් ගත්තා. ඒත් 2010 දී මෙන් 2015 දී මේ විදුලි පුටු කතාව ඡන්ද බැංකුවක් බවට පත් කර ගැනීමට ඔවුන්ට නොහැකි වුණා. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණාත්මක ජයග්‍රහණය පසුපස මේ ආසාර්ථකවීමත් ශක්තිමත් සාධකයක් ලෙස දැකිය හැකි වුණා. ඊට පසුව 2015 අගෝස්තු මස පැවැති මහ මැතිවරණයෙන් ද මේ ගොබෙල්ස්වාදී ප්‍රචාරණය පැහැදිලිව පරාජය කිරීමට මෙරට ජනතාවට හැකි වුණා.

මෙය අපට සැලකිය හැකිවන්නේ මෙරට ජනතාව ලැබූ දෛවෝපගත ජයග්‍රහණයක් විදිහටයි. ඊට හේතුව වන්නේ 2015 දී ද ගොබෙල්වාදීන් ජයග්‍රහණය කළා නම් අද ලංකාව ලෝකයෙන්ම කොන්වූ අන්ත ආඥාදායක රටක් ලෙස භෞතිෂ්ම වෙලා හමාරයි. එදා ජෝෂප් ගොබෙල්ස් සහ හිට්ලර් ජර්මනිය විනාශය කරා ගෙන ගියා වාගේ ලංකාවත් විනාශය කරා ගමන් කර හමාරයි.

‘වළක වැටීම මොළයට හොඳක්’ කියලා කතාවක් තිබෙනවා. ඒත් පිටපිටම දැවැන්ත දේශපාලන පරාජයන් දෙකක නීරස දැනී තිබුණත් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රමුඛ කල්ලිය තවමත් ගොබෙල්වාදය අත්නොහැරීම ඔවුන්ගේ වගේම රටේත් අවාසනාවක් විදිහට සැලකිය හැකියි. මන්ද මේ ක්‍රියාවෙන් සිදුවන්නේ ඔවුන් සහ රට යන දෙකම අවසානයේ විනාශය කරා ගමන් කිරීමයි.

2015 ජනවාරී 08 වැනිදා පරාජයෙන් මොහොතකට පසුව ආරම්භ වූ ‘කොක්කෙන් හෝ කෙක්කෙන්’ නැවත බලය අල්ලා ගැනීමේ ව්‍යාපාරය ගමන් කරමින් සිටින්නේම බොරුව මත බව පසුගිය වසර දෙක තුළ ඔවුන් කළ කී දෑ විමසන විට ඉතාම පැහැදිලියි. විදුලි පුටුව, ජාත්‍යන්තර යුද අධිකරණය, හරහා හමා ගිය මේ බොරුවේ සුළඟ තව තවත් ප්‍රබල වෙමින් විවිධ දිසාවන්ට හමා යන ආකාරයක් අපට මේ වන විට පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි.

ඒකාබද්ධ විපක්ෂයේ ගොබෙල්ස්වාදී ප්‍රචාරකයන් මේ අවස්ථාවේ මහා කුණාටුවක් බවට පත් කිරීමට වෑයම් කරමින් සිටින අලූත්ම බොරුව වන්නේ ‘හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දඩයම් කිරීමට ආණ්ඩුවට පියවර ගනිමින් සිටිනවා’ කියන මහා ප්‍රලාපයයි.

බුද්ධි අංශ දඩයම

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ යුද විරුවන් විදුලි පුටුවට ගෙනයාම වගේම බුද්ධි අංශ දඩයමත් මෙරට සිංහල ජනතාවට බොහොම පහසුවෙන් අලෙවි කළ හැකි දෙයක් බව පැහැදිලියි. ඊට හේතුව වන්නේ පසුගිය යුද ජයග්‍රහණය පසුපස සිටි ශක්තිමත්ම බලවේගයක් වශයෙන් ‘බුද්ධි අංශ’ සියලූ දෙනාගේම පොදු පිළිගැනීමට වගේම ගෞරවයට ලක්වීමයි.

මේ ලියුම්කරුත් ප්‍රතිපත්තිමය වශයෙන් මේ කතාව සමඟ සම්පූර්ණයෙන් එකඟ වෙනවා. කොටි නායක ප්‍රභාකරන්ගේ සහ කොටි බුද්ධි අංශ නායක පොට්ටුඅම්මාන්ගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ අති සූක්ෂම කොටි බුද්ධි අංශ පරාජය කරමින් කොටි මර්මස්ථාන මෙන්ම කොටි ඉලක්ක වැනසීමට රජයේ බුද්ධි අංශ සමත් වුණා. යුද්ධය මෙතරම් ඉක්මනින් හා අතිසාර්ථක ආකාරයෙන් ජයග්‍රහණය කිරීමේ ගෞරවයෙන් විශාල කොටසක් මේ නිසා සියලූම බුද්ධි අංශවලට හිමිවිය යුතුයි. ඒ ගෞරවයට නිගාකිරීමට කිසිදු අයෙකුට හෝ බලවේගයකට නොහැකියි. ඉඩ නොදිය යුතුයි.

ඒත් දකුණේ සිංහල ජනතාවට පිළිගැනීමට නොහැකි, ඇතැම් විට අපහසු දේවල් බොහොමයක් පසුගිය කාලය පුරාම රටේ සිදු වුණා. එය ගැටුම් පැවැති උතුරු – නැඟෙනහිරට මෙන්ම දකුණටත් පොදුයි. පුද්ගල අතුරුදන් කිරීම ඒ යුගයේ රට පුරාම සිදු වුණා. මේ අතර පහරදීම් වගේම තර්ජනය කිරීම් වැනි දේවල් ද බහුලව සිදු වුණා. උතුරේ වගේම දකුණෙත් මහමඟ මරාදැමීම් සිදු වුණා. පැහැරගැනීම් සිදු වුණා. දකුණේ සිංහල බෞද්ධ සමාජය පවා භීතියෙන් මුසපත් කළ ‘සුදුවෑන් ’ මෙහි සරල සහ ජනප්‍රිය ප්‍රකාශයක් පමණයි.

පෞද්ගලික න්‍යාය පත්‍ර

‘බොරදියේ මාළු බාන්න පහසු බව’ අපි කවුරුත් පොදුවේ පිළිගන්නවා. යුද්ධයක්, ගැටුම් කියන්නෙත් එවැනි තත්ත්වයක්. ඕනෑම ගැටුම්කාරී අවස්ථාවක දී පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට මානබලන පුද්ගලයන් සහ කණ්ඩායම් සිටිනවා.

රටක් යුද භීතියක පවතින අවස්ථාවක දී මේ ආකාරයෙන් තමන්ගේ පටු වුවමනා එපාකම් පිරිමසා ගැනීමට ඕනෑම කෙනෙකුට ඉතා පහසුකම්. ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව කැරලි ගැසූ අවස්ථා දෙකේදීම මේ අවස්ථාවාදීන් බොහොම පහසුවෙන් තමන්ගේ අරමුණු සපුරාගත් බව මුළු දකුණේ සිංහල සමාජයම පොදුවේ පිළිගන්නවා. සරලව ප්‍රකාශ කළහොත් ජනතා විමුක්ති පෙරමුණේ නාමයෙන් ටයර් සෑයවල්වල දැවී ගිය හෝ ගංඟාවල පාවී ගිය තරුණ මළ සිරුරු බොහොමයක් සැබෑම අරගලකරුවන් ද කියන එක අදත් දකුණට ප්‍රශ්නයක්. උදාහරණයක් විදිහට ‘සූරියකන්ද ’ දැක්විය හැකියි. ඒක ඉතා පැහැදිලිවම ජාතික ආරක්ෂාවේ නාමයෙන් පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමක්. 1971 කැරුල්ලේ කළු පැල්ලමක් වශයෙන් සැලකිය හැකි ‘පේ‍්‍රමවතී මනංපේරි’ සිද්ධියත් ගොනුවෙන්නේ මේ පෞද්ගලික කෝන්තර කුලකයට.

කිරි කළයට ගොම දැම්මේ කවුද ?

මේ අනුව අපට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා ගැටුම් ( යුද්ධය කියන්නේ අවස්ථාවාදීන්ට පහසු ගොදුරු බිමක් බව. ඔවුන්ට ඒ කැළඹුම්කාරී පරිසරය තුළ ඉතා පහසුවෙන් තමන්ගේ ගොදුරු පසුපස හඹාගොස් සතුරන්ව ඉවත් කිරීමට ඉතාමත් පහසු අවස්ථාවක් ස්වභාවිකව මෙන්ම නෛතිකව ද මේ පරිසරය නිර්මාණය වෙනවා. අවස්ථාවාදීන් රජයේ නිල යාන්ත්‍රණයක් වශයෙන් සැලකෙන බුද්ධි අංශ ප්‍රයෝජනයට ගන්නේ මෙවැනි පහසු අවස්ථාවකදීයි. මන්ද ‘ජාතික ආරක්ෂාව’ කියන ලේබලයෙන් මෙවැනි ඕනෑම දේකට ඉතා පහසුවෙන් නෛතිකභාවය මෙන්ම සමාජ සුජාතභාවය ද ලබාගත හැකියි. බලය තිබෙන තාක් කල් මේ සියලූ ක්‍රියාකාරකම් ඉතා පහසුවෙන් සඟවා තැබිය හැකියි.

අද ‘බුද්ධි අංශ දඩයම’ කියලා මහා ඝෝෂාවක් නඟන හිටපු පාලකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් සමාජය හමුවේ සඟවන්න උත්සාහ කරන්නේ කිසිදා එළි නොවනු ඇතැයි සිතා සිටි ඔවුන්ගේ මේ කැත සෙළුවයි. අපි සමාජයක් ලෙස මේ තත්ත්වය වටහා ගත යුතුයි. නිල සංඛ්‍යා ලේඛන නැති නිසා දස දහ දහස් ගණනක් යැයි සැලකිය හැකි බුද්ධි අංශ සාමාජිකයන්ගෙන් අද චෝදනා ලබා සිටින්නේ නොසැලකිය යුතු තරම් අතලොස්සක් පමණක් බවයි වාර්තා වෙන්නේ.

මේ පුද්ගලයන් අතලොස්ස සැලකිය හැක්කේ ප්‍රභාකරන්ගේ, පොට්ටුඅම්මාන්ගේ බුද්ධි අංශ ජාලය වනසා දමා මහා යුද ජයග්‍රහණ අත්පත්කර දුන් බුද්ධි අංශ නිලධාරීන් විසින් ජාතිය දොවා දුන් මහා කිරි කළයට ගොම මුසු කළ පිරිසක් වශයෙනුයි. මන්ද ඔවුන් විසින් සිදුකළ බව කියන සිදුවීම් කිහිපයක් නිසා අද සමාජය හමුවේ නිගරුවට හෝ හෙළාදැකීමට ලක්වන්නේ ජාතියක් ගලවා දුන් බුද්ධි අංශ නිලධාරීන් අති බහුතරයක් වීමයි. අපි මේ ගැන වඩාත් සංවේදීව විමසා බැලිය යුතුයි.

උදාහරණයක් වශයෙන් 1971 කැරුල්ල මර්දනය කිරීමේ දී සිදු වූ අපකීර්තිමත්ම සිදුවීම වශයෙන් සැලකිය හැකි පේ‍්‍රමවතී මනංපේරි ඝාතකයන් අධිකරණය හමුවට ගෙනැවිත් නිසි දඬුවම් දීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පියවර ගත්තා. එමගින් රජයට මෙන්ම හමුදාවට එරෙහිව එල්ල වූ අපකීර්තිය නැතිකර ගැනීමට හැකි වුණා. ඒ පමණට නොවුණත් 1988-89 කැරලි සමයේ සිදු වූ ‘සූරියකන්ද සමූහ මිනීවළ’ හා සම්බන්ධ ඝාතකයන් නීතිය හමුවට ගෙන ඒමට 1994 දී බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ආණ්ඩුව පියවර ගත්තා. ඊට පසුව යාපනයේ ක්‍රිශාන්ති කුමාරස්සාම් ආදී ඝාතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණා. ඒ වගේම මුතුර් සහන සේවකයන් ඝාතනය කිරීම, ත්‍රිකුණාමලයේ සිසුන් පස් දෙනකු ඝාතනය කිරීම ආදි සිදුවීම් විමර්ශනයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින්ම ‘උඳුලාගම’ කොමිෂම පත් කළා. මහින්ද රාජපක්ෂ මහතා විසින්ම පත්කළ ‘උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ජනපති කොමිසම’ පවා මේ ගැන සොයා බලා විමර්ශන වාර්තා ඉදිරිපත් කළා. එදා මේ සිදුවීම් ගැන විමර්ශන කරමින් චූදිතයන් අධිකරණයට හමුවට ගෙන ආවේනම් ‘චැනල් ෆෝ’ වැනි අවලාදවලට, ජිනීවා මානව හිමිකම් කොමිෂමේ බලපෑමට ලක්වීමට සිදුවන්නේ නැහැ.

ඒ නිසා අපට අවධාරණය කිරීමට සිදුවන්නේ ‘ලෝකයේ භයානකම ත්‍රස්තවාදී සංවිධානය’ සහමුලින්ම පරාජයට කළ කීර්තිමත් හමුදාවක් ’ ලෙස ලෝකයා හමුවේ අභිමන් ලැබීමට නියමිතව සිටි ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශවලට එකී අභිමානය ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි කරමින් ඔවුන් ජාත්‍යන්තර ඉදිරියේ මෙන්ම තම රට හමුවේද අවමානයට පත් කළේ ‘බොරදියේ මාළු බෑමට’ ගිය අවස්ථාවාදීන් බවයි.

සඟවන ඇත්ත කුමක්ද ?

මේ තත්ත්වය අපට ඉතා පහසුවෙන් තේරුම් ගත හැකියි. අද අත්අඩංගුවට පත් වෙමින් සිටින බුද්ධි අංශ සාමාජිකයන් දෙස විමසිල්ලෙන් බලන විට ඉතාම පහසුවෙන් අවබෝධ වන්නේ ඔවුන් දකුණේ තීරණාත්මක ඝාතන, පහරදීම්, අතුරුදන්කිරීම් ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා සිදු වුණු විධිමත් විමර්ශනවලින් පසු ‘සැකකරුවන්’ වශයෙන් අත්අඩංගුවට ගනිමින් සිටින බවයි. මේ අත්අඩංගුවට ගැනීම් දීර්ඝ කාලයක් පුරා කළ විමර්ශනවලින් පසුව සාක්ෂි මත සිදුවන බව අදාළ අංශ තහවුරු කරනවා.

කොටින්ම පසුගිය ආණ්ඩුව මෙන් ‘අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කිරීම ’ වෙනුවට ‘චෝදනා ගොනුකර විමර්ශනය කිරීමකින් පසු අත්අඩංගුවට’ ගැනීමක් වර්තමානයේ සිදුවන බවක් දැකිය හැකියි.

උදාහරණයක් වශයෙන් අන්දෝලනාත්මක ඝාතනයක් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේ දී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදුවන අත්අඩංගුවට ගැනීම් සහ මාධ්‍යවේ දී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් සිදුවන අත්අඩංගුවට ගැනීම් දැක්විය හැකියි. එමෙන්ම වසර 6කට අධික කාලයක් පුරා සිදුවන මාධ්‍යවේ දී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීම හා සම්බන්ධ සිදුවීම සැලකිය හැකියි.

මේ සිදුවීම් ඇතුළු මේවන විට සිදුවන සියලූම විමර්ශන හා අත්අඩංගුවට ගැනීම් සැලකිය හැක්කේ හුදු පෞද්ගලික න්‍යාය පත්‍ර නොවන ජාතික අවශ්‍යතාවක් මත සිදුවන ක්‍රියාදාමයක් ලෙසයි.

අද ‘බුද්ධි අංශ දඩයම් කරනවෝ ’ යැයි මොරදෙමින් ගොබෙල්ස්වාදීන් උත්සාහ කරන්නේ පසුගිය පාලන සමයේ දේශපාලන හා වෙනත් පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් අපහරණය කළ බුද්ධි අංශ සාමාජිකයන් කිහිප දෙනාගේ නාමයෙන් රටක ගෞරවයට පාත්‍ර වූ බුද්ධි අංශ තුළ කැළඹීමක් හා රජයට එරෙහිව අප්‍රසාදයක් ඇති කිරීම බව පැහැදිලියි.

අප රටත් හා ජනතාවක් ලෙස මේ සත්‍ය තත්ත්වය මනාව වටහාගත යුතුයි. බලය තිබෙන කාලයේ කිසිදා බලය අහිමි වෙතැයි නොසිතා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම තම පෞද්ගලික අභිමතය පරිදි හැසිරි වූ පුද්ගලයන් අද ‘ගලේ පැහැරූ බළලූන් සේ ’ හැසිරෙන්නේ රටත්, බුද්ධි අංශත් රැක ගැනීමට නොව තම පැවැත්ම හා ආරක්ෂාව උදෙසා බව අප වටහා ගත යුතුයි.

උදේ සවස නිවනක් නැතිව සිදුවන මේ ගොබෙල්ස්වාදී ප්‍රචාරය 2015 දී මෙන් තීරණාත්මකව පරාජය කර රටෙත් බුද්ධි අංශවලත් ගරුත්වයරැක ගැනීමට අප සියලූ දෙනාම අත්වැල් බැඳගත යුතුයි.

තුෂාල් විතානගේ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *