මැයි 18, යුද්ධය අවසාන වූ දවස, ප්‍රශ්නය තවත් වටයකින් ආරම්භ වූ දවස..! – දුලාන් දසනායක
තිස් වසරක යුද්ධය ජාතියක් වනසාලීය. උතුරේද දකුණේද මිනිසුන්ගේ ඉතිහාසය ලෙයින් තෙත් කළෝය. සිංහල මව්වරුන්ගේ විලාපය රැව් දෙද්දී උතුරේ මව්වරුන් විලාපයද ඊට නොදෙවෙනි විය. දකුණේ සිංහල දරුවන් රණවිරුවන් වෙද්දී උතුරේ දෙමළ දරුවන් ත්‍රස්තවාදීන් විය. LTTE යට සම්බන්ධ නොවූ දරුවන්ද මිනිසුන්ද උතුරේ ඝාතනය වද්දී, අතුරුදහන් වෙද්දී දකුණේ සාමාන්‍ය සිවිල් ජනයා ඝාතනය විය, අතපය අහිමි විය.
ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ අසාර්ථකත්වය වසර 30ක ලේ වැකි ඉතිහාසයක් උරුම කළේය. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ජාතිවාදයට, දේශපාලන අවස්ථාවාදයට අනුව ගත් ප්‍රතිපත්ති තීන්දු තීරණ සහෝදර ජනතාවක් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත් කළෝය. ජාතියේ තරුණ තරුණියන් සිය ජීවිතයේ සුන්දරම කාලයක මරාගෙන මැරෙන බෝම්බකරුවන් වීමේ ඛේදවාචකය පිළිබද සහකම්පනයක් නොමැති සමාජයක් බිහි විය.
දෙමළ සමාජයේ කැකෑරුන අහිමි වීම් සහ වෙනස්කොට සැලකීම් පිළිබද ප්‍රශ්න පිළිබද ආණ්ඩුවේ අවධානය යොමු වන විට යුද්ධය ආරම්භ වී අවසන් ය. තිම්පු සාකච්ඡා සිට විවිධ සාකච්ඡා විසදුම් යෝජනා LTTE ය සමග ආණ්ඩුද සිදු කළේය. ඉන්දියාවේ මැදිහත් වීමෙන් පළාත් සභා ක්‍රමය ඉදිරිපත් කළේය. දෙමළ අන්තවාදී LTTE යද, සිංහල අන්තවාදය එවක පෝෂණය කල ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී.ල.නි.ප ය පළාත් සභා ක්‍රමයට විරුද්ධ විය.
1998 දී හදුන්වා දුන් නව ව්‍යවස්ථා යෝජනාවලියටද දෙමළ අන්තවාදී LTTE ද, සිංහල අන්තවාදී ජවිපෙ ඇතුළු කොටස්ද විරුද්ධ විය. සියළුම යුද විරෝධී විසදුම් යෝජනා සිංහල අන්තවාදීන් සහ දෙමළ අන්තවාදීන් විරුද්ධ වීමෙන් යටපත් කරන ලදී. සුනාමියෙන් පසු ඉදිරිපත් කල සුනාමි සහන මණ්ඩලයද අද සුදනන් වී සිටින අන්තවාදීන්ගේ විරෝධයෙන් යටපත් කරන ලදී.
මේ සියළු ක්‍රියා තුළ සිංහල මූලික ජනපදනමක් දකුණේ නිර්මාණය වූ අතර යුදවාදී ජාතිවාදී ස්ථාවරයන්ගේ නියෝජිතයා ලෙස මහින්ද රාජපක්ෂ 2005දි බලයට පත් විය. ජනවරමට අනුව ඔහු සාකච්ඡා වලට එහායින් යුද්ධය තෝරා ගත් අතර 2009 දක්වා වූ ආපසු හැරීමකින් තොර අඛණ්ඩ සටනකින් LTTE ය පරාජය කිරීම දක්වා එය ගෙන යාමට ඔහු සමත් විය. අර්බුද අවස්ථාවේ අදත් ජනවරමක් අවශ්‍ය බව පවසන ඇතැම් අවස්ථාවාදීන් මේ ජනවරමත් පරීක්ෂා කල යුතුය.
2009 දී යුද්ධය අවසානය තුළ තවත් ප්‍රශ්න ගණනාවක් ආරම්භ විය. ත්‍රිකුනාමලයේදී LTTE ට සම්බන්ධ නැතු ළමුන් පස් දෙනෙක්ගේ ඝාතනය, ACF නම් වූ ප්‍රංශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන සමාජිකයන් 17කගේ ඝාතනය, නාවික හමුදා සාමාජිකයන්ට චෝදනා එල්ල වී ඇති කප්පම් සදහා කොළඹ දෙමළ දරුවන්ගේ අතුරුදහන් කිරීම, යුද්ධය අවසානයේ පුනුරුත්තාපනය සදහා හමුදාවට භාර දුන් තරුණ තරුණියන්ගේ අතුරුදහන් කිරීම, තවත් බරපතල ලෙස සාකච්ඡා වන පුද්ගල අතුරුදහන් කිරීම් පිළිබද යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වීම ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති තීරණාත්මක බරපතළ ප්‍රශ්නයි.
යුද්ධය අවසාන කිරීම හරහා සිදු කලේ සමස්ත ප්‍රශ්නය විසදීම නොව ජනවාර්ගික අර්බුදය නම් ගර්භාෂය තුළ යුද්ධය නම් කළලය ගබ්සා කිරීමය. ජනවාර්ගික අර්බුදය නම් ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍ය කර්මය නතර විය. යුද්ධයේ අවසානය ජනඝාතන සියල්ල අමතක කරනු ලැබීය. දකුණේද උතුරේද මව්වවරුන්ට දරුවන් අහිමි වීම අමතක කරන ලදී. බිරින්දෑවරුන්ට ස්වාමියන් අහිමි වීමද දරුවන්ට පිය වරුන් අහිමි වීමද නරුම ලෙස අමතක කරන ලදී. මතක් කලේ වාර්ගික උද්දච්ච කමයි. මේ සුලු ජනවර්ග පිටමං කිරීමේ උද්දච්චකම සර්ව සිංහල ජනාධිපතිවරයෙක් පත් කිරීම දක්වා ඉදිරියට යන ලදී.
යුද්ධය අවසානයෙන් පසු ජාතිය ගොඩ නැගීම සදහා ගත් සියළු උත්සහයන් අසාර්ථක විය. ජාත්‍යන්තර බලපෑම් මත පිහිටවූ සංක්‍රාන්ති යුක්තිය ස්ථාපිත කිරීම සදහා වූ වැදගත්ම කොමිසමක් වූ උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ ඉටු කිරීමට උනන්දුවක් ආණ්ඩුවට නොමැති විය. බහුතර ජනතාවටත් නොමැති විය. සංක්‍රාන්ති යුක්තිය සදහා පිහිටවූ සියළු යාන්ත්‍රණයන් අපේක්ෂිත සාර්ථකත්වය අත් කර ගැනීමට නොහැකි විය. ඒ සදහා උනන්දුවක් යුද්ධයේ දිනුමෙන් උද්දාමයට පත්වී සිටි ජනයාටද අවශ්‍ය නොවීය. ඇත්තවශයෙන්ම ලංකාවේ බහුතර ජනතා කැමැත්ත වූයේ එයය.
පශ්චාත් යුද සමයේ සිදු වූ මේ ක්‍රියාවලිය ලංකාව තුළ සහ ඉන් පිටතත් අවිශ්වාසයන් වර්ධනය කලේය. උතුරේ ජනමතයට අදාළව බලය බෙදීමේ විසදුමක් තියා පවතින පළාත් සභා ක්‍රමය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමටත් අප අසමත් වී ඇත. සත්‍යය සෙවීම හා සංහිදියාව සදහා වන සියළු යාන්ත්‍රණයන් අසමත් වී ඇත. යුද්ධයක් ජයග්‍රහණයක් කලේ ඇයි උදම් ඇනුවද යුද්ධයට හේතු වූ ප්‍රශ්න වලට විසදුම් සෙවිමටත් පශ්චාත් යුද සමය තුළ සංහිදියාව ඇති කර ජාතිය ගොඩ නැගීමටත් අප අසමත් වී ඇත. යුද්ධය අවසාන වී වසර 15 ක් ගත වෙද්දීත් මේ අසමත්කම පවත්වාගෙන යාම පිළිබදව අප සමස්ත ජාතියක් ලෙස ලැජ්ජා විය යුතුය.
ජාත්‍යන්තර වශයෙන් අප එක්සත් ජාතීන්ගේ මහලේකම් සමග එකග වූ යෝජනා මාලාවවත්, අපද අනුග්‍රහය දක්වමින් ඉදිරිපත් කල පළමු ජිනීවා යෝජනාවේ ක්‍රියාමාර්ගත්, එමෙන්ම ජාත්‍යන්තරය විසින් අපට ඉදිරිපත් කල ජිනීවා යෝජනාවන්ගේ නිර්දේශයන් සාතිශය බහුතරයක් ක්‍රියාත්මක කිරීමට අප අපොහොසත් වී ඇත.
යුද්ධය අවසන් වුවද ජාතිය ගොඩ නැගීමේ ගැඹුරු අර්බුදය විසදාගැනීමට අප අසමත් වී ඇත. මැයි 18 වන දින බත්තරමුල්ලේ පාර්ලිමේන්තුද අභියස කදුළු වගුරන සොල්දාදුවන් ගේ බිරින්දෑවරුන් මව් වරුන් සහ දරුවන්ටත් වෙල්ල මුල්ලි වයික්කාල් හි කදුළු වගුරන බිරින්දෑවරුන් මව් වරුන් සහ දරුවන්ටත් යුක්තිය ඉටු වීමට නම් ජාතිය ගොඩනැගීම සාර්ථක කර ගත යුතුය. ඒ සදහා සත්‍යය සොයා ගැනීම අතුරුදහන් වූවන්ට සහ ඔවුන්ගේ ඥාතීන් ට යුක්තිය ඉටු කිරීම, සංහිදියාද ගොඩ නැගීම,බලය බෙදීම අතිශයින් වැදගත් ය. මේ සියල්ල සම්බන්ධයෙන් ලංකාව සිටින්නේ ඉතාම පසුපසින් ය. ජනතාව සිටින්නේ ඉතාම පසුගාමී ස්ථාවරයන් වලය. ලංකාව තිරසාර ලෙස දශමයකින් හෝ ඉදිරියට යාමට නම් මේ කරුණු ඉටු විම අත්‍යවශ්‍ය ය.