දිනේෂ්ට සතියක් මැතිසබය තහනම්

පාර්ලිමේන්තුවේ කටයුතු වලට දිගින් දිගටම බාදා කරමින් මුලසුනේ නියෝග වලට අවනත නොවු ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු කටයුතු සතියකට අත්හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා ඊයේ (08) නියෝග කෙළේය.

කතානායකවරයාගේ නියෝග වලට අවනත නොවූ මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සතියකට අත්හිටුවන්නැයි සභානායක උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ යෝජනා‍ව ඡන්ද විමසීමට ලක් කිරීමෙන් පසුව කතානායකවරයා මේ නියෝගය කෙළේය.

යෝජනා සම්මතයකින් දිනේෂ් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු කටයුතු සතියකට අත්හිටුවීමට පෙර පාර්ලිමේන්තු කටයුතු වලට බාදාවන අයුරින් හැසිරෙන බැවින් දිනට නියමිත කටයුතු අවසන් වනතෙක් සභාවෙන් පිටව යන ලෙස ගුණවර්ධන මහතාට කතානායකවරයා නියෝග කෙළේය.

එම නියෝගය පිළි නොගත් දිනේෂ් ගුණවර්ධන මහතා දිගින් දිගටම පාර්ලිමේන්තු සභාගැබේ රැඳි සිටි අතර මේ මේ හේතුවෙන් පොලිසියේ සහයද ලබාගෙන ගුණවර්ධන මහතා සභාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස වේත්‍රධාරීවරයාට කතානායකවරයා නියෝග කෙළේය.

වේත්‍රධාරී නිලධාරීන්ට හෝ පොලිස් නිලධාරීන්ට ගුණවර්ධන මහතා එළියට රැගෙන යාමට නොහැකිවන පරිදි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු දිනේෂ් ගුණවර්ධන මහතා වටකර සිටි අයුරුද දක්නට ලැබිණි.

දිනේෂ් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු කටයුතු සතියකට අත්හිටුවීම වෙනුවෙන් සිදුකළ යෝජනාව වැඩි ඡන්ද 63කින් සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 85ක්ද විපක්ෂව ඡන්ද 22ක්ද හිමිවූ අතර ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තු නියෝජිතයෝ 114ක් සභාවෙහි නොසිටියහ.ජනතා විමුක්ති පෙරමුණ මේ යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ස්වාධිනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් කතානායක තීන්දුව නිකුත් කිරීමෙන් පසුව දිනේෂ් ගුණවර්ධන මහතා දිගින් දිගටම හැසිරුනු ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසුව කතානායකවරයා මේ පියවර ගත්තේය.

විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම ස්වාධීන වීම සම්බන්ධයෙන් තීරණය ලබාදීමෙන් පසුව කතානායකවරයා සඳහන් කෙළේ මේ තීන්දුව සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට විමල් වීරවංශ මහතාට පසුව අවස්ථාව ලබාදෙන බවයි.

සති ගණනක් සාකච්ඡා කිරීමෙන් පසුව නීත්‍යානුකූලව මේ තීන්දුව ලබාදුන් බවත් කතානායකවරයෙකුගේ තීන්දුවට එරෙහිව අභියෝග කළ නොහැකි බවත් කතානායකවරයා මෙහිදි පැවැසීය.

මේ සම්බන්ධයෙන් විවාදයක් කළ නොහැකි බවත් ‍ඉදිරි දින දෙක තුළ මේ කරුණ පිළිබඳ අදහස් දැක්වීමට විමල් වීරවංශ මහතාට අවස්ථාව ලබාදෙන බව ද කතානායකවරයා මෙහිදි සඳහන් කෙළේය.

දිනේෂ් ගුණවර්ධන මහතා:- මම කතාකරන්න ඉඩ දෙන්න.විමල් වීරවංශ මහතා ස්වාධීන වීම සම්බන්ධයෙන් කිසිම විරෝධතාවක් නොමැති බවට අගමැති තුමා කියා තිබෙනවා.

කතානායක කරූ ජයසූරිය මහතා:- ඔබතුමා ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙක්.ඔබතුමාගේ හැසිරීම සම්බන්ධයෙන් මම කණගාටු වෙනවා.මම ඉතිහාසය සළකා බලායි මේ තීන්දුව ගත්තේ.

විමල් වීරවංශ මහතා :- පක්ෂ හා සන්ධාන එකම තලයක තබමිනුයි ඔබතුමා මේ තීන්දුව ගෙන තිබෙන්නෙ.පක්ෂ කියන්නේ එකක්.සන්ධාන කියන්නෙ තව එකක්.

(කතා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් දිනේෂ් ගුණවර්ධන මහතා හා විමල් වීරවංශ මහතා දිගින් දිගටම ක‍තානායකවරයාට බාදා එල්ල විය.)

දිනේෂ් ගුණවර්ධන මහතා: ලැජ්ජයි කතානායක තුමනි

කතානායක:- ලැජ්ජ වෙන්න ඕන මම නෙවෙයි ඔබතුමාලායි.ඔබතුමාලාගේ ‍මේ හැසිරීම පාර්ලිමේන්තුවට කිසිසේත් ගැලපෙන්නෙ නැහැ.මම මේ තරම්වත් කාලය ලබාදුන්නා.මට මතකයි මම තොරතුරු පනත ඉදිරිපත්ක ළ වෙලාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස හැසිරුණු ආකාරය.ගරු මන්ත්‍රීවරයෙක් ලෙස හැ

සිරෙන්න.ඔබතුමා දිගින් දිගටම පාර්ලිමේන්තුවට අපහාස කරනවා.මෙහෙම ගියොත් ස්ථාවර නියෝග 74(1) යටතේ මට නියෝග කරන්නට සිදුවෙනවා. දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා විමල් වීරවංශ මහතාගේ හැසීරීම් සළකා බල බරපතල ලෙස හා විනය විරෝධි ලෙස හැසිරීම හේතුවෙන් කතානායකවරයා ලෙස තීන්දුවක් ගන්නට සිදුවෙනවා.

මෙම සිදුවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ දිගින් දිගටම ඇතිවූ තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව අවස්ථා තුනකදී කල් තැබීමටද කතානායකවරයාට සිදුවිය.

පස්වරු 1.25 සිට 1.45 දක්වාද, 2.05 සිට 2.40 දක්වාද නැවත 03.05 සිට03.15 දක්වාද පාර්ලිමේන්තුව මෙලෙස කල් තැබිණ.

ස්වර්ණා විජේකෝන් , රෝෂන් තුෂාර , චමීර ඇල්ලදෙණිය – දිනමිණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *