ජී.අයි. බට නඩුවට බැසිල්ට අධි චෝදනා

පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 36.5ක් වැය කර ජී.අයි. බට මිලදී ගැනීමෙන් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධව අධිකරණය හමුවේ පෙනී සිටි ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට හා දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාට  ඊයේ (08) විවෘත අධිකරණයේදී අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු මහිලාල් වෛද්‍යතිලක මහතා විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

ඒ අනුව රුපියල් ලක්ෂ 20 බැගින් වූ මුදල් හා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇපකරුවන් තිදෙනකු බැගින් ඇපකරුවන් ලෙසඉදිරිපත් කිරීමට නියෝග කළ විනිසුරුවරයා ඇඟිලි සලකුණු ලබාදීමට ද විත්තිකරුවනට නියෝග කළේය.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට අධිකරණ පොලිස් නිලධාරිවරයාට නියෝග කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් පසු සෑම මසකම අවසන් ඉරිදා උදේ 9 – 12 ‍අතර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට ද විත්තිකරුවනට නියෝග කළේය.

රජයට අයත් මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු අධි චෝදනා තුනක් යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අසාද් හවාස් මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන අනිල් සිල්වා, ජයන්ත වීරසිංහ, ශවේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුනච් හා නීතිඥ විජේසිරි අඹවත්ත ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිටියහ.

ඇප තැන්පත් කිරීම සඳහා නඩුව මෙම මස 29 වැනිදා කැඳවෙයි.

කුමුදු හෙට්ටිආරච්චි – දිනමිණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *