නිදහස අවභාවිතය – සී. ජේ. අමරතුංග

 තැලෙන යකඩය දුටුවාම උඩ පැන පැන තලනවා’ කියා කතාවක් ජනවහරේ ඇත. ‘කල දුටු කල වළ ඉහගන්නවා’ යන්න තවත් එබඳුම කතාවකි. දැන් දිගින් දිගට සිදුවන උද්ඝෝෂණ හා වැඩ වර්ජන ආදිය දුටු විට බොහෝ දෙනෙකුට එබඳු කතා මතක් වෙනවා විය හැකිය. මේවා දැන් සිදුවන්නේ වෙනදා නොවූ ප්‍රමාණයෙනි. මෙතෙක් කල් නිදා සිටි පිරිස් දැන් හදිසියේ අවදි වූවා මෙනි.

ජනවාරි, පෙබරවාරි මාසවල සිදුවූ වැඩ වර්ජන උද්ඝෝෂණ නිසා රටට දින විස්සක් අහිමි වූ බව පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ප්‍රකාශ කොට ඇත. ඒ මහතා කියා ඇත්තේ සයිටම් විරෝධතා නිසා පමණක් දින දහයක් පාරවල් වැසූ බවයි. විරෝධතාකරුවන්ට මේවා දැනෙනවා ඇත්තේ වීර ක්‍රියා වශයෙනි. එසේ වුවද එමඟින් මහජනයා විශාල ලෙස පීඩාවට ලක්වෙන බව ද රටේ ආර්ථිකයට බලපෑමක් සිදුවන බව ද මතක තබාගත යුතුය.

විරෝධතාකරුවන් කියනවා ඇත්තේ මහජනයාට සිදුවන පීඩා ගැන රජය වගකිවයුතු බවයි. රජය ප්‍රශ්න නොවිසඳන නිසා මේ සියල්ල සිදුවන බව ඔවුන් කියනු ඇත. එසේ වුවද මේ බොහොමයක් ප්‍රශ්න වත්මන් ආණ්ඩුවේ නිර්මාණ නොවන බව නම් පැහැදිලිය. සයිටම් හැදුවේ වසර ගණනකට පෙරදීය. විශ්‍රාමික සෙබළුන්ගේ ප්‍රශ්නය ද පැරණි කතාවකි. ඒවාට විරෝධතා පවත්වන්නේ දැන් ය. ඒ දැන් රටේ ප්‍රජ‍ාතන්ත්‍රවාදී නිදහස තහවුරු වී ඇති නිසාය. මහජන ප්‍රශ්නවලට ඇහුන්කන් දෙන්න රජය සූදානමක් පෙන්නුම් කර ඇති නිසාය. ඒ නිසා උද්ඝෝෂණ, වැඩ වර්ජන කරන විට හිරිහැරය ජනතාවටය. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ම මහජන පීඩාවක් බවට පත්ව තිබෙන්නේ ඒ ආකාරයෙනි. මෙය නම් ඛේදවාචකයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

අසාධාරණ ක්‍රියාමාර්ග

දුම්රිය සේවය වැඩවර්ජනය කරන බව මෙය ලියන මොහොත වන විටත් පැවැති තත්ත්වයයි. ජලසම්පාදනයේ මනු කියවන්නන්ගේ වර්ජනයක් නිසා ජල බිල්පත් නිකුත් වන්නේ නැත. ඒවා එකතු වී එක විට ලැබුණු විට ද හිරිහැරය මහජනයාටය. සයිටම් දොස්තරලාගෙන් ලෙඩුන් බේරාගන්න කියා වැඩ වර්ජනය කරමින් ලෙඩුන් මැරෙන්නට හරින දොස්තරලා ගැන ද දිගින් දිගට වාර්තා වෙයි. මේ කිසිවකට මේ රටේ මහජනයා වගකිවයුතු නැත. එසේ වුවද විඳවන්නේ මහජනතාවයි.

වැඩ වර්ජනය කිරීම උද්ඝෝෂණ කිරීම ආදිය සේවක අයිතිවාසිකම් බවට විවාදයක් නැත. එසේ වුවද එම අයිතීන් භාවිතා කළ යුතු වන්නේ ද සාධාරණවය. මේවා සාධාරණ ඉල්ලීම් හා අයිතීන් ලබාගැනීම සඳහා භාවිතා කළ යුතුය. එසේ කළ යුතු වන්නේ ද අනෙක් සියලු මාර්ග ඇහිරී ඇති විටය.

මෙම අයිතිය ඉතාම සාධාරණ වන්නේ කාර්මික කම්කරුවන්ටය. පෞද්ගලික කම්හලක සේවය කරන කම්කරුවන්ට අයිතීන් දිනාගැනීමට මෙම අයිතිය භාවිතා කළ හැකිය. එයින් මහජනයාට එතරම් පීඩාවක් නැත. එසේ වුවද මහජනයාට සේවා සපයන ආයතනවල එය ක්‍රියාත්මක කළ යුතු වන්නේ සීමා සහිතවය. එයින් පාඩු සිදුවන්නේත්, හිරිහැරයට ලක්වන්නේත් සමස්ත ජනතාවය. එම වෙනස හඳුනාගැනීම වැදගත්ය.

අනෙක් අතට සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවාවල වැඩවර්ජන කිරීමට ඉඩදිය යුතු ද යන්න ද ප්‍රශ්න කළ යුතුව ඇත. එබඳු අංශයක වැඩවර්ජන තහනම් කිරීම ප්‍රශ්නයට විසඳුම නොවිය හැකිය. එසේ වුවද වැඩ වර්ජනවලට නොයා එම සේවක ප්‍රශ්න විසඳා ගැනීමේ යාන්ත්‍රණ ගැන ද සිතා බැලිය යුතුව ඇත.

වැඩ වර්ජන හා උද්ඝෝෂණ සඳහා නිදහස ප්‍රජාතන්ත්‍රවාදය යටතේ තහවුරු කර දෙන්නේ එමඟින් මහජනයාගේ, කම්කරුවන්ගේ හා අනෙකුත් සේවකයන්ගේ සාධාරණ ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීම සඳහාය. එහිදී වැදගත් වන්නේ ඉල්ලීම්වල සාධාරණත්වයයි. යුක්ති සහගත භාවයයි. දැන් ඇතැම් විට ප්‍රශ්න මතුවන්නේ මෙම නිදහස අසාධාරණ ලෙස යොදාගැනීම නිසාය. තමන්ට තිබෙන හයිය පෙන්වා වරප්‍රසාද දිනාගැනීම සඳහා මෙම නිදහස යොදාගැනීමයි.

විශාල වන්දි මුදලක් ලබාගෙන කැමැත්තෙන් විශ්‍රාම ගිය සෙබළුන් එලෙස වන්දි ගෙන විශ්‍රාම නොගිය උදවියට තිබෙන සියලු වරප්‍රසාද ඉල්ලීම් කෙතරම් සාධාරණ ද යන්න ප්‍රශ්නයකි. සයිටම් ආයතනය පිහිටුවීමේදී කිසිවක් නොකියා එහි සිසු අයිතිය වෙනුවෙන් උසාවි තීන්දුවක් ලැබී තිබියදී වහාම එය පවරා ගන්නා ලෙස බලකිරීමට වැඩ වර්ජන කිරීම ද බරපතළ ප්‍රශ්නයකි. එය අධිකරණ ක්‍රියාවලියට හා ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමට ද කරන අභියෝගයකි.

ෙබාරු කතා සහ යටි අරමුණු

අනෙක් පැත්තෙන් පෙනෙන්නට තිබෙන්නේ මෙම ඇතැම් විරෝධතා ගොඩනඟන්නේ යටි අරමුණු සහිතව බවය. එමෙන්ම ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ මහජනයා නොමග යවන බොරු බේගල් ඉදිරිපත් කරමිනි. එම බේගල්වලින් පෙනෙන්නේ මේවායේ තිබෙන වංචනික භාවයයි.

මෙලෙස බොරු කප්පරක් කියමින් ගොඩනඟන්නට හැදූ විරෝධතාවයක් නම් එට්කා විරෝධයයි. එම ගිවිසුම සකස් කොට නැති අතර තවමත් කරන්නේ සාකච්ඡා කිරීමය. ඉන්දියානුවන්ගේ තිබෙන ඇතැම් ආරක්ෂණවාදී ආකල්ප නිසා මෙය කල්යමින් පවතියි. එසේ වුවද රජයේ වෛද්‍ය නිලධාරී සංගම් ප්‍රධානීන් ර‍ටට කීවේ මෙම ගිවිසුමෙන් ඉන්දියානු බාබර්ලා මෙරටට ගෙන්වන්න යන බවය. රජය එසේ නොවන බව කීවාට පිළිගන්නේ නැත. දිවැසින් දුටු සේ සපත කරන්නේ අමු පචයකි.

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට යවන්නේ කරුංකා පමණකැයි ද මෙම දොස්තර ලොක්කෙකු දිගින් දිගට කියාගෙන යන්නේ ඒ ගැන තොරතුරු දැන කෙලපැමිණි‍යකු ලෙසය. මෙරටින් යවන ද්‍රව්‍ය අතරින් කරුංකා යවන්නේ සියයට එකක් පමණක් බව ඔහු දන්නේ නැත. කරුංකාවලට හිමිවන්නේ විසිපස්වන තැන බවත් රබර් නිෂ්පාදන වැනි කාර්මික නිෂ්පාදන විශාල ප්‍රමාණයක් යවන බවවත් මොවුන් දන්නේ නැත. නැතහොත් කියන්නේ නැත. පල් බොරු මත පදනම්ව උද්ඝෝෂණ හා වැඩ වර්ජන කරන්නේ එහෙමය.

මෙවැනි වංචාකාරී විරෝධතා කරන්නේ ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්නට යැයි සිතීමට ඕනෑ තරම් කරුණු ඇත. ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළේ කේන්ද්‍රීය අරමුණක් නම් විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමයි. ඒ සඳහා ඉන්දියාව, චීනය, සිංගප්පූරුව හා වෙනත් රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට රජය සූදානම්ය. එය 2015 මහ මැතිවරණයේ එජාප මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළ ප්‍රතිපත්තියකි. මෙය ක්‍රියාත්මක කිරීම බකල් කිරීම එට්කා විරෝධයේ අරමුණක් බව පෙනෙන්නට තිබේ.

සයිටම් ආයතනයේ ප්‍රශ්නයට එකම විසඳුම ලෙස එය වසාදැමීම ගැනම උද්ඝෝෂණය කිරීම ද එබඳුම සැක කටයුතු කාරණයකි. සයිටම් වසා දැමුවහොත් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට තවත් ආයෝජන පැමිණීම අධෛර්යමත් කළ හැකිය.

මේ උද්ඝෝෂණ කරන ආකාරයෙන් පෙනෙන්නේ මොවුන්ගේ සැබෑ අරමුණ එය බවයි. දැන් මොවුන් දත කන්නේ ආණ්ඩුව ලවාම ආණ්ඩුවේ වළ කපාගන්නා තැනට ඇද දමන්නටය. දුෂ්ටත්වය තියෙන්නේ එතැනය.

උද්ඝෝෂණ, වැඩ වර්ජන කරන උදවිය අතර සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරන කණ්ඩායම් ද සිටිය හැකිය. එසේ වුවද බොහෝවිට අපට දකින්නට ලැබෙන්නේ එම තත්ත්වය නොවේ. ඇතැම් ඉල්ලීම්වල තිබෙන්නේ වරප්‍රසාදයි. එබඳු එක පිරිසකට විශේෂ තත්ත්වයක් ලබා දුනහොත් ඊට සමාන නැතහොත් සමාන්තර තවත් සේවා ගණනාවකටද එය ලබාදීමට සිදුවෙයි. නැතහොත් එය අසාධාරණයකි. එසේ තිබියදී කෙසේ හෝ වහාම විසඳුම් දිය යුතුයි කියා තර්ජනාංගුලිය එසවීම කෙතරම් සාධාරණ ද යන්න ප්‍රශ්න කළ යුතුව ඇත.

මෙම වර්ජන, උද්ඝෝෂණ රැල්ල මඟින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට තර්ජන එල්ල වී ඇති බව ද තේරුම් ගත යුතුව ඇත. පසුගිය කාලයේ මේවාට ඉඩ තිබ්බේ නැත. මේවා කරන්නට යන අය වෙත සුදු වෑන් පැමිණෙනු ඇත. නැතහොත් පහරකෑමට හෝ අතුරුදන් වීමට ද සිදුවිය හැකිය. ඒවාටත් මුහුණ දී උද්ඝෝෂණ කළහොත් නිදහස් වෙළෙඳ කලාපයේදී හා රතුපස්වලදී මෙන් වෙඩි පහරට ලක්විය හැකිය. දැන් උද්ඝෝෂණ කරන්නේ එබඳු තර්ජන ගර්ජන නැති නිසාය. නිදහස තහවුරු වී ඇති නිසාය.

වර්ජන, තර්ජන, ගර්ජනවලින් මහජනයා හිරිහැරයට ලක්වන විට රාජපක්ෂවාදී කල්ලියේ උදවිය කියන්නේ අපේ කාලයේ ඔහොම වුණේ නෑ කියාය. ඒ කියන්නේ අපි ඕවාට ඉඩ දුන්නේ නැහැ කියාය. මේ හිරිහැර දුරදිග ගියහොත් මහජනයාත් හිතනු ඇත්තේ මේවාට ඉඩ නොදිය යුතු බවයි. ඒවා මැඬපැවැත්විය යුතු බවයි. එයින් ශක්තිමත් වන්නේ ඒකාධිපතිවාදයේ මතවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අවභාවිතය ප්‍රජාතන්ත්‍ර විරෝධී මතවාදය ශක්තිමත් කරන්නේ ඒ ආකාරයෙනි.

අාණ්ඩුව වැට්ටීෙම් උත්සාහය

1956 මහ මැතිවරණයන් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුව බලයට පත්වූ අවස්ථාවේදී ද මෙබඳුම නිදහස විවරවීමක් සිදු වූ බව ඉතිහාසයේ සඳහන්ය. ඒ මහතා බලයේ සිටි වසර කිහිපයේදී වැඩ වර්ජන 500 කට වඩා සිදුවීම එහි ප්‍රතිඵලයකි. කෙසේ වෙතත් ඒ සියල්ලෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ආණ්ඩුව තුළ දක්ෂිණාංශය හිස එසවීමයි. බණ්ඩාරනායක මහතා ඝාතනය වීම ද එහිම ප්‍රතිඵලයකි. එය අපි ඉතිහාසයෙන් උගත යුතු පාඩමකි.

වත්මන් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය වී ඇත්තේ ද මහජන ප්‍රශ්න දෙස සානුකම්පිතව බැලීමයි. සියලුදෙනාට සාධාරණය ඉටුකිරීම එතුමාගේ අභිලාෂයයි. ඒ නිසාම ජනාධිපතිතුමාගේ අවධානය දිනාගැනීමට වැඩි වැඩියෙන් වර්ජනවලට, උද්ඝෝෂණවලට පෙළඹීමේ ප්‍රවණතාවයක් ද තිබෙනවා විය හැකියි. ඒ අතර වැඩියෙන්ම තිබෙන්නේ යටි අරමුණු සහිත ව්‍යාපාර, බොරුකාර හා වංචනික උද්ඝෝෂණ ආදියයි. ඇතැමුන් ක්‍රියාකරන්නේ හයිය පෙන්නා ආණ්ඩුව වැට්ටීමටය. ආණ්ඩුව අමාරුවේ දමන්නටය.

මෙයින් මහජනයා තව තවත් අපහසුතාවයට පත්වන විට තමන්ට වාරය එනු ඇතැයි පැරණි ඒකාධිපතිවාදියෝ සිතනු ඇත. මර්දනකාරී ඒකාධිපති පාලනයකට යළි ඉඩ ලැබෙනු ඇතැයි ගණන් බලන්නට ද ඉඩ ඇත. එසේ වුවද කෙතරම් ප්‍රශ්න ආවත් යළිත් මර බියේ ජීවත්වන යුගයකට යාමට මේ රටේ ජනතාව කැමැති නොවන බව නම් විශ්වාසය.

කෙසේ වෙතත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් සතු වගකීම ද අවධාරණය කළ යුතුව ඇත. ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත කරන වර්ජන, උද්ඝෝෂණ රැල්ල මඟින් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන තර්ජනය සුළුවෙන් නොතැකිය යුතුය. මෙම ව්‍යාපාර හෙළිදරව් කරමින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කිරීමේ ක්‍රමවේද අවශ්‍යයි. දුෂ්ට අරමුණු සහිත උද්ධච්ච බොරුකාරයන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තර්ජන මැඬලීමට මහජන බලයම අවදි කළ යුතුව ඇත.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *