ව්‍යවස්ථා සංශෝධනයේ යහපාලන ලක්ෂණ – ගාමිණී වියන්ගොඩ

 

යහපාලනයේ පදනම වැටී තිබුණේ ප්‍රධාන කාරණා දෙකක් මූලික කරගෙනය. එක, දූෂණය හා දණ්ඩ මුක්තිය පිටුදැකීමය. එනම් රාජපක්ෂ පාලන සමයේ දූෂණ ක්‍රියාවල නිරතවීමෙන් දණ්ඩ මුක්තිය හිමිවූවන්ට තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන එනවාය, දඬුවම් ලබාදෙනවාය කියන කාරණයයි. දෙක, ඒකාධිපති පාලකයකු බිහිකරන විශාල බලයක් ඒකරාශීවි තිබෙන වත්මන් ජනාධිපති ධුරය අහෝසි කර බලය බෙදීමේ ක්‍රියාවලිය මූලික කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යනවාය කියන කාරණයයි. යහපාලන වේදිකාව සමන්විත වූයේ මේ කාරණා දෙක පදනමේ තබාගෙනය. එනිසා ජනාධිපති ක්‍රමය අහෝසි නොකරනවා යැයි දැන් කිසිවකුටත් ප්‍රකාශ කළ නොහැකිය.

පසුගිය ආණ්ඩුවෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නව නගරශාලාවේදී පැවති පළමු මාධ්‍ය හමුවේදී ‘‘තමන් රාජපක්ෂ ආණ්ඩුව තුළ කටයුතු කළේ දැඩි පීඩනයකින් බවත්, ඇමතිවරයකුව සිටිය දී එතරම් පීඩනයක් දැණුනා නම් ජනතාව කෙතරම් පීඩනයකයට පත්වන්නට ඇතිදැයි තමාට තේරුම්ගත හැකි බවත් “ කියා සිටියේ ය. මෙයට හේතුව අත්තනෝමතික බලතල සහිත ජනාධිපති ක්‍රමය බවත්, තමන් බලයට පත් වූ වහාම යළි එවැනි තත්ත්වයක් ඇති නොවන්නට මෙම ධුරය අහෝසි කරන බවත් එතුමා එහිදී ප්‍රකාශ කර සිටියේය.

වත්මන් ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කළේ එක් අවස්ථාවකදී පමණක් නොවේ. අවස්ථා කිහිපයකදීම ඒ බව සිහිපත් කළේය. මුළුමහත් රටේම ජනතාවගේ අවධානය යොමූ වූ ගෞරවණීය සෝභිත ස්වාමින් වහන්සේගේ ආදාහනෝත්සව අවස්ථාවේ දී ද එතුමා ඒ පිළිබඳව ප්‍රතිඥා දුන්නේය. එනිසා දින සියයේ වැඩපිළිවෙල සඳහා සකස් කළ ලියවිල්ලක් උපයෝගී කරගෙන, නොපැමිණි මන්ත්‍රීන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ලබාගෙන සංශෝධනය කළ හැකි සංශෝධන සිදුකිරීමට පමණක් එකඟ වූ බවට, එම පක්ෂයේ ඇතැම් පිරිස් කරන ප්‍රකාශයන් පිළිගත නොහැකිය. ඒවා හාස්‍යජනකය. ඇත්තෙන්ම මෙවැනි මත ප්‍රකාශ කරන්නේ එතුමාගේ ජයග්‍රණයට කැපවී සිටි පිරිස නොවේ. වත්මන් ජනාධිපතිවරයාගේ පරාජය ප්‍රාර්ථනා කරමින් රාජපක්ෂ පාලනය නැවත ස්ථාපිත කිරීම සඳහා කැපවී කටයුතු කළ උදවියයි. මේ පිරිස පසුව පැවති මහා මැතිවරණයේ දී ජනතාව විසින් ප්‍රතික්ෂේප කළේ ඒ නිසාය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ පිළිබඳව ඉතා සවිඥානිකව හා සංවේදීව කටයුතු කළ යුතුව ඇත.

විදේශ රටක සිට තමන් දෙමළ ජනතාවගේ නායකයා යැයි කියමින්, ඊලාම් ආණ්ඩුවක් පිහිටුවාගෙන සිටින රුද්‍රකුමාර් වැනි පුද්ගයන් කරන ප්‍රකාශ, සමස්ත දෙමළ ජනතාවගේ මතය නොවේ. දකුණේ මෙන්ම උතුරේද ජාතිවාදී කොටස් විවිධ ප්‍රකාශ සිදු කරයි. ඒ මත තබා සියලු දෙමළ ජනතාව ඔවුන්ගේ මතය පිළිගන්නේ යැයි සිතීම වැරැදිය. නමුත් ඔවුන් ඒ මතය සඳහා කිසියම් ආකාරයක නැඹුරුවක් දක්වන්නේ නම්, එය ඔවුන්ගේ වරදක් ලෙස ගිනිය නොහැකිය. ඕනැම අයකු තම අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා කිසියම් ක්‍රියාමාර්ගයකට එළඹ, එය ව්‍යර්ථ වූ තැන ඒ සඳහා විකල්ප මාර්ගයන් සෙවීම ස්වභාවිකය. ඒ නිසා කළ යුත්තේ, ජනතාවට බලය අභ්‍යාස කළ හැකි ආකාරයට බලය විමධ්‍යගත කර ඉඩම් බලතල, පොලිස් බලතල… ආදී ඔවුන්ගේ කටයුතු පහසුවෙන් කරගැනීමට අවශ්‍ය කරන බලතල ඔවුන් වෙත ලබාදීමය. එවිට ඔවුන් මේ යාන්ත්‍රණයේම පංගුකාරයන් කොටසක් බවට පත් වේ. මෙමගින් ඔවුන් විකල්ප මාර්ගවලට පෙළඹීමට ඇති ඉඩ අවුරා දැමීය හැකිය. උදාහරණයකට මහා බ්‍රිතාන්‍යය අලිඛිත ව්‍යවස්ථාවක් පවත්වාගනිමින් ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය, නෙදර්ලන්තය ආදී සිය පරිවාර රාජ්‍යවලට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය බලය බෙදාදෙමින් ඉතාම සාර්ථකව ඒකීය රාජ්‍යයක් ලෙස කටයුතු කරයි. ෆෙඩරල් ක්‍රමය යනු බෙදුම්වාදයට උඩගෙඩි දෙන්නක් ලෙස ඇතැමුන් කොරහේ කිඹුලන් දකිතත් සත්‍ය එය නොවන බව යට කී උදාහරණයෙන්ම පෙනේ.

ජාතිකවාදී නායකයකු ලෙස ක්‍රියා කරන අතුරලියේ රතන හිමියන් පසුගියදා සිදු කළ ප්‍රකාශවලින් පෙනීයන්නේ මේ කාරණා සම්බන්ධයෙන් ඉතා සාධනීය ස්ථාවරයකට පැමිණ ඇති බවයි. මෙහිදී මගේ අදහස වන්නේ, සුවිශේෂී යමක් උතුරට ප්‍රදානය කළ යුතුයි යන්න නොව සියලුම පළාත් සභාවලට තම කටයුතු සිදු කිරීමට අවශ්‍ය කරන සියලු ආකාරයේ බලතල පවරාදිය යුතුය යන්නය. විශේෂයෙන්ම මහා අමාත්‍යවරුන්ගේ ඉල්ලීම වන්නේ ඔවුන්ට පළාත් සභාව තුළ කටයුතු කිරීම සඳහා දැනට තිබෙන බලතල ප්‍රමාණවත් නොවන බවයි. එය උතුරු නැඟෙනහිර පමණක් නොව දකුණේ, ඌවේ, සබරගමුවේ ආදී සියලු පළාත්වල මහා අමාත්‍යවරුන්ගේ ඉල්ලීමකි.

උදාහරණයක් ලෙස දක්වතොත් ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා මෑතකදී සඳහන් කර තිබූණේ ඌව පළාත මේතරම් නොදියුණු තත්ත්වයකට පත්ව ඇත්තේ පළාත් සභාව තුළ නිසි ලෙස බලය බෙදීමක් නොකළ නිසා බවයි. ඒ නිසා මෙය උතුරේ පමණක් නොව දකුණේ පළාත් සභාවලටද බලපා ඇති ගැටලුවකි. එසේම නගරසභාවලට, ග්‍රාමීය සභාවලට මෙන්ම ප්‍රාදේශීය සභාවලටද මේ ආකාරයට ඔවුන්ගේ කටයුතු පහසු කරගැනීම සඳහා අවශ්‍ය බලය ලබාදිය යුතුය. මේ අනුව සෑම ජනතා නියෝජනයකටම බලය අභ්‍යාස කිරීමේ නියෝජනයක් ලබා දිය යුතුය. වත්මන් පාර්ලිමේන්තුවේ බලය හිමිව ඇත්තේ කවර ආකාරයට ද එලෙසින්ම පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා හා පළාත් පාලන ආයතනවලට ද ඒ සඳහා අවශ්‍ය බලතල ලබා දිය යුතුය.

එසේ නොමැතිව බලය අභ්‍යාස කිරීමේ පංගුකාරිත්වයක් නොදී හුදෙක් රැස්වීම් පවත්වන්න නම් මේ තනතුරු දැරිය යුතුවන්නේ, එහි තේරුමක් නැත. ඒ නිසා නගර සභා, ගම් සභා ආදියටත් ඔවුන්ගේ බල ප්‍රදේශය තුළ ඔවුන්ගේ විෂය පථයන් තුළ කටයුතු කිරීමේ බලය පවරා දිය යුතුය. මධ්‍යම ආණ්ඩුව යටතට පැවරෙන ප්‍රධානතම කටයුතු වන්නේ රාජ්‍ය ආරක්ෂාව, විදේශ ප්‍රතිපත්තිය, මූල්‍ය කලමනාකරණය වැනි කටයුතු හා ජාතික වැදගත්කමකින් යුතු නීති සම්පදනය කිරීමයි. එවැනි කාරණා මධ්‍යම ආණ්ඩුව යටතේ තිබියදී අනෙකුත් ප්‍රාදේශීය වශයෙන් වැදගත් සියලු කාරණා ඒ ඒ ප්‍ර දේශවල පිහිටි ආයතනවලට පැවරිය යුතුය. ඒ අනුව විය යුත්තේ කේන්ද්‍රය සතුව පවතින බලතල විශාල ප්‍රමාණයක් පරිධිය වෙත පැවරිය යුතුය.එවිට ප්‍රජාතන්ත්‍රවාදය සජීවීව සෑම ජන කොටසකටම දැනෙන්නට පටන් ගන්නා අතර, ඒ සදහා කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක යුතුකම වේ.

ඇතැමුන් සිතා සිටින්නේ පළාත් සභා ඇත්තේ උතුරේ පමණක් කියාය. දකුණේ, ඌවේ, සබරගමුවේ… ආදී වශයෙන් රට පුරාම පළාත් සභා පිහිටුවා තිබේ. මේ බලතල හිමිවන්නේ ඒ සියලු පළාත් සභාවලටය. තමන්ටත් මේ රටේ බලයක් තිබෙනවාය තමනුත් එහි පංගුකාරයන්ය යන හැඟීම මේ රටේ ජීවත්වන සෑම ජනකොටසක් තුළම ඇති විය යුතුය. ඒ සඳහා බලය විමධ්‍යගත කර මධ්‍යම ආණ්ඩුවට එහි කේන්ද්‍රය වශයෙන් ක්‍රියා කළ යුතුය. එවිට බෙදුම්වාදයට ඇති ඉඩ ප්‍රස්ථාව අහෝසි වේ. එසේ නොවන විට ඊළාම් වාදයට මාන බලන පිරිස්වලට පහසුවෙන් තම බීජ රෝපණය කළ හැකි සරු පොළොවක් නිර්මාණය වේ. එ් නිසා බලය බෙදීමේ සංයුක්ත ක්‍රියාවලියකට අප යා යුතුව තිබේ.

ඉහළ මන්ත්‍රී මණ්ඩලය සහ පහළ මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් මට්ටම් දෙකක මන්ත්‍රණ සභා දෙකක් ඇති කිරීම සඳහා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යෝජනා කර ඇත. නමුත් මෙය අප රටට අලුත් දෙයක් නොවේ. මීට පෙරද සෙනෙට් සභාවක් මෙරට තුළ පැවති‍යේය. අවාසනාවකට අද ඒවා දක්නට නොමැත. මේ ආකාරයේ මන්ත්‍රණ සභා ඇති කිරීම තුළින් ප්‍රශ්න රාශියකට විසඳුම් ලබාදිය හැකි යැයි නිගමනය කළ හැකිය. මෙම මන්ත්‍රීවරුන් පත්කරන්නේ කෙසේද යන්න පිළිබඳව තවම නිශ්චිත නිගමනයකට පැමිණ නොමැති වුවත්, පාර්ලිමේන්තු මැතිවරණයෙන්ම ඒ සඳහා නායකයන් පත්කරනවද, එසේත් නැති නම් පළාත් සභාවලට පත්වන පිරිසෙන් කිහිපදෙනකු මේ සඳහා පත් කරනවද, මීට අමතරව ජනාධිපතිවරයා විසින් හෝ පාර්ලිමේන්තුව විසින් තවත් නියෝජිතයන් පත් කරනවාද, ඒ අයගෙ සංඛ්‍යාව කොපමණ විය යුතුද? ආදිය සාකච්ඡාවට බඳුන් කළ යුතු තාක්ෂණික කාරණාය.

කෙසේ වෙතත් මගේ නිගමනය වන්නේ මෙම යෝජනා ඉතාම යහපත් බවයි. මේ හරහා මධ්‍යම ආණ්ඩුව තුළ පළාත් සභාවට කිසියම් නියෝජනයක් හිමි වේ. එවිට පළාත් සභාවලට අමතරව මධ්‍යම ආණ්ඩුව තුළත් කටයුතු කිරීමේ අවස්ථාවක් උදා වේ. මෙය වඩා ප්‍රජාතන්ත්‍රවාදී පියවරකි. මීට අමතරව යම් පළාත් සභාවක් වෙනම රාජ්‍යයක් සඳහා කිසියම් කටයුත්තක නිරතවන බවට සාක්ෂි සහිතව ඔප්පු වුවහොත් එම පළාත් සභාව විසුරුවා හැර එහි බලතල මධ්‍යම ආණ්ඩුව වෙත පවරාගත හැකි ආකාරයට නව ව්‍යවස්ථාව තුළට සංශෝධන ඇතුළත් කළ හැකිය. මෙලෙස බලය ලබාදීම මඟින් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කතා කිරීම තහනම් කිරීම වෙනුවට එය ක්‍රියාවෙන්ම අඩාළ කළ හැකි වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයකට යා හැකිය. මේ ක්‍රමය ඉන්දීය ආණ්ඩු ක්‍රමය තුළ ද දැකගත හැකිය. ඒ නිසා ප්‍රජාතාන්ත්‍රීය රාමුවක් තුළ රටට වඩා යහපත් ව්‍යවස්ථා සම්පාදනයකට යොමුවීම කාලෝචිතය.

මේ ආකාරයටම මැතිවරණ ක්‍රමයේ කිසියම් වෙනසක් ඇති කිරීමද අත්‍යාවශ්‍ය කාරණාවකි. දැනට පවතින සමානුපාතික ක්‍රමයේ පවතින ආදීනව අප ඕනෑ තරම් අත්විඳ ඇත්තෙමු. මනාප ක්‍රමය නිසා පමණක් ම නොව එය ලංකාව වැනි රටකට උචිත මැතිවරණ ක්‍රමයක් ද නොවේ. තම තමන්ගේ පක්ෂවලට විශේෂයෙන්ම කුඩා පක්ෂවලට මේ නව මැතිවරණ ක්‍රමය නිසා අවාසියක් සිදුවනවාය යන්න කිසිසේත්ම පිළිගත නොහැකි තර්කයකි. තමතමන්ගේ පක්ෂවලට මත්ත්‍රීවරුන් කීදෙනකු සඳහා පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් ලැබෙනවාද යන්න මත, ජාතික අවශ්‍යතාවක් කේවල් කිරීමට යෑම උචිත නොවූවකි. බලය බෙදා හදාගැනීම සඳහා රටේ සියලු ජනතාවගේ නියෝජනයක් අත්‍යවශයෙන්ම ලබාදිය යුතුය. ඒ සඳහා අවශ්‍ය නියෝජනය කොට්ඨාස ක්‍රමය තුළ වුවත් දිනාගත හැකිය. එසේ නොවූවත් පෙර සඳහන් කළ උත්තර මන්ත්‍රී මණ්ඩලය (සෙනෙට් සභාව) තුළ වුවත් මේ සඳහා නියෝජනයක් ලබාගත හැකිය. මේවා තාක්ෂණික ගැටලු මිස ප්‍රතිපත්තිමය කාරණා නොවේ. ඒ නිසා කොට්ඨාස ක්‍රමයේ හා සමානුපාතික ක්‍රමය මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් පිළිගැනීමට සියල්ලන්ම ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයක් ඇති කරගත යුතුය. එහි දී සියයට 60 – 40 ද, 65 – 35 ද, යන්න පසුවට සාකච්ඡා කළ හැකි කාරණාය. මූලික විය යුත්තේ මේ සඳහා ප්‍රතිපත්තිමය තීරණයකට එළඹීමය.

නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ඒ සදහා ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවකි. මන්ද අප දන්නා ආකාරයට සෝල්බරි හා ඩොනමෝර් ආදී ව්‍යවස්ථා, මෙරට තුළ දී සම්පාදනය වූ ඒවා නොවේ. එමෙන්ම 1972 ව්‍යවස්ථාව සහ 78 ව්‍යවස්ථාව යන ව්‍යවස්ථාව දෙක ම දේශීය ව්‍යවස්ථාවන් වුවද ඒවා කෙටුම්පත් කර සම්මත කළේ ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක විමසීමෙනි. එකල දෙමළ ජනතාව හා මුස්ලිම් ජනතාව මේ ව්‍යවස්ථා දෙකම ප්‍රතික්ෂේප කළේය. ඊට හේතු වූයේ මෙම ව්‍යවස්ථා කෙටුම් පත් කිරීමේ දී හා සම්මත කිරීමේ දී ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් ලබා නොදීමය. මේ රටේ සියලු ජනතාවගේ කැමැත්තෙන් සම්මත වූ ව්‍යවස්ථාවන් ලෙස ඒවා සැලකිය නොහැකිය. නමුත් මේ වන විට රටේ සිටලු ජන කොටස් තුළ කිසියම් ආකාරයක එකඟතාවයක් අැති වී තිබේ.

මේ නිසා නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට යම් වාසි දායක තත්ත්වයක් වාස්තවිකවද නිර්මාණය වී තිබේ. මෙවන් අවස්ථාවක නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ජනමත විචාරණයක් පැවැත්වුවහොත් මෙම ජනකොටස් දෙකේම සහභාගීත්වය ඒ තුළ නියෝජනය වේ. 78 ව්‍යවස්ථාව තුළ 13වන සංශෝධනය හරහා දැනට ක්‍රියාත්මක පළාත් සභා ක්‍රමය ඇතුළත් කළද, එය ජනතාව මූලික කරගෙන සංශෝධනය වූවක් නොවේ. ඒ තුළ ඔවුන්ගේ ප්‍රශ්නවලට අදාළව බලය බෙදීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය විධිවිධාන ඇතුළත්ව නොතිබුණි. නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී බලය බෙදීමේ ක්‍රියාවලිය මූලික කරගෙන කටයුතු සිදු කිරීමට උත්සාහ ගැනීම පැසසිය යුතුය. 13වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කළ පළාත් සභා ක්‍රමය ඔවුන්ගේ ගැටලු විසඳාගත හැකි පරිදි බලතල ලබාදෙමින් වඩා විධිමත්ව ගෙන ඒම ඉතාම වැදගත්ය. මෙය මෙතෙක් ලංකා දේශපාලන ඉතිහාසයේ උද්ගත නොවූ ස්වර්ණමය අවස්ථාවකි. දෙමළ සහ මුස්ලිම් ජනකොටස් දෙකේම එකඟත්වය දැනටමත් මේ කෙරෙහි පලවී තිබීම රටේ අනාගතයට යහපත්ය. මේ මහඟු අවස්ථාව අප කිසිලෙසකින්වත් පැහැර හැරිය නොයුතුය. නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමතය විමැසීමේදී බහුතර ජනමතය ලැබීමට ඇති ඉඩකඩ බෙහෝය. එනිසා මෙය ලක් ඉතිහාසයේ ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරන්නක් විය හැකිය. ඊට හේතුව වන්නේ මෙරට පූර්ණ ජනමතයෙන් සම්මතවන පළමු ව්‍යවස්ථාව බවට මෙය වන නිසාය.

රසික කොටුදුරගේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *