රාජපක්‍ෂලා කෙරුවෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරන එකයි – වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා

පසුගිය රජය කාලෙ සියලූදෙනා බය වෙලා හිටියේ. සමහර මාධ්‍ය සහෝදරවරු ලියන්න බය වුණා. එදා මාධ්‍යවේදීන්ට සිදු වූ දේවල් ගැන විමර්ශනය නොකළේ ඇයි? යුද්දෙන් පස්සෙ සිදුවුන දේවල් ගැන විභාග කිරීමක් සිදු වුනේ නැහැ. මාධ්‍යවේදීන් පැහැර ගැනීම්, මාධ්‍ය ආයතන ගිනි තැබීම් සිද්ධ වුණා. ඒවා ගැන කිසිම පරීක්‍ෂණයක් නැහැ. සියත මාධ්‍ය ආයතනයට, සිරස මාධ්‍ය ආයතනයට ගිනි තැබුවා. ඇයි ඒවා ගැන විමර්ශනයක් කෙරුවෙ නැත්තෙ? කවුද මේවට වග කියන්න  ඕනෙ එවකට තිබුණු ආණ්ඩුව. මේවට වගකියන්න  ඕනෙ? ආරක්‍ෂාව භාර ඇමතිවරයා හැටියට ඒවකට හිටිය මහින්ද රාජපක්‍ෂ හා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ.
කිසිම මාධ්‍ය ආයතනයකට හැකියාවක් තිබුණෙ නැහැ ගෝඨාභය රාජපක්‍ෂව ප‍්‍රශ්න කරන්න. ඒ තරම්ම බියෙන් ත‍්‍රස්ත කරලයි තිබුණෙ. ඒ කාලෙ ඇමතිවරයෙක් කිවුවා, ‘ඔබලා ජනධිපතිතුමාගෙ කාටුන් අඳිනව, අනෙක් මැති ඇමතිවරුන්ගෙත් අඳිනව, පුලූවන්නම් ගෝඨාභයගෙ කාටුන් එකක් අඳින්න’ කියලා. එදත් අපි ඒ බිය ගැන නොතකා කතා කෙරුවා. පැහැරගැනීම් සම්බන්ධව. මේව පිටුපස සිටින පුද්ගලයන් කවුද කියන එක හෙළිකරන්න කියලා එදත් අපි කිව්වා. අපි අදත් කියනවා. මේවා පිටුපස සිටින්නේ ගෝඨාභය කියලා අපි අදත් කියනව.
ගෝඨාභය හිටිය නම් පාතාලය නැති වෙනව කියන එක කියන්නෙ කොහොමද? එයාට අවශ්‍ය පාතලය තියෙයි. එයාට විනාශ කරන්න  ඕනැ පාතාලය විනාශ වෙයි. ඔවුන්ට  ඕනැ පාතාලයට ඔවුන් අනුග‍්‍රහය දැක්වුවා. ඒවා නඩත්තු කෙරුවා. ඒකාලෙ සිදු වූ සිද්ධීන් පිළිබඳව කිසිදු විමර්ශනයක් කළේ නැහැ.
යුද්ධ කාලෙ බුද්ධි අංශයෙ හිටියෙ 4000යි. 2009 පස්සෙ ඒක 7000ක් කරනව. හාර දාහ හත්දාහක් කරන්නෙ ඇයි? යුද්දෙ ඉවර වුණාට පස්සෙ?. කාව මර්ධනය කරන්නද? බුද්ධි අංශය තමයි මේ පැහැර ගැනීම් සම්බන්ධව චෝදනාවට ලක්වෙලා තියෙන්නෙ. යුද්ධය කිරීම සම්බන්ධයෙන් කිසිම කෙනෙක් ප‍්‍රශ්න කරන්නෙ නැහැ. වැරදි අර්ථ කථනයන් තියෙනව.  ‘යුද්ධය කරපු අය නේද දංගෙඩියට ගෙනියන්න හදන්නෙ’ කියල.
අපි කියන්නෙ යුද්ධය කරපු යුධ හමුදාවෙ කීර්ති නාමය ආරක්‍ෂා කර ගැනීමට නම්, මේ ආකාරයෙන් මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ තමන්ට අවශ්‍ය ආකාරයට හසුරවපු පුද්ගලයන්ට දඬුවම් දිය යුතුයි. ඒක තමයි තියන එකම විදිහ යුධ හමුදාවේ කීර්ති නාමය ආරක්‍ෂා කර ගැනීම පිණිස. අපි ඉල්ලා සිටින්නේ ඒකයි. අපි ඉල්ලා සිටින්නෙ යුද්ධයෙන් පස්සෙ සිදුවුනේ මොකක්ද? යුද්ධයෙන් පස්සෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිවුණා.
ඔවුන් කියන්නෙ, ‘ප‍්‍රශ්න තියෙනව තමයි. නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා නැත්නම් නිදහසක් නෑ’ කියලයි. නිදහස නැති වුනේ කොහොමද? කවදයින් පස්සෙද? ත‍්‍රස්තවාදය නැති කරලා ගෝඨාභය රාජපක්‍ෂලා කෙරුවෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරපු එක. එතනින් පස්සෙ තමයි තමයි පැහැර ගැනීම් සිදුවෙන්නෙ, පහර දීම් සිදුවෙන්නෙ, ආයතනවලට ගිනි තියන්නෙ. කොහොමද යුද්ධයෙන් පස්සෙ මේ වගේ දේවල් වෙන්නෙ? මේවා හෙළිදරව් වෙනකොට ජනතාව බය කරන්න හදනවා. ‘ගෝඨාභය හිටිය නම් මේවා වෙන්නෙ නෑ’ කියල.
අපි තොරතුරු මුල්කරගෙන තමයි කතා කරන්නෙ. අපි ඒ තොරතුරු ඉදිරිපත් කරන්නම්. කරන්න තියෙන්නෙ පණිවිඩ කාරයා හඹායන එක නෙමෙයි. ඒ පණිවිඩ ඔස්සේ ක‍්‍රියාත්මක වෙන එකයි. මේ අය වෙනුවෙන් ගැලවුම්කරුවන් අපිට අවශ්‍ය නැහැ. සාධාරණ විනිශ්චයක් තියන්න. මේ වැරදි කරුවන් හෙළිදරව් කරන්න.
ගෝඨාභය රාජපක්‍ෂ කටයුතු කෙරුවේ ආරක්‍ෂක ලේකම් විදිහට. එහෙම තනතුරක් තියෙන්නෙ කොහෙද? ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් කියල නම් තනතුරක් තියෙනව. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් වැනි තනතුරු තියෙනව. නමුත් ගෝඨාභය රාජපක්‍ෂ  මහත්තයට කිව්වෙ, ආරක්‍ෂක ලේකම් කියල. එහෙම තනතුරු තියෙන්නෙ ඇමරිකාවෙ. ඇමරිකාවෙ ලේකම්ල තමයි කැබිනට් ඇමතිවරු. එයාලා ඇමරිකානු විදිහට තමයි බලය පාවිච්චි කළේ. අමාත්‍යංශ්‍යක ලේකම් වෙන්නෙ යම් ක‍්‍රියාපටිපාටියකට අනුව. පරිපාලන විභාගය පාස්වෙච්ච, අත්දැකීම් හා සුදුසුකම් තියෙන පුද්ගලයන්. මේ පුද්ගලයා පත්වෙන්නෙ දේශපාලන ප‍්‍රභූ පවුලෙ කෙනෙක් නිසා ඔහු පත්වෙනව. පත්වෙනව විතරක් නෙමෙයි, ආරක්‍ෂක ලේකම් කියල හඳුන්වා ගන්නවා. දැන් ආරක්‍ෂක අමාත්‍යංශයට පත්වෙලා ඉන්න ලේකම්ට කියන්නෙ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් කියල.
මේ පුද්ගලයා කාටවත් හසුරුවන්න බැරි පුද්ගලයෙක් වුණා. ඒ තිබුණ පාලන තන්ත‍්‍රය තුළ ඔහු අසීමිත බලයක් පාවිච්චි කළා. ඔහු ඉඩම් ඇල්ලූවා. පානම ඉඩම් ජනතාවට තාමත් නෑ. ඒවා අල්ල ගත්තෙ ගෝඨාභය රාජපක්‍ෂ, කොළඹ මිනිස්සු පන්නලා ඉඩම් අල්ල ගත්තා. ඔහු තමයි ඒවට විධානය දුන්නෙ. ඔහු තමයි ඒවට වගකිවයුතු පුද්ගලයා. ඒ මිනිස්සුන්ට උන්හිටිතැන් අහිමි කෙරුවෙ ඔහු. ඒ නිසා මේ මේ හුදෙක් පහුගිය ආණ්ඩුව ගැන දොස් කියනව කියල නම් හිතන්න එපා. මේ ආණ්ඩුව සම්බන්ධයෙනුත් අපි විවේචනය කෙරුව.
අශිලාචාර නාවික හමුදාපතිවරයා හිරු මාධ්‍යවේදියාගේ බෙල්ලෙන් අල්ලපු වෙලාවෙත් අපි මේ වගේම කතා කෙරුව. අපිට ඒ කාලෙ ද, මේ කාලෙ ද කියන ප‍්‍රශ්නය නෙමෙයි තියෙන්නෙ. අපි පෙනීසිටින නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන එක. දෙරණ මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදියෙක්ගෙ නම කියමින් අග‍්‍රාමාත්‍යවරයා කතා කරන කොට අපි කිව්වා තමන්නෙ වරප‍්‍රසාදවලට මුවා වෙලා මාධ්‍යවේදීන්ගෙ නම් කියමින්, මාධ්‍යවේදීන් ඉලක්ක කරමින් කටයුතු කරන්න එපා කියල. ඒ මොහොතෙ අපි ඊට විරෝධය දැක්වුවා. අපිට පුළුවන් වුණා විරෝධය දක්වන්න.
අද ඒකාබද්ධ විපක්‍ෂය කතා කරනවා මාධ්‍ය නිදහස ගැන. මේක ඉතාම හොඳයි. ඒ මේ රටේ ජනතාව කරපු දේශපාලන පරිවර්තනය නිසා. එහෙම නොවුනා නම් මේව ගැන කතා කරන්නද? එදා දේශපාලන අකටයුතුකම් ගැන පෙනීසිටියා හා සමානව අපි අදත් පෙනී සිටිනව. අපි අදත් සූදානම් නෑ වැරදිකරුවන් ආරක්‍ෂා කරන්න. පාතාලකයක් ක‍්‍රියාත්මක වෙලා තියෙනව. මෙසේ වෙඩි තැබීම ගැන රජය වගකීම බාරගත යුතුයි.  මෙතන වෙනස තියෙන්නෙ රජය පාතාලය මෙහෙයුවේ නෑ. රජය නෙමෙයි පාතාලය. පසුගිය කාලයේ වුනේ රජය තමන්ට  ඕන විදිහට පාතාලය මෙහෙව්වා. අපිට අවශ්‍ය වන්නෙ රජය ආරක්‍ෂා කිරීම නෙමෙයි. ජනවාරි 8 වෙනිදා ඇති වූ එක`ගතාවයන් ආරක්‍ෂා කරන්න. ඒ එක`ගතාවයන් වල ප‍්‍රධාන කාරණය තමයි යුක්තිය හා සාධාරණත්වය. ජනතාව මේ රජයෙන් කන්න බොන්න ඉල්ලූවෙ නැහැ. මේ ජනතා නැගිටීම ඇති වුනේ ලක්‍ෂ 10ක් රස්සා දෙනව කිව්වට නෙමේ. කන්න බොන්න දෙනව කිව්වට නෙමේ. ජනතා නැගිටීම ඇති වුනේ, ලක්‍ෂ 62කකට අධික පිරිසක් මේ පෙළගැස්ම ඇති කළේ යුක්තිය හා සාධාරණත්වය ඉල්ලලා. තාම ඒ සාධාරණත්වය ලැබිලා නෑ ඒ නිසයි අපි කියන්නේ සාධාරණ පරීක්‍ෂණ කිරමින් වැරදිකරුවන්නට දඬුවම් දිය යුතුයි කියල.
මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *