ගෝඨාභය රාජපක්‍ෂ මගෙ සැමියාව අතුරුදහන් කෙරුව – මයුරිද සිල්වා

2013 සැත්තැම්බර් 2 වෙනිදා ගෝඨාභය රාජපක්‍ෂගෙ කීමකට මගෙ සැමියාව අතුරුදහන් කෙරුව. එතකොට මම ගැබිනියක්. ගෝඨාභය මගෙ සැමියව අතුරුදහන් කරන්න කියලා බාර දීලා තියෙන්නෙ එවකට හිටපු පොලිස්පති තුමාට. එතුමා රජගිරියෙ එස්.ටී.එෆ්. කෑම් එකේ නදීක ද සිල්වට තමයි මේක බාරදීලා තියෙන්නෙ. මගෙ සැමියාගැන කිසිම තොරතුරක් අද වෙනකලූත් නෑ.
තවත් සහෝදරයන් දෙදෙනෙක් එක්ක තමයි මගෙ සැමියව අතුරුදහන් කෙරුවෙ. දැන් අවුරුදු තුන හමාරකට කිට්ටුවෙනව. මගෙ දරුවො දෙන්නට අවුරුදු 3 1/2යි. ඒ ළමයි දෙන්නා තාත්තා දැකල නැහැ. පසුගිය ආණ්ඩුවෙන් මට ගොඩක් බලපෑම් තිබුණා. ඒ ආණ්ඩුව කාලේ මාව අරගෙන ගිහිල්ලා කැලේ බැඳලා දැම්මා. මට තර්ජන තිබුණා. වෙඩිතියන්න ආවා. ඒ බලපෑම් තියෙද්දි නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධානවලින් මාව පාරට ගෙනල්ලා, මගෙ කිරි දරුවො දෙන්නත් එක්ක මගෙ පොටෝ ගහල ජනවාරි 8 වෙනිදා ඡුන්දෙ දිනාගන්න ගොඩක් දේවල් කෙරුව. මම කියන්න කැමතියි ජනවාරි 8 වෙනිදායින් පස්සෙ මම ගොඩක් සතුටු වුණා. මගෙ සැමියව අතුරුදහන් කිරීම පිළිබඳ සාධාරණ පරීක්‍ණෂයක් සිදුවෙයි කියල.
මගෙ සැමියා පළතුරු කඩයක් කෙරුවෙ. එයා වැරැුද්දක් කෙරුවා නම් මට කියන්න. වැරැුද්දක් කෙරුවා නම් දඬුවම් කරන්න. මම කියන්නෙ මගෙ සැමියා වරදක් කළා නම්, මම දැනගන්න කැමතියි එයා කරපු     වැරැුද්ද මොකක්ද කියල. මෙහෙම අතුරුදහන් කරලා, මරලා දාලා මිනියවත් දකින්න ඉඩ තියන එකද නීතිය. මම අහන්නෙ ඇයි එහෙම කරන්නෙ කියල. මගෙ විතරක් නෙමෙයි මේ වගේ කොච්චර අතුරුදහන් වීම් තියෙනවද? කාන්තාවක් විදිහට මම ගොඩක් දුක් විඳිනව දරුවො දෙන්නත් එක්ක.. මගෙ දරුවො කොහොමද ජීවත් වෙන්නෙ? මේ යහපාලනයෙන් මම බලාපොරොත්තු වුණා මට සාධාරණයක් වෙයි කියල. මම සල්ලි ඉල්ලූවෙ නෑ. අනිත් අය වගේ ගෙවල් දොරවල් ඉල්ලූවෙ නැහැ. මම ඉල්ලූවෙ මගෙ සැමියට ගෝඨාභය කරපු ආසාධාරණය මට හොයලා දෙන්න කියල. මට කිරි පැකට් එකක්වත් හම්බවෙලා නැහැ. මට කිසිම දෙයක්  ඕනෙ නැහැ. මගෙ සැමියට පහුගිය ආණ්ඩුවෙන් කරපු ඒ අපරාධය වළලන්නෙ ඇයි?
රාජගිරියෙ එස්.ටී.එෆ්. කෑම්ප් එකේ නදිකා සිල්වා ඇතුළු තවත් නිලධාරින් පිරිසක් ඉන්නවා මීට සම්බන්ධව. ඇයි මෙයාලාව අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ? ඇයි මේ ගැන පරීක්‍ෂණ කරන්නෙ නැත්තෙ? නඩුවක් යනව. ඒක කල්මරණව. මට නඩු කියන්න සල්ලි නැහැ. ඒ නඩුව ගැන පැහැදිලි උත්තරයක් තවම ලැබිලා නැහැ. මගෙ සැමියත් එක්ක අරගෙන ගිය තව දෙන්නෙක් ඉන්නව. පරීක්‍ෂණ කරන්න ඒ දෙන්න ඉන්නව. මම හොයාගත්ත තොරතුරු ඒ නිලධාරින්ගෙ නම් සමග මම දීලා තියෙනව. මාධ්‍යටපවා දීලා තියෙනව. මම ගොඩක් විශ්වාස කෙරුව මේ ආණ්ඩුවෙන්  සාධාරණයක් ලැබෙයි කියල. ඒත් තාම නෑ.
නොයෙක් රාජ්‍ය නොවන සංවිධානවලින් මගෙත්, මගෙ දරුවො දෙන්නගෙත් පොටෝ අරගෙන යම් දේවල් කෙරුවා. ඒ පිළිබඳ මම වෙනම කතාකරන්න ලෑස්තිවෙලා ඉන්නව. තවත් අම්මලා පිරිසක් ඉන්නව. මම ඒ අම්මලත් එක්ක කතා කරන්න සූදානම් වෙලා ඉන්නව.
මගෙ සැමියා කෙරුවෙ හොඳ වැඩද? නරක වැඩද? කරපු දේවල්වලට මරන්න අයිතියක් නැහැ. මේක සාපයක්. රන්ජන් රාමනායක මහත්තයා කිව්වා වගේ මටත් කියන්න තියෙන්නෙ මේවට හෙන ගහන්න  ඕනෙ කියල. මගෙ හුස්ම තියෙනකල් මම මේ අරගලයෙ ඉන්නව, මගෙ දරුවො දෙන්නට තාත්තාව නැති කෙරුවට. ඒ හින්දා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නෙ පරීක්‍ෂණ කටයුතු කරලා සාධාරණයක් කරන්න කියල. ගෝඨාභයගෙ හොර වහන්න එපා කියලා මම ඉල්ලා සිටිනව.
මගෙ සැමියා පළතුරු කඩයක් කෙරුවෙ. එයා වැරැුද්දක් කෙරුවා නම් මට කියන්න. වැරැුද්දක් කෙරුවා නම් දඬුවම් කරන්න. ඒත් අතුරුදහන් කරන්න අයිතියක් නෑ. සැමියා අතුරුදහන් වෙලා අවුරුදු 3ක් පිරුනට පස්සෙ මම ජනාධිපතිකාර්යාලය ගාව ගිහින් වාඩිවුණා දරුවන් දෙන්නත් එක්ක. දැන් පොලීසියෙන් ගෙදරට ඇවිල්ලා මට කියනව දරුවො දෙන්නගෙ උප්පැන්න සහතිකෙයි. විවාහ සහතිකෙයි අරගෙන පොලීසියට එන්න කියලා.

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *