කිරිඇල්ල නොදත් දින ටිරාන් මතක් කර දෙයි !

මෙරටට පැමිණෙන විදේශිකයින්ගේ වීසා ගාස්තු වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවෙන් අනුමත කළේ කවදා දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මතුකළ ප්‍රශ්නයට ටිරාන් අලස් ඇමතිවරයා දින වකවානු සහිතව පිළිතුරු දී තිබේ.

අදාළ යෝජනාව 2023.11.21 දින උපදේශක කාරක සභාවේ අනුමත කළ බවත්, 2023.11.23 දින පාර්ලිමේන්තුවෙන් එය අනුමත කළ බවත්, 2023.11.27 දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ බවත්, ඇමතිවරයා කී ය. මෙය  දෙපාර්ශවයේ එකඟත්වයෙන් විවාදයකින් තොරව සම්මත කළ බව ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

සංචාරක ව්‍යාපාරය වර්ධනය වෙන අවස්ථාවක රජය වීසා ගාස්තු වැඩිකර ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මතුකළ ප්‍රශ්නයක් නිසා මෙම  විවාදය ඇතිවිය. රජය ප්‍රකශ කළේ මෙය පාර්ලිමේන්තුවේ දෙපාර්ශවයේ අනුමැතියෙන් ගත් පියවරක් බව යි.

කෙසේ වෙතත්, සංචාරක ඇමති හරින් පීරිස් මහතා ප්‍රකාශ කළේ රටවල් හතක සංචාරකයින් වීසා ගාස්තුවලින් නිදහස් කොට ඇති බව සහ තවත් රටවල් හැටක් සඳහා ගාස්තු නිදහස් කිරීමේ හැකියාව සොයා බලා තීරණ ගැනීමට කමිටුවක් පත්කොට ඇති බව යි. ගාස්තු නිදහස් කොට ඇත්තේ මෙරට සංචාරකයින් වැඩි වශයෙන් එන රටවල් හතක් සඳහා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *