තක්කඩිකමේ අවසානය – සී ජේ අමරතුංග – ලංකාදීප – ගුරුදා විග්‍රහය – 2015-07-30

මැතිවරණයක් ආසන්න වන විට විවිධාකාර උණුසුම් මාතෘකා සාකච්ඡුාවට භාජන වීම පසුගිය කාලයේ දිගින් දිගට දකින්නට ලැබුණු තත්ත්වයකි. බොහෝවිට සිදුවූයේ මෙරට ජන වර්ග ගැටුමට සම්බන්ධ හැඟීම් අවුස්සන ප‍්‍රචාර නිසා දේශපාලනය උණුසුම් වීමයි. විටෙක එය සිදුවූයේ ප‍්‍රධාන පක්ෂ හෝ සුළුතර ජනයා නියෝජනය කරන පක්ෂ ඉදිරිපත් කරන දේශපාලන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ හෝ ඉල්ලීම් පදනම් කරගනිමින්ය. තවත් විටෙක කියැවුණේ විවිධ රහස් ගිවිසුම් හා කුමන්ත‍්‍රණ පිළිබඳවය.
අලි කොටි ගිවිසුම් ගැන කතා ආදිය ගැන මහජනයාට තවමත් අමතක විය නොහැකිය. එමෙන්ම පසුගිය මැතිවරණයේදී ප‍්‍රචාරය වූ රනිල්xමෛත‍්‍රීපාල රහස් ගිවිසුමේ කතාව දැන් අධිකරණය දක්වා දිග්ගැසුණු කතාවක් වී තිබේ. එදා ඉතා වගකීමෙන් යුතුව කියා ඉදිරිපත් කළ ගිවිසුමෙහි වගකීම ගන්නට කෙනෙක් දැන් නැත. එසේ වුවද ඒ මොහොතේ සිදුවූ ප‍්‍රචාරයේ බලපෑම ආපසු හැරවිය නොහැකිය. අපේ රටේ දේශපාලනය ක‍්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙන් බව තේරුම් ගැනීම  ඕනෑම අලූත් ප‍්‍රශ්නයක් ගැන සාකච්ඡුා කිරීමේදී ඉතා වැදගත් වෙයි.

කාලයක් චෙල්වනායගම් උතුරේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රචාරකයා වශයෙන් සිටියේය. එම කාලයේදී දකුණේ වගකිවයුතු ඇතැම් නායකයෝ සාකච්ඡුා මගින් උතුරේ ප‍්‍රශ්නය විසඳීමට උත්සාහ කළෝය. එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක හෝ ඩඞ්ලි සේනානායක හෝ වැනි නායකයන් ජාතිය පාවා දෙන්නට උත්සාහ දැරූ බවක් කිවහොත් අද කිසිවකු එය නොපිළිගන්නා බව පැහැදිලිය. එසේ වුවද බණ්ඩාරනායකxචෙල්වනායගම් ගිවිසුම හෝ ඩඞ්ලි සේනානායකxචෙල්වනායගම් ගිවිසුම හෝ ඇති කරගත් මොහොතේ ඒ ඒ අවස්ථාවල විරුද්ධ පක්ෂ ගෙන ගිය ප‍්‍රචාර ඊට වෙනස්ය. අවසානයේ එම ගිවිසුම්වලට හිමිවූයේ කුණු කූඩයයි. දුර දක්නා නුවණින් කටයුතු කළ නායකයන්ට රටේ ප‍්‍රශ්න විසඳන්නට නොහැකි වූයේ මහජන හැඟීම් අවුස්සා බියපත් කොට මෙහෙයැවීම නිසා බව දැන් පැහැදිලිය. එම වගකීම් රහිත දේශපාලනයට අවසානයේ වන්දි ගෙවූයේ මුළු රටේම මහජනතාව බව අමතක කළ නොහැකිය.

දැන් ප‍්‍රශ්නය නැවතත් ඇදී තිබෙන්නේ වෙනත් ආකාරයකින් බව පෙනෙන්නට තිබේ. දැන් ප‍්‍රචාරය වන්නේ දෙමළ ජාතික සන්ධානය ෆෙඩරල් ක‍්‍රමයක් ඉල්ලා සිටින බව හා එය යළිත් වරක් වෙනම රාජ්‍යයක් ඉල්ලීමට සමාන බවකි. උතුරු නැගෙනහිර එක්කිරීම, ඉඩම් හා පොලිස් බලතල ඉල්ලීම, සාම්ප‍්‍රදායික දෙමළ වාසභූමි පිළිබඳ සංකල්පය ආදී කාරණා ගණනාවක් දැන් සාකච්ඡුාවට ලක්ව ඇත. මේ සියල්ල පිළිබඳව සැකය සහ භීතිය වපුරා එමගින් තම දේශපාලන අස්වනු නෙළා ගැනීමේ උත්සාහයක් ද ඒ සමගම දියත්වී ඇති බව පෙනෙන්නට ඇත.

චන්ද බිලිබැමේ තරඟය

උතුරේත් දකුණේත් දැන් තිබෙන්නේ මහජන ඡුන්දය බිලි බා ගැනීමේ තරගයක් බව තේරුම් ගත යුතුව ඇත. එහිදී සියලූම දේශපාලන පක්ෂ විවිධ ඇම භාවිත කිරීමට උත්සාහ දරයි. සියල්ල සිදුවන්නේ එම බිලි බෑමේ ක‍්‍රියාවලිය තුළය.

ෆෙඩරල් යනු මේ මොහොතේ දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනයාට දෙන ඇමයි. අනෙක් ඉල්ලීම් සියල්ල ද එයට සම්බන්ධය. කවුරුත් දන්නා පරිදි පළාත් සභාවලට බලතල දී නැති නිසාත්, දහතුනට එහා යනවා  කියූ විසඳුම් ගැන කතා බහක් වත් නැති නිසාත්, උතුරේ දේශපාලනඥයන්ට වෙනත් මාවතක් විවෘතව ඇති ද යන්න සැක සහිතය. අනෙක් අතට දෙමළ ජාතික සන්ධානයට උතුරේ තම ආධිපත්‍යය පවත්වා ගැනීමේ අභියෝගයක් ද ඇත. හිටපු කොටින්ගේ ලැයිස්තුවක් මෙන්ම වෙනත් පක්ෂ ද සටන් බිමට පැමිණ සිටින්නේ දෙමළ ඡුන්ද ඩැහැගන්නටය. මේ සියලූ සටන් පාඨ ඉදිරියට එන්නේ එම තරගයේ ප‍්‍රතිඵලයක් වශයෙන් බව අප තේරුම් ගත යුතුව ඇත.

කෙසේ වෙතත් මෙරට දකුණේ සමාජයේ ෆෙඩරල් යන වචනය ගැන පවා ඇත්තේ එක්තරා විරෝධාකල්පයකි. එයට ප‍්‍රධානම හේතුව නම් එම සටන් පාඨය දිගු කලක් තිස්සේ මෙරට දෙමළ ජනයාගේ පැත්තෙන් ඉදිරිපත් වූවක් වීමයි. එස්.ජේ.වී. චෙල්වනායගම් මහතාගේ පක්ෂය ෆෙඩරල් පක්ෂයයි. ඒ නිසාම දකුණේ සිංහල ජනයාට ෆෙඩරල් හඳුනා ගන්නට ලැබෙන්නේ දෙමළ ජනයාගේ ඉල්ලීම වශයෙනි. එය ලොව පවතින පිළිගත් ආණ්ඩු ක‍්‍රමයක් බව තේරුම් ගන්නේ සුළු පිරිසක් පමණකි.

ෆෙඩරල් හරුපය

ශ්‍රී ලංකාවට ෆෙඩරල් රාජ්‍ය ක‍්‍රමයක් අවශ්‍ය ද? සුදුසු ද? යන්න වෙනම ප‍්‍රශ්නයකි. එසේ වුවද තේරුම් ගත යුතු පළමු කාරණය නම් එයට මෙරට ජනයා තුළ ගොඩනැගී ඇති බිල්ලකුගේ නැතහොත් මහා ව්‍යසනයක ප‍්‍රතිරූපය නම් නිවැරැුදි නොවන බවයි. මෙය විවිධ ජන කොටස් සිටින බොහෝ රටවල් ක‍්‍රියාවට නඟා ඇති ආණ්ඩු ක‍්‍රමයකි. අසල්වැසි ඉන්දියාව අර්ධ ෆෙඩරල් රාජ්‍යයක් පවත්වාගෙන යන්නේ ජාති, භාෂා හා ආගම් ප‍්‍රජාවන් රාශියක් එක්සත් කරමින්ය.

කෙසේ වෙතත් අද දකුණේ දේශපාලනය තුළ ෆෙඩරල් සටන් පාඨය ඉදිරිපත්වන්නේ බිල්ලකු වශයෙනි. එමෙන්ම එහි ඊළඟ පියවර වන්නේ කිසිදාක ෆෙඩරල් ගැන කතා කොට නැති පක්ෂ හා කණ්ඩායම් පවා ෆෙඩරල් වාදීන් හා එයට සහාය දෙන්නවුන් ලෙස හඳුන්වා විරෝධාකල්ප ගොඩනැඟීමයි. නැවත වරක් එය ඉදිරියට එන්නේ තවත් රහස් ගිවිසුමක් පිළිබඳ ප‍්‍රචාරයක් ලෙස වීමට හොඳටම ඉඩ ඇති බව පෙනෙන්නට තිබේ.

මෙම ප‍්‍රචාරයේ උපාය මාර්ගය හැම විටම පාහේ එකක්ම බව පෙනෙන්නට තිබේ. එනම් මෙය මෙසේ වුවහොත් විශාල විනාශයක්ය යන ආකල්පය ගොඩනැඟීම යැයි කියන්නේ මහත් ව්‍යසනයක් නැතහොත් විපතක් සිදුවීමට යන බවයි. සිදු කිරීමට කුමන්ත‍්‍රණය කොට ඇති බවයි. ඉතින් ජනතාවට කියන්නේ ඒ මහා විනාශයෙන් ගැලවීමට නම් තමන්ට ඡුන්දය දිය යුතු බවයි. ඒ අප කී මහා විනාශයෙන් මහජනයා බේරා ගැනීමටය. අතීතයේ මෙන්ම අදත් ක‍්‍රියාත්මක වන්නේ මේ එකම සෙල්ලමයි.

කලෙකට පෙර අපට කීවේ දෙමළ භාෂාවට තැනක් දුනහොත් එය මහා විපතක් වන බවයි. සිංහලයාගේ අයිතිය අහෝසි වන බවයි. එම බිල්ලා මවා මෙරට ජනයා මිනී මරා ගන්නා තැනට මෙහෙයවන්නට තරම් ඇතැම් දුෂ්ට බලවේග සාර්ථකව ක‍්‍රියාත්මක විය. දැන් දෙමළ රාජ්‍ය භාෂාවකි. අපේ දරුවෝ පාසල්වල දෙමළ බස උගනිති. සිංහල දරුවන් දෙමළ ඉගෙන ගනිද්දී දෙමළ දරුවෝ ද සිංහල උගනිති. එයින් කාටත් වාසියක් මිස හානියක් වී නැත. අතීතයේ අප මිනීමරා ගත්තේ අහවල් එකට ද කියා අසන්නට ද කෙනෙක් නැත.

බියපත් කිරීමේ උපක්‍රමය

ඉතිහාසයේ එක මොහොතක අපට කීවේ වාහනවලට ශ්‍රී අකුර නැති වුවහොත් මහා විපතක් බවයි. අද තිබෙන්නේ ඉංග‍්‍රීසි අකුරු කිහිපයකි. සිදුවූ විපතක් ගැන දැනගන්නට නැත. ඇත්ත විපත වූයේ ශ්‍රී අකුරම යොදන්නට යාමෙන් බව තවමත් යමෙකුට නොතේරෙන්නේ නම් අවාසනාවකි.
මේ මොහොතේ මහජනයා බියපත් කිරීම යළිත් පටන් ගෙන ඇති බව ඉතා පැහැදිලිය. තමිල්නාඩුවේදී කොටියකු හසුවීම පිළිබඳ ප‍්‍රචාරය එකකි. මුස්ලිම් අන්තවාදය පිළිබඳ කතාව තවෙකකි. ඩයස්පෝරාවේ කාගේ හෝ ප‍්‍රකාශයක් ද අතරමගදී භාවිතයට ගනු ඇත. අලූත් අලූත් කතා කියාගෙන මේ එන්නේ නම් පරණ ව්‍යාපෘතියම බවට සැක නැත.

වරෙක මහා ඝෝෂාවක් කළේ අලිxකොටි ගිවිසුමක් පිළිබඳවය. එදා කීවේ මහා පාවාදීමක් සිදුකිරීමට යන බවය. එදා මෙරට මහජනයා අතර සැලකිය යුතු පිරිසක් එය පිළිගත් බවත් පැහැදිලිය. එසේ වුවද පසුව හෙළිවූයේ සැබැවින්ම කොටි සමග ගිවිසුම් ඇති කර ගෙන උතුරේ ඡුන්ද වර්ජනයක් කෙරෙව්වේ අනුන්ට කොටි ලේබලය ඇලවූ පිරිසම බවයි. දැන් හෙළිදරව් වී තිබෙන්නේ එයට කෝටි ගණනින් කප්පම් මුදල් කොටින්ට ගෙවා ඇත්තේ ද මෙරට මහජනයාගේ මුදලින් බවයි. මීටත් වඩා දේශපාලන තක්කඩිකම් තවත් තිබේ දැයි යන්න සිතා ගැනීමටවත් නොහැකිය.

එක පැත්තකින් මෙයින් පෙනීයන්නේ අප රටේ දේශපාලනයේ පවතින බරපතළ බංකොලොත්භාවයයි. දේශපාලන බලය ලබාගැනීම සඳහා ප‍්‍රතිපත්තිමය සටන් කිරීමට මෙරට දේශපාලන බලවේගවලට ඇති නොහැකියාව මෙම හැසිරීමෙන් පෙන්නුම් කරන කාරණයකි. තුට්ටු දෙකේ වැඩ ලෙස හැඳින්විය හැකි පහත් ක‍්‍රියාවල නියැලෙන්නේ ඒ නිසාය. මේ කිසිවක් වගකිවයුතු හා ප‍්‍රතිපත්තිගරුක දේශපාලන බලවේගවල හැසිරීම් සමග නොගැළපෙන බව ඉතා පැහැදිලිය.
රට වෙනුවෙන් අනෙක් පක්ෂ ක‍්‍රියාත්මක කිරීමට යන ප‍්‍රතිපත්ති විවේචනය කිරීමට ද දේශපාලන පක්ෂවලට හැකියාව ඇත. එම විවේචන විවාද සංවාද මගින් තම ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට හැකියාව තිබීම දියුණු දේශපාලනයක ලක්ෂණයකි.

බංකොලොත් දේශපාලනය

පටු තක්කඩි දේශපාලනයක් ඉදිරියට දමන්නේ තමන් සතුව දියුණු දේශපාලනයක් නැති විට බව ද පැහැදිලි විය යුතු කාරණයකි. රටට ගැළපෙන ප‍්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට හෝ ඒවා විවාදයට ගැනීමට හෝ හැකියාවක් මෙම දේශපාලන බලවේගවලට නැති බව පෙනෙන්නට තිබේ. ව්‍යාජ සතුරන් මවා පාමින් අනෙක් පක්ෂ මත අභූත චෝදනා පටවා දේශපාලනය කිරීමේ බංකොලොත් තත්ත්වය නිර්මාණය වන්නේ එම තත්ත්වයෙනි. මෙරට ජනයා තේරුම් ගත යුතු හා මේ වන විටත් තේරුම් ගනිමින් සිටින යථාර්ථය එයයි.

අනෙක් කාරණය නම් දේශපාලනය සදාචාරයෙන් තොර බවට පත්වීමයි. බටහිරින් අපට ලැබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය නාමිකව ක‍්‍රියාවට නැඟුව ද එය තුළ රැුක ගත යුතු වටිනාකම් ගැන අපේ බොහෝ දේශපාලනඥයන්ට හැඟීමක් ඇති බවක් පෙනෙන්නට නැත. මෙම ක‍්‍රමය තිබෙන්නේ මහජනයාට ගෞරවනීය ආකාරයෙන් තමන්ට සුදුසු පාලනය තෝරා ගැනීමට බවත් එහිදී වංචාව, දූෂණය හා තක්කඩිකම් සිදු නොවිය යුතු බවටත් පිළිගැනීමක් නොමැත. එවිට සිදුවන්නේ බලය ගැනීම සඳහා  ඕනෑම ජඩකමක් තක්කඩිකමක් සාධාරණය යන ආකල්පයෙන් කටයුතු කිරීමයි. අපේ දේශපාලනයේ පවතින තත්ත්වය එයයි.

රට පාලනය කිරීමට යන දේශපාලනඥයෝ පළමුව නීතියට ගරු කළ යුත්තෝය. එසේ වුවද මෙම මැතිවරණය දක්වා අප රටේ නොතිබුණ ප‍්‍රධාන කාරණය ද එයයි. මෙම මැතිවරණයේදී වුවත් නීතිය ක‍්‍රියාත්මක වන්නේ දේශපාලනඥයන් එයට ගරු කරන නිසා නොවේ. මැතිවරණ කොමසාරිස් හා පොලිසිය එය ක‍්‍රියාවට නඟා ඇති නිසාය. ආණ්ඩු බලය දරන පක්ෂවල සහාය එයට ලැබී ඇති නිසාය. එසේ නොවූයේ නම් පරණ ජරා වැඩ සියල්ල නැවත දැක ගැනීමට අපට ඉඩ ලැබෙනු ඇත. අපගේ දේශපාලනඥයන්ගේ තත්ත්වය ඒකය.

බැරක් ඔබාමා ඇමෙරිකානු ජනාධිපති තනතුරට තරග කරන විට ඔහුගේ කළු ජාතික සම්භවය ඉදිරියට දමන්නට සුළු පිරිසක් උත්සාහ දැරුවෝය. එසේ වුවද වගකිවයුතු දේශපාලනඥයෝ එයට ඉඩ නුදුන්නෝය. ඒ දේශපාලන සදාචාරයයි. අපට නැත්තේ ද එයයි.

මෙම මැතිවරණයට ශ්‍රී ලාංකික ජනයා මුහුණ දෙන්නේ අතීතයේ සියලූ කටුක අත්දැකීම් පිළිබඳ අවබෝධය ඇතිවය. දේශපාලන තක්කඩිකම් ගැනත්, සදාචාරයෙන් තොර දේශපාලනය ගැනත් මේ වන විට මෙරට බහුතර ජනයාට අවබෝ්ධයක් ඇත. ජරාජීර්ණ දේශපාලනය පිටු දකින්නට ජනතාව තීන්දු කරනු ඇත්තේ ඔවුන් දැන් හොඳටම තෙම්පරාදු වී සිටින නිසාය. සියලූ දේශපාලනඥයෝ එය තේරුම් ගත යුත්තෝය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *