නලින්, 87/89 වෙච්ච දේවල් මෙච්චර සැහැල්ලුවෙන් කියනකොට මට මතක් වුනේ තමලිනීව..
බන්ඩාරගමයි පිලියන්දලයි අතර දකුනට හැරෙන්න තියෙන කිදෙල්පිටියේ ලොකු වංගුවෙන් වමට තියෙන අබලන් පාර වැටෙන්නේ හිරන තොටුපළ හරහා පානදුරේට, හිරන තොටුපලේ ඉදල එහා ඉවුරට යන්න තිබුනේ සුනිල් මාමගෙ පාලම් පාරැවේ. ඒ අබලන් පාරේ 1986 දවසක සුදුමාමා මාව තියාගෙන ෆුට් බයිසිකල් එක පාගනවා. යාන්තමට කරදඩු උස් වෙච්ච මම සුදුමාමට හුගක් බර ඇතියි කියල සුදුමාමගෙ හති දැමිල්ලෙන් මට තේරෙනවා. අපේ ගමනාන්තය වෙච්ච හිරන තොටුපළ ළඟ සෙනඟ පිරිලා, කිදෙල්පිටියේ මෙට්ට පත්මෙ මාම, මාව එක්කගෙන ආව කියල සුදු මාමට දොස් කියනවා.
තොටුපලේ ඉවුරේ තියෙන පාලු අම්බලම ළඟ පුංචි වන ලැහැබේ බොකුටු කොන්ඩෙයක් තියෙන සුදු කේඩෑරි වෙච්ච අයිය කෙනෙක් වැටිල ඉන්නවා. බෙල්ල යට උගුරැදන්ඩ හරියෙන් කපපු පාරක ගැඹුර වැහෙන්න ලේ ගිහිල්ලා ඒව මිදිල,ගල් වෙච්ච සිරැරේ ඇස් දෙක බාගෙට ඇරිලා අනන්තය දිහා බලාගෙන ඉන්නවා .බය වෙච්ච මම සුදුමාමගෙ සරමට වහං වෙනවා, බණ්ඩාරගම පොලීසියේ මහේන්ද්‍රන් වර්ගයේ නිල්පාට ජීප් එක වලගොඩැලි උඩින් එතනට ඇවිල්ලා තද බ්‍රේක් පාරකින් නවත්තනවා. වටේ ඉන්න පිරිසට විසිරිලා යන්න කිව්වත් කවුරැත් පය ඉක්මන් නොකරපු නිසා සාජන් ලාල් තමන්ගේ අතේ තිබ්බ රිවෝල්වරයෙන් අහසට වෙඩි තියනවා. ඊට කලින් කවදාවත් වෙඩිහඩක් අහපු නැති මම බයවෙලා අඩන්න හදනකොට පත්මෙ මාම මාව උස්සල සුදු මාමගෙ රැලේ බයිසිකලේ උඩින් තියනවා. සුදු මාම ගියාට වඩා වේගයෙන් බයිසිකලේ පැදගෙන ආපහු එනවා. හීන්දෑරි බොකුටු කොන්ඩයක් තිබ්බ, උඩුබැල්ලෙන් වැටිල මම දිහා අඩවන් දෑසින් බලාගෙන උන්නු කෙනා දයා පතිරණ කියල මම පස්සෙ දැනගන්නවා.
23 ශ්‍රී 8355 ලේලන්ඩ් බස් එක කැස්බෑව ඩිපෝවේ තිබ්බ අපේ ලමා කාලයේ ජගුවර් එකක්. සරම ඇදල, ක්ලීන් එකට මැදපු කමිසය ඇදල අතේ ඔලෙක්ස් ඔර්ලෝසුවක් බැදපු සිරිසුන්දර මාම තමයි මේ ජගුවර් එකේ මාතලී. උදේ ඉස්කෝලේ යන්න 8355 එනකම් මම හැමදාම බලාගෙන ඉන්නවා. බැටරි පෙට්ටිය උඩ ආසනේ ගම්මන්පිලදි රමිත් මටත් එක්ක බුක් කරගෙන එන හින්ද හැමදාම මම නැංගේ ඉස්සරහින්, සිරිසුන්දර මාමගෙ හිනාවත් එක්ක මේ ගමන අතීත සිහිවටනයක් වෙනවා. උදේ ඉදල වාහන නැති පිලියන්දල පාරෙ 8355 හේ කට කපල සෙනඟ පිරිල ඉන්නවා. කිදෙල්පිටිය පහුකරල කහටවෙල වෙල මැදින් තියෙන පාර හරියට එනකොට වෙල මැද්දේ සෙනඟ පාර දිගටම මොන මොනවදෝ බලමින් ඉන්නවා. බැටරි පෙට්ටිය උඩින් නැගිටලා සිරිසුන්දර මාම ළඟ තියෙන ජනේලෙන් මමයි රමිතුයි එබිල බලනවා. කහටවෙල පලවෙනි බෝක්කුව පනිනකොට අත්දෙක පිටිපස්සට කරල බැදපු , ඇස් දෙක රෙදි කඩකින් වහපු කලු කොටට කපපු කොන්ඩෙයක් තියෙන යට කලිසම පිටින් ඉන්න අයිය කෙනෙක්ගෙ සිරැරක් තියෙනවා. ඒ සිරැරෙන් ගලාගෙන ගිය රතුපාට ලේ තාර පොලොවේ කලුපාටට පේන්න තියෙනවා.
ජනේලේ වහල අපිට වාඩිවෙන්න කියල සැරදාන සිරිසුන්දර මාමගෙ ඇස් වල කදුලු. බස් එක ඇතුලෙන් සුසුම් හෙලනවයි, අඩනවයි ඇහෙනවා. කහටවෙලේ ලොකු පාලම ලගට යනකම් තැනින් තැන ඒ විදිහටම ඇස් සහ අත් බැදපු අයියලගෙ මල සිරැරැ 11 ක් තියෙනවා. මමයි රමිතුයි බයවෙලා එකිනෙකාගේ අත් ඇගිලි වලින් පටලවා ගන්නවා.
මේ හැමෝම මේ වෙනකං ජීවත් වෙන්න වරම් තිබුනු මිනිස්සු කියල හිතෙනවා වගේම මේ හැමෝම එහෙම මැරෙන්න ඇත්තෙත් තමන් විශ්වාස කරපු අරමුණක් වෙනුවෙන් කියල මම තාම විශ්වාස කරනවා.
වැල්මිල්ලේ නන්දෙ මාමට වෙඩි තියන්නේ මහදවල් එයාගෙ රේස්බුකිය ඇතුලෙදිමයි. චන්ඩියක් වුනත් ගමේ කාටවත් එයාගෙන් කරදරයක් වුනයි කියල අපි අහල නෑ. හිල්මන් කාර් එකක් තියාගෙන හැමකෙනෙකුගෙම මගුලට, මරනෙට, දානෙට ගිය උපසේන මාමව සේනපුරේදි මරන්නේ මහරෑක අමාරැ ලෙඩෙක් කලුබෝවිල අරන් යන්න ඕනි කියල කූද්දල එලියට අරගෙන. පොඩ්ඩක් ඉන්න පුතේ කියල කලබලේට එලියට බැහැපු උපසේන මාම ෂර්ට් එකේ බොත්තම් වත් දාල තිබුනේ නෑ. තාත්තගෙ අතේ එල්ලිලා මේ මරන ගෙවල් දෙකටම ගිය මට ඒ දෙකේම තියපු අඳෝනා තාමත් ඇහෙනවා. බල්ලෙක් පාර අයිනක මැරිල හිටියත්, පාරෙන් අයින් කරල වත්තක වලදාපු පරම්පරාවක් අන්තිමට දැකපු අයත් අපි වෙන්න ඇති.
2009 මැයි මාසෙ 19 වෙනිදා කිදෙල්පිටිය හන්දියේ ලොකු කිරිබත් දන්සැලක්, පාරේ යන හැමෝම නවත්තපු සිංහ කොඩි වන, වනා හිටපු තරැන කණ්ඩායම ඒ හැමෝටම කිරිබත් බෙදනවා. එතනින් වමට හැරැනහම හම්බුවෙන හිරන තොටුපලේ දැන් එගොඩ, මෙගොඩ යන්න පාලමක් දාල තියෙනවා. දයා පතිරණ මරපු තැන දැන් හොයාගන්න නැහැ, එතන කැලෑව වැවිල යාන්තමට පරන තාර පාර පේනවා. කහටවෙල වෙල මැද්දෙන් තියෙන පාර ලොකු කරල කාපට් කරල. මේ වෙල ළඟ පාර දෙපැත්තේ කොල්ලො 11 ක් මරල දාල තිබුන කියල කාටවත් මතක නැතුව ඇති. කිදෙල්පිටියේ හන්දියට දෙපැත්තෙන් තියෙන හිරන තොටුපලයි කහටවෙලයි පොලොව තෙමාගෙන ගිය ලේ වේලිලා පොලොවට දියවෙලා වැහිල ගිහිල්ලා.
තරැන පිරිස ට්‍රේකක තියල අල්ලපු කිරිබත් දැක්කහම මට මතක් වුනේ මම පුංචි කාලෙ දැකපු ඒ මල සිරැරැ ගොඩ. අපේම මිනී ගොඩ ගැහිච්ච වෙලාවෙ, ඒව දැකල අඩපු, කම්පා වුනු අපිම වෙනත් ජාතියක කෙනෙක්ගෙ මල සිරැරක් දැකල කිරිබත් කන තරමට පහතට වැටුනේ කොහොමද කියන එක දේශපාලනිකයි.
නලින් හේවගේ 87/89 වෙච්ච දේවල් මෙච්චර සැහැල්ලුවෙන් හිනාවෙවී කියනකොට මට මතක් වුනේ තමලිනීව. එයා එයාගෙ සටන ගැන පොතක් ලියල, ඒක මතක් කරන හැම පාරකම ඇස් වලට කදුලු පුරෝගන්නකොටත් මහරගම පිලිකා රෝහලේ ඇඳක් මත ඉන්නකොටත් ඒ සටන එයාගෙ හිතේ, ජීවිතේ පුරා ජීවමානව තිබ්බ. නලින් හේවගේ හිනාවෙලා වස නෝන්ඩියට කැමරාව දිහා බලනකොට මට දයා පතිරනවයි කහටවෙලේ පෝලිමට මරල දාල තිබුනු කොල්ලෝ 11 යි මතක් වුනා.
සටනක් ඇතුලේ පොඩ්ඩක්වත් සංවේදී නොවිච්ච සහකම්පනය කියන එක ගෑවිලාවත් නැති නරැමයෙක් හා ඉතිරි වෙච්ච ඒ නරැමයන් රෑනක් මිනී මස් එක්ක කිරිබත් කන හැටි මට මැවිල පෙනුනා. බන්ඩාරගම-පිලියන්දල පාරේ අදත් බල්ලන්ගේ මලකුනු දෙකක් දැක්කත් ඒව පහුකරගෙන හැමෝම වගේ මාත් යනවා. අපි හැමෝගෙම ඇතුලේ නරැමයෙක් ඉන්නවා, ඒ නරැමයා පරාදකරන්න පුලුවන් දේශපාලනයක් වෙනුවෙන් වෙහෙසෙන එක කිරිබත් කනවාට වඩා අමාරැ වැඩක්, ඒක මනුශ්‍යත්වය වෙනුවෙන් කරන දේශපාලනික අරගලයක්, දයා පතිරනටත් අර කොල්ලෝ 11 ටත් විතරක් නෙමෙයි තමලිනීටත් සාධාරනේ ඉටුවෙන්නේ එතකොටයි.
ඒකාධිපති ෆාමසිය