ඒකාබද්ධයේ විරෝධතා ත්‍රස්තවාදය

 

වත්මන් යහපාලන ආණ්ඩුව අස්ථාවර කිරීම මගින් පටු දේශපාලන වාසි ලබාගැනීමට කැසකවන පාර්ශ්වයන්ගේ අනෙක් මූලෝපායික ප්‍රවේශයක් වශයෙන් ‘කෘත්‍රිම උද්ඝෝෂණ රැල්ලක්’ නිර්මාණය කර කොළඹ නගරයේ දෛනික ක්‍රියාකාරීත්වය අඩපණ කර රටේ ආර්ථිකය අර්බුදයකට ලක් කිරීම, විදේශ ආයෝජකයන් ඇතුළු ආයෝජකයන් තුළ රටේ දේශපාලන ස්ථාවරභාවය සම්බන්ධයෙන් සැකයක් වර්ධනය කිරීම සහ ආණ්ඩුව භීතියට ලක් කිරීම දැකිය හැකිය.

සිංහල මිනිස්සුන්ට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සති දෙකයි’ අපි කැමැති වුවත් අකමැති වුවත් කොටි නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් කීවා යැයි කියන මේ කතාව අපට ද යළි යළිත් අවධාරණය කිරීමට සිදුව තිබේ. ඒ වෙන කිසිවක් නිසා නොව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ කල්ලිය මේ දිනවල රඟමින් සිටින නාටකය දෙස බලන විට ප්‍රභාකරන් කී කතාව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සනාථ වන නිසාය.

මේ වසර අවසන් වීමට පෙර අලූත් ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු ජනපතිවරයා ඇතුළු කල්ලිය දැන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සහතික වන ආකාරයක් දැකිය හැකිය. මන්ත්‍රීවරුන් පනස් දෙනකු පමණ සිටින ‘ඒකාබද්ධ විපක්ෂය’ යැයි කියා ගන්නා කල්ලිය මේ ආකාරයෙන් මහ මැතිවරණයකින් තොරව අලූත් ආණ්ඩුවක් පිහිටුවීම ගැන පාරම්බාන්නේ කෙසේද ? ඒ සඳහා ඔවුන්ට තිබෙන සහතිකය කුමක්ද ?

වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තිබෙන 3/2 කට වඩා වැඩි අති බහුතර බලය සමඟ ඔළුගෙඩි හුවමාරුවකින් නම් වත්මන් ආණ්ඩුව හෙල්ලීමටවත් නොහැකි බව පැහැදිලිය. එසේ නම් ඒකාබද්ධ විපක්ෂය මේ වසර අවසන් වීමට පෙර ආණ්ඩුවක් පිහිටුවීමට වෑයම් කරන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ මේ මොහොත දක්වා අත්හදා බලා නැති අලූත් උපායක් භාවිත කිරීමෙන්ද ? පසුගිය කාලයේ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින දේශපාලන ප්‍රවණතා කිහිපයක් හමුවේ මේ ගැන වඩාත් සංවේ දී වීමට යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට ඇපකැප වූ සියලූ පාර්ශ්වයන්ට සිදුව තිබේ.

අරමුණ රාජ්‍යය බිඳ දැමීමද ?

පාර්ලිමේන්තුවේ බල හුවමාරුවක් සිදු නොවන බව ඉතා පැහැදිලි හෙයින් ද කිසිදු මැතිවරණයකින් යළි බලය අත්පත් කර ගැනීමක් ගැන සිතීම විහිළුවක් හෙයින් ද හිටපු ජනපතිවරයා ප්‍රමුඛ කල්ලියේ ප්‍රමුඛ අරමුණ වන්නේ හැකි ඉක්මනින් හා හැකි ඕනෑම ආකාරයකින් රාජ්‍යය අස්ථාවර කර බිඳ දැමීම බව පැහැදිලිය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් ඔවුන්ගේ ඒකායන අරමුණ වන්නේ පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කිරීමට ඇති අයිතිය අර්බුදයට ලක් කිරීම ( වැට් බදු ඉහළ දැමීමට එරෙහිව අධිකරණයට යාම වැනි විධායකයට නීති ක්‍රියාත්මක කිරීමට ඇති අයිතිය අභියෝගයට ලක් කිරීම (මහාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම වැනි සහ අධිකරණය නීති සමාලෝචනය කිරීමට/ තීන්දු දීමට ඇති අයිතිය අභියෝගයට ලක් කිරීම ( සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුව වැනි) ක්‍රියාමාර්ග මගින් ආණ්ඩුව අර්බුදයට ලක් කිරීමයි. ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කරමින් සිටින සකලවිධ ක්‍රියාකාරකම් හරහා අපට පැහැදිලිව පෙනී යන්නේ ඉහත සඳහන් කළ ආකාරයේ රාජ්‍යය අස්ථාවර කිරීමේ මූලෝපායික ප්‍රවේශයක් ඔවුන් විසින් සියුම් හා තීක්ෂණ ආකාරයෙන් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

රාජ්‍යය අස්ථාවර කිරීමේ උපාය මාර්ගයක නිරතව සිටින ඒකාබද්ධ විපක්ෂයට කිසිදු හිරිකිතයකින් තොරව, ඉතාමත් අවස්ථාවාදී ආකාරයෙන් සමාජය තුළ ක්‍රමිකව හෝ එක්වරම නිර්මාණය වන ඕනෑම සිද්ධියක් හෝ මතයක් තමන්ගේ බල න්‍යාය පත්‍රය සාධනය කර ගැනීම පිණිස යොදා ගත හැකිය. එය මූල්‍ය අපරාධකරුවන් කොටු කර ගැනීම සඳහාම ස්ථාපිත එෆ්.සී.අයි.ඩීය වේවා, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අනුව සිදුවන බදු වැඩි කිරීම වේවා, සයිටම් සිද්ධිය වේවා, වත්මන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ අධිකරණ සේවා සංගමයේ අර්බුදය වේවා මේ සියල්ල අද ඒකාබද්ධ විපක්ෂය රාජ්‍යය බිඳ දැමීම සඳහා වන තම ඒකායන අරමුණ ඉටු කර ගැනීම සඳහා යොදා ගන්නා ආකාරයක් ඉතා පැහැදිලිව දැකිය හැකිය.

උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය කිරීම

වත්මන් යහපාලන ආණ්ඩුව අස්ථාවර කිරීම මගින් පටු දේශපාලන වාසි ලබාගැනීමට කැසකවන පාර්ශ්වයන්ගේ අනෙක් මූලෝපායික ප්‍රවේශයක් වශයෙන් ‘කෘත්‍රිම උද්ඝෝෂණ රැල්ලක්’ නිර්මාණය කර කොළඹ නගරයේ දෛනික ක්‍රියාකාරීත්වය අඩපණ කර රටේ ආර්ථිකය අර්බුදයකට ලක් කිරීම, විදේශ ආයෝජකයන් ඇතුළු ආයෝජකයන් තුළ රටේ දේශපාලන ස්ථාවරභාවය සම්බන්ධයෙන් සැකයක් වර්ධනය කිරීම සහ ආණ්ඩුව භීතියට ලක් කිරීම දැකිය හැකිය. මෙමගින් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ කෝපයක් මෙන්ම ආණ්ඩුවේ ශක්තිමත්භාවය කෙරෙහි සැකයක් වර්ධනය කිරීම ඔවුන්ගේ උපාය මාර්ගය බව දැකිය හැකිය. අද කොළඹ නගරයේ පමණක් නොව ඈත මොනරාගල දුෂ්කර ගම්මාන දක්වා ‘කෝකටත් තෛලය’ සේ ව්‍යාප්ත මෙමින් පවතින ඊනියා උද්ඝෝෂණ රැල්ලේ මූලබීජය වශයෙන් අපට සැලකිය හැක්කේ ඉහත සඳහන් අවස්ථාවා දී, පටු දේශපාලන අරමුණ මිස ජනතාව විසින් සිය ස්වෙච්ඡා දායකත්වයෙන් සහ ඉතා සාධාරණව සිදු කරන උද්ඝෝෂණ නොවන බවයි.

මෙය ත්‍රස්තවාදයක්

‘ත්‍රස්තවාදය’ යනු කුමක් දැයි නිර්වචනය කිරීමේ දක්වන ප්‍රකට අදහසක් වන්නේ ‘එකෙක් මරා දහසක් බිය ගැන්වීම ත්‍රස්තවාදය’ වන බවයි. ඉතා කුඩා පිරිසක් යම් අරමුණක් ඉටු කර ගැනීම සඳහා සැමවිටම සිදුවන ආකාරයෙන් දස දහස් සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් වන ආකාරයෙන් ද රටේ ආර්ථිකය කඩාබිඳ දමන ආකාරයෙන් ද සිදු කරන බොහොමයක් උද්ඝෝෂණ අපට සැලකිය හැක්කේද ‘ත්‍රස්තවාදයක්’ වශයෙනි. මන්ද උද්ඝෝෂකයන්ගේ ඉතා පැහැදිලි අරමුණ වන්නේ තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා තවත් දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි අපහසුතාවට පත් කිරීම ම පමණක් වන හෙයිනි. එනිසා රටක් හා ජනතාවක් වශයෙන් අප සියලූ දෙනාම මේ මොහොතේ රට පුරා පිළිකාවක් සේ ව්‍යාප්ත වෙමින් පවතින මේ ඊනියා උද්ඝෝෂණ රැල්ල මගින් ඉටු කර ගැනීමට කැසකවන පටු දේශපාලන අරමුණු ගැන විමසුම් සහගත විය යුතුය.

තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ජනතාවට ඇති අයිතිය කිසිසේත් බැහැර කළ නොහැකිය. එහෙත් එකී නිදහස ජනතාව විසින් හෝ නායකයන් විසින් අභ්‍යාස කළ යුත්තේ අනෙකාගේ ද අයිතිවාසිකම් සුරක්ෂිත වන ආකාරයෙනි. ‘ඔබට සැරයටිය වනමින් පාරේ ගමන් කිරීමට ඇති නිදහස අනෙකාගේ නාසය අසලින් කෙළවර වේ’ යැයි මානව නිදහස සම්බන්ධයෙන් වන ප්‍රකට අදහස අප සමාජය විසින් මේ මොහොතේ වඩාත් අවධානයට ගත යුතුය. මන්ද දේශපාලන අවස්ථාවාදය සහ අන්තවාදය විසින් මේ වන විට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අභ්‍යාස කරමින් සිටින්නේ පසුගිය 2015 වසරේ ජනවාරී 08 වැනිදා ලක්ෂ 62 ක් වන ජනතාවක් විසින් ජීවිත පරිත්‍යාගයෙ දිනාගත් නිදහසක් හෙයිනි.

ජිවිත පරිත්‍යාගයෙන් දිනාගත් නිදහස

මෙය ජනතාව විසින් ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් නිදහසක් වශයෙන් සැලකෙන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ දී තමන්ගේ සහචරයන්ට සහ අනුගාමිකයන්ට හැරෙන්න රටේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට, ජනවර්ගයකට හෝ බලපෑම් කණ්ඩායමකට කිසිදු ආකාරයකින් මහින්ද රාජපක්ෂ පාලනයට හෝ ඔවුන්ගේ න්‍යාය පත්‍රවලට එරෙහිව එක වචනයක් හෝ කතා කිරීමට අවස්ථාවක් නොතිබුණු හෙයිනි. උදාහරණයක් වශයෙන් ප්‍රධාන විරුද්ධ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට කිසිදු ආකාරයකින් ආණ්ඩුවට එරෙහිව සාම්ප්‍රදායික විරෝධතාවක් පැවැත්වීමට එවකට පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කිසිදු ආකාරයක අවස්ථාවක් ලබා දුන්නේ නැත.

ආණ්ඩුුවේ දැඩි අවහිරතා මධ්‍යයේ පවා යම් පමණකින් පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආණ්ඩුවේ නිල බලය හෝ මැර බලය මගින් කඩාකල්පල් කිරීම එකළ අනිවාර්ය සිදුවීමක් විය. එජාපයේ උද්ඝෝෂණ ව්‍යාපාර කඩාකප්පල් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ සමයේ වෙනමම ඇමැතිවරු සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් සිටි අතර ඔවුන්ගේ කාර්යයන් වෙනුවෙන් අතදිගහැර වරදාන දීමට ද පසුගිය ආණ්ඩුව පියවර ගත්තේ ‘පනින රිලවුන්ට ඉණිමං බඳිමිනි’.

එදා ප්‍රධාන විපක්ෂය සේම සංවිධානාත්මක මෙන්ම අසංවිධානාත්මක ජනතාවට ද ප්‍රජාතන්ත්‍රවාදීව සිය අයිතිවාසිකම් දිනා ගැනීමට හෝ ආණ්ඩුවට එරෙහිව සිය විරෝධය පළ කිරීමට කිසිදු අවස්ථාවක් නොවීය. එක්කෝ ඒවා සංවිධානාත්මක මැර පිරිස් ලබා කඩාකප්පල් කර දැමූ අතර නැතහොත් උසාවි වාරණ නියෝග මගින් නෛතික බලය යොදා අත්හිටුවනු ලැබිණි. ඒ අතර දැවැන්ත හමුදා හා පොලිස් ප්‍රහාර මගින් සංවිධානාත්මක උද්ඝෝෂණ ව්‍යාපාර කිහිපයක් ( කටුනායක, හලාවත හා රතුපස්වල දැඩිව මර්දනය කිරීමට එදා ආණ්ඩුව නොබියව පියවර ගත්තේය.

විපක්ෂය සහ ජනතාව විසින් ආණ්ඩුවට සහ ආණ්ඩුවේ ඒකාධිපති භාවිතයට එරෙහිව සිදුකළ සියලූ ආකාරයේ උද්ඝෝෂණ හා අදහස් දැක්විම් දැඩිව මර්දනය කළ හිටපු ආණ්ඩුව ආණ්ඩුවේ සුරතලූන්ට සහ එහෙයියන්ට උද්ඝෝ්ෂණ කිරීමේ නිදහස උපරිම ආකාරයෙන් ලබා දුන්නේය. එකළ උතුරේ දමිළ ජනතාවට හෝ මුස්ලිම් ජනතාවට සිහිනෙන්වත් සිතිය නොහැකි වූ එකී අයිතිය බෙදුබල සේනා, රාවණා බලය ආදි ආණ්ඩුවේ න්‍යාය පත්‍රය අනුව ක්‍රියාත්මක සංවිධාන හිතූමතේ භුක්ති විඳි ආකාරය ජනතාවට රහසක් නොවේ. විමල් වීරවංශ ආදි ආණ්ඩුවේ හුරතලූන්ට එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉරිපිට මාරාන්තික උපවාස කිරීමට තිබූ නිදහස ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ මර්දනය හෙළා දැකීමට සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ භික්ෂූන් වහන්සේලාට මහින්ද රාජපක්ෂ යුගයේ නොතිබුණු බව අපට අමතක නොවේ.

කැන්ගරු උසාවියක් මගින් නඩු ආසා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් පළවා හැරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ උද්ඝෝෂණයට පහර දුන් ආණ්ඩුව අගවිනිසුරුවරියගේ නිල නිවස ඉදිරිපිට මාර්ගය අහුරා කිරිබත් කෑමට ආණ්ඩුවේ එහෙයියන්ට ඉඩ දුන්බව ජනතාවට අමතක නැත.

ආණ්ඩුවේ ප්‍රවේශය

2015 ජනවාරී 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිනා දුන් නිදහස අද ‘වල්බූරු නිදහසක්‘ තරමට අවභාවිත වීම ඇතැමුන්ට ආණ්ඩුවේ දුර්වලතාවක් සහ ඒකාබද්ධ විපක්ෂයේ ශක්තිමත් භාවයක් වශයෙන් පෙනී යා හැකිය. එහෙත් අපගේ නිරීක්ෂණය වන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යහපාලන මූලධර්ම මත පවත්වා ගෙන යන යහපාලන ආණ්ඩුවේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් මේ නිදහස් අවකාශය සැලකිය හැකි බවයි.

මන්ද තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ‘නයාට අඳුකොළ ’ මෙන් වූ බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ රැසක් ආණ්ඩුව විසින් මේ වන විටත් ඉටු කොට අවසන්ව ඇති හෙයිනි. ඒ නිසා යහපාලන ආණ්ඩුව විසින් මේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය විවර කොට ඇත්තේ වඩාත් අවංකව හා ප්‍රජාතන්ත්‍රවාදීව බව අපට වටහා ගත හැකිය. එහෙත් ඕනෑම යහපත් දේ තුළ සිදුවන ඍණාත්මක සුළු අවස්ථාවෙන් අවස්ථාවාදීන්ට සහ අන්තවාදීන්ට මහත් අවකාශයක් නිර්මාණය කරගත හැකි බව අප වටහා ගත යුතුය.

අද මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කරවීම සහ අගෝස්තු මහ මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරවීම මගින් ජනතාව ජිවිත පරිත්‍යාගයෙන් දිනාගත් එකී නිදහස ඉතා නිර්ලජ්ජිත ආකාරයෙන් භාවිත කරමින් සිටින්නේ පාලන බලය තිබූ සමයේ එකී නිදහසට විලංගු දැමු සහ එකී නිදහස හැකි සෑම ආකාරයකින්ම අහුරා දැමූ පාලකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් විසින්ම වීමෙන් පැහැදිලි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තුළ ලංකාව මුහුණ දෙමින් සිටින අර්බුදයක් නොව බල තණ්හාව සහ අවස්ථාවාදයට සීමා මායිම් හෝ ප්‍රතිපත්තියක් නොමැති බව කියා පාන කතාවයි.

පහසුවෙන් බැහැර කළ යුතු නැත

දස වසරකට ආසන්න කාලයක් දැවැන්ත ජනමාධ්‍ය හා රාජ්‍ය යාන්ත්‍රණයක් මගින් කුඩුපට්ටම් කළ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයක් යළි ගොඩනැඟීමේ අසීරු ප්‍රයත්නය ආණ්ඩුව විසින් තීරණාත්මක ලෙස ජයග්‍රහණය කරමින් සිටින බව පැහැදිලිව දැකිය හැකිය. එහෙත් ආණ්ඩුව අනපේක්ෂිත අභියෝගයකට මුහුණ දෙමින් සිටින බවක් ද පහසුවෙන් හඳුනාගත හැකිය. එම අභියෝගය වන්නේ බලය අහිමි වූ සියලූ බලවේග සියලූ ප්‍රජාතන්ත්‍රවාදී වටනාකම් පිළිකෙවු කරමින් ‘කොක්කෙන් හෝ කෙක්කෙන්‘’ කඩිනමින් බලය අල්ලා ගැනීමට දක්වන පුදුමාකාර කෑදරකමයි. මේ නිසා මේ ලිපියේ ආරම්භයේ දී සඳහන් කළ ආකාරයට ඒකාබද්ධ විපක්ෂයේ කෙටිකාලීන සහ ශක්තිමත්ම උපාය මාර්ගය වන්නේ ආණ්ඩුවේ සමස්ත යාන්ත්‍රණය කඩාකප්පල් කරමින් ජනතාව වී දී සටන්වලට යොමු කරමින් මැදපෙරදිග දී ( අරාබි වසන්තය )යළි යළිත් අසාර්ථක වූ ඊනියා ජනතා උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය කිරීම බව පැහැදිලිය. එමගින් ආණ්ඩුවට කිසිදු බලපෑමක් සිදු නොවුණත් පොදුවේ ජනතාව තුළත්, දූෂණ වංචා ආදි විමර්ශන කටයුතු සිදුකරමින් සිටින නිලධාරීන් තුළත් යම් ආකාරයක බලපෑමක් කළ හැකි බව බැහැර කළ නොහැකිය.

යහපාලන ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථා සම්පාදනය කර ගැනීමට ( නීති සම්මත කර ගැනීමට) ඇති අවස්ථාව සම්පූර්ණයෙන් අවහිර කර, විධායකයට නීති ක්‍රියාවේ යෙදවීමට ඇති අවස්ථාව අවහිර කර, අධිකරණය නියෝග නොපිළිගන්නා තත්ත්වයට සමාජය පත් කර පසුගිය කාලයේ විවිධාකාර වරදාන ලැබූ ඒවා අහිමිව තැවුලෙන් සිටින විවිධ පාර්ශ්ව මහ පාරට කැඳවා යළි බලය අත්පත් කර ගැනීමට අවස්ථාවාදීන් හා බලලෝභීන් ගන්නා මේ උපාය මාර්ගික ප්‍රවේශ තීරණාත්මකව පරාජය කිරීමට අප සියලූ දෙනා වහා පියවර ගත යුතුය. එසේ නොවුණහොත් 2015 ජනවාරී 08 වැනිදා කළ සියලු කැපකිරීම් සදාකාලිකවම අවසන් වන බව වටහා ගත යුතුය.

තුෂාල් විතානගේ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *