ක්‍රියාත්මක කිරීමේ හැකියාව නොතකා ව්‍යාපාර මත වියදම් පැනවීම – මහාචාර්ය රොහාන් සමරජීව
එමගින්, සෑම රාජ්‍ය ආයතනයක් ම සහ පෞද්ගලික ආයතනයක් ම, ස්ත්‍රී පුරුෂ සමාජභාව ප්‍රධාන ධාරාකරණය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වගකීම පැවරුණු, “ස්ත්‍රී පුරුෂ සමාජ භාව කේන්ද්‍ර ලක්ෂය” නම්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කිරීමට අවශ්‍ය වෙයි. එම තැනැත්තා තම වගකීම් ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් ක්‍රියාකාරකම් සැලැස්මක් සකස් කර, පාර්ලිමේන්තුවේ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමට පිටපතක් සමඟින් කාර්තුමය පදනමින් සෘජුවම කවුන්සිලයට වාර්තා කිරීම නීතිමය වශයෙන් අවශ්‍ය වෙයි (17 වැනි වගන්තිය).
මෙම පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය නොකළහොත්, අර්බුදයෙන් දැනටමත් ආතතියට පත්ව සිටින කුඩා ව්‍යාපාරවලට එයට අනුගත වීම සඳහා සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. එමගින් රාජ්‍ය ආයතන සහ විශාල සමාගම් මත ද පිරිවැය පනවනු ඇති නමුත් මෙහි දී අවධානය යොමු කරන්නේ අරමුදල් රහිත සහ වගකීම සපුරාලීමට අවම හැකියාවක් ඇති කුඩා ව්‍යාපාර කෙරෙහි ය.
මාස තුනකට වරක් ඇති විශාල වාර්තා සංඛ්‍යාවක් පරීක්‍ෂා කර ඒ සම්බන්ධයෙන් අර්ථවත් ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇති නොහැකියාව සම්බන්ධයෙන් පනත් කෙටුම්පත් සම්පාදනය කළ අය සලකා බැලූ බවක් පෙනෙන්නට නැත.
නරක නීතියක් සෑදීමේ ව්‍යවස්ථාවට පටහැනි දෙයක් නැත. එබැවින් මෙම විධිවිධාන ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිසිදු උපකාරයක් බලාපොරොත්තු විය නොහැකි ය. මේ අවස්ථාවේ හෝ ක්‍රියාත්මක වී වරද නිවරද කිරීම මෙම පනත පාර්ලිමේන්තුව හරහා ගෙනයාම සිදුකරන අමාත්‍යවරයාට භාර වගකීමක් වෙයි. පනතේ ඇති මෝඩකම පෙන්වා දීම දැනුවත් මහජනතාවගේ වගකීමකි.
කාර්තුමය වාර්තා ඉදිරිපත් කළ යුත්තෝ කවරහු ද?
පනත් කෙටුම්පතේ 29 වගන්තියේ සඳහන් වන්නේ “‘පෞද්ගලික ආයතනයක්’ යනු කිසියම් ලිඛිත නීතියක් යටතේ ස්ථාපිත, පිළිගත් හෝ බලපත්‍රලාභී ආයතනයක් වන අතර උසස් අධ්‍යාපන ආයතනයක්, විශ්වවිද්‍යාලයක් සහ වෘත්තීය ආයතනයක් සහ වෘත්තීය හෝ තාක්ෂණික අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් ඇතුළත් වන බවයි.
.” 25 වැනි වගන්තිය යටතේ, මෙම නිර්වචනය තුළට එන ඕනෑම පුද්ගලයෙක් “මෙම පනතේ විධිවිධානවලට පටහැනිව හෝ ඒ යටතේ ඇති කරන ලද ඕනෑම රෙගුලාසියකට පටහැනිව [ 17 වැනි වගන්තිය යටතේ කාර්තුමය වාර්තා ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ඇතුළුව.] කටයුතු කළහොත් . . . මෙම පනත යටතේ වරදකට වරදකරු වන අතර මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ සිදු කරන ලුහු නඩු විභාගයකින් පසු වරදකරු වුවහොත් රුපියල් පනස් දහසකට නොවැඩි දඩයකට හෝ මාස තුනකට නොවැඩි සිර දඬුවමකට හෝ එවැනි දඩයකට හා සිරදඬුවමකට හෝ යටත් විය යුතු වෙයි.
ගැටලුව වන්නේ “ඕනෑම ලිඛිත නීතියක් යටතේ ස්ථාපිත, පිළිගත් හෝ බලපත්‍ර ලබා ඇති ආයතනයක්” යන වාක්‍ය ඛණ්ඩයේ අසාමාන්‍ය පුළුල් භාවය යි. ලිඛිත නීති යටතේ ස්ථාපිත බොහෝ ආයතන ඇත. මන්ත්‍රීවරුන් සඳහා නම් කරන ලද පදනම් රාශියකට ඔවුන්ගේ ම විශේෂිත පනත් ඇත. 2007 අංක 7 දරන සමාගම් පනත සහ භාර ආඥාපනත (පරිච්ඡේදය 87) යටතේ ස්ථාපිත සමාගම් වැනි අනෙකුත් ආයතන මෙම විෂය පථයට අයත් වෙයි. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත වැනි පුළුල් අදාළත්වයකින් යුත් මේ හා සමාන නීති සම්පාදනය තුළ පුළුල් විෂය පථයක් යෝජනා කරන “පිළිගත්” යන යෙදුම භාවිතා කොට නැත.
“ඕනෑම ලිඛිත නීතියක් යටතේ බලපත්‍ර ලත්” ආයතන යන්න ද ඉතා පුළුල් අර්ථ දැක්වීමකට දොර විවර කරයි. උදාහරණයක් ලෙස, 1980 අංක 26 දරන ආහාර පනතේ 7 වැනි වගන්තියට අනුව, ඕනෑම ආහාරයක් නිෂ්පාදනය කරන, සකස් කරන, කල් තබා ගන්නා, ඇසුරුම් කරන, ගබඩා කරන හෝ විකුණන ඕනෑම පරිශ්‍රයකට බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය වේ. මෙයින් ඇඟවෙන්නේ ආහාර වටිනාකම් දාමයේ නියැලී සිටින කුඩා ව්‍යාපාර දහස් ගණනකට ත්‍රෛමාසික ස්ත්‍රී පුරුෂ භාව ප්‍රධනධාරාකරන වාර්තා ගොනු කිරීමට සිදුවනු ඇති බව යි.
කාර්තුමය වාර්තා කීයක් ද?
2023 දී සමාගම් රෙජිස්ට්‍රාර් වාර්තා කළේ සමාගම් පනත යටතේ සමාගම් 22,376ක් ලියාපදිංචි කර ඇති බව යි. 2024 ජනවාරි මාසයේදී තවත් 1,995ක් ලියාපදිංචි කරනු ලැබී ය. එහි තේරුම නම් අවම වශයෙන් පෞද්ගලික ආයතන 24,371ක් සෑම වසරකම වාර්තා 105,464ක් ගොනු කළ යුතු බව යි.
මධ්‍යම, කුඩා සහ ක්ෂුද්‍ර ව්‍යවසාය පිළිබඳ ලබාගත හැකි හොඳම දත්ත 2013-14 ජාතික ආර්ථික සංගණනයෙන් ලැබෙයි. එයට අනුව, මධ්‍යම, කුඩා සහ ක්ෂුද්‍ර ව්‍යවසාය සංඛ්‍යාව 1,019,681 ක් වූ අතර එයින් සියයට 41.1 ක් තොග සහ සිල්ලර වෙළඳාම සහ සේවා වල ද, සියයට 29.2 ක් අනෙකුත් සේවාවල ද, සියයට 23.6 ක් නිෂ්පාදන අංශයේ ද, ක්‍රියාත්මක වී ය. වඩාත්ම අඩු තක්සේරුවේ උපකල්පන භාවිතා කරමින්, අවම වශයෙන් ආයතන 25,000 ක් ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනතේ විෂය පථයට අයත් වනු ඇතැයි ඇස්තමේන්තු කළ හැකිය. එමගින් සෑම වසරකම අවම වශයෙන් වාර්තා 100,000ක් ස්ත්‍රී පුරුෂ සමානාත්මතා කවුන්සිලයට පැමිණෙන අතර, ඒ අනුව, සෑම වසරකම කියවිය යුතු, තක්සේරු කළ යුතු සහ පියවර ගත යුතු පුද්ගලික අංශයේ වාර්තා සංඛ්‍යාව 205,464ක් දක්වා ඉහළ යනු ඇත. මෙය කාර්තුමය වාර්තා ගොනු කරන දහස් ගණන් රාජ්‍ය ආයතනවලට අමතර වශයෙනි.
රාජ්‍ය ආයතන “රජයේ දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක්, රාජ්‍ය සංස්ථාවක් හෝ ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස අර්ථ දක්වා ඇති අතර උසස් අධ්‍යාපන ආයතනයක්, විශ්ව විද්‍යාලයක් සහ වෘත්තීය ආයතනයක් සහ රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් හෝ ව්‍යවස්ථාපිත ආයතනයක් විසින් හෝ සම්පුර්ණයෙන් ම අරමුදල් සපයනු ලබන වෘත්තීය හෝ තාක්ෂණික අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් ඇතුළත් වේ..”
බලාත්මක කරන්නේ කෙසේද?
ස්ත්‍රී පුරුෂ සමානාත්මතා කවුන්සිලය සිය නීතිමය වගකීම බැරෑරුම් ලෙස සලකන්නේ යැයි උපකල්පනය කළහොත්, පුද්ගලික අංශයෙන් 50,000 ක් ඇතුළුව ආයතන 100,000 ක පමණ අඛණ්ඩ, යාවත්කාලීන දත්ත ගබඩාවක් නිර්මාණය කර පවත්වාගෙන යාමට එයට සිදුවනු ඇත. කාර්තුමය වාර්තා නියමිත වේලාවට ඉදිරිපත් කිරීම සහතික කිරීමට සහ එසේ නොකරන අයට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් එයට අවශ්‍ය වෙයි. අරමුදල් නොලබන වගකීම්වලට යටත්ව ඕනෑම ආයතනයක වඩාත් ම තාර්කික ප්‍රතිචාරය විය හැකි, එක ම ලේඛනය කාර්තුවෙන් කාර්තුවට ඉදිරිපත් නොකරන බව සහතික කිරීම සඳහා කාර්තුමය වාර්තා සමාලෝචනය කිරීමට වෙනත් කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් සිටිය යුතු ය. කාර්තුමය වාර්තාවලට කිසියම් අර්ථයක් තිබීම සඳහා, ඒවාට මැනිය හැකි දර්ශක ඇතුළත් වන බව සහතික කිරීම අවශ්‍ය වන අතර ඉදිරිපත් කරන සංවිධාන ඒ සඳහා වගකිව යුතු බවට පත්කළ යුතු වෙයි. ඒ සඳහා වාර්තා සඳහා ආකෘති සකස් කරන, ආකෘති සමඟ අනුකූල වීම තක්සේරු කරන සහ ස්ථාන පරීක්ෂා කිරීම් ඇතුළුව අවශ්‍ය අවස්ථාවල දී ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග ගත හැකි දක්ෂ කාර්ය මණ්ඩලයක් අවශ්‍ය ය.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතා කවුන්සිලය තරමක් විශාල සංවිධානයක් විය යුතු ය. රාජ්‍යයේ වත්මන් දුෂ්කර ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගත් විට, ඉහත කාර්යයන් ඉටු කිරීමට ප්‍රමාණවත් ලෙස අරමුදල් නොලැබෙන්නට ඉඩ ඇත. මේ අනුව, මෙය බලාත්මක කළ නොහැකි නීතියක් පවත්වාගෙන යාමක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ එයට යටත් විය යුතු බොහෝ ආයතන එය නොසලකා හැරීමට පෙළඹීමට සහ බලධාරීන් ඒ ගැන අවධානය යොමු නොකිරීමට ඉඩ ඇති නිසා ය. යමෙකු තව කෙනෙකු අල්ලා ගැනීමට යන විටෙක හැර. එය ස්ත්‍රී පුරුෂ සමානත්වයට එතරම් හොඳ නැත. නීතියට ගරු කිරීමට මෙන් ම ආර්ථිකයට ද සිදුවන්නේ විශාල හානියකි.
කළ හැක්කේ කුමක් ද ?
හොඳ ම විසඳුම වනුයේ නැවතත් මුල සිට පටන් ගෙන, විසඳිය යුතු ගැටලුව පැහැදිලිව හඳුනා ගැනීමත්, විශේෂඥ කමිටුවක් සහ මහජන උපදේශන මගින් ප්‍රශස්ත විසඳුම තෝරා ගැනීමත්, ඒ අනුව නීති කෙටුම්පත් කිරීමත් ය.
දෙවන හොඳම විසඳුම වනුයේ සමාගම් පනත යටතේ සංස්ථාපිත ආයතන සහ සේවකයින් 300කට වඩා වැඩි සංඛ්‍යාවක් සේවය කරන සහ රුපියල් මිලියන 750කට වඩා වැඩි වාර්ෂික පිරිවැටුමක් සහිත ආයතන ලෙස නීතිගත කරමින් පුද්ගලික ආයතන පිළිබඳ නිර්වචනය වෙනස් කිරීම යි. මධ්‍යම, කුඩා සහ ක්ෂුද්‍ර ව්‍යවසාය නොවන ව්‍යවසායන් නිර්වචනය කිරීම සඳහා පිළිගත් සීමාව එය යි. අධික නියාමන බරකින් කුඩා ව්‍යවසායයන් ආරක්ෂා කරන නීති පිළිබඳ ජාත්‍යන්තර උදාහරණ බොහොමයක් තිබේ. “පිළිගත්” සහ “බලපත්‍ර ලාභී” යන නොපැහැදිලි යෙදුම් ඉවත් කළ යුතු ය.
සතියෙන් සතිය වෙනස් නොවන කරුණු පිළිබඳ කාර්තුමය වාර්තා කැඳවීමේ අර්ථ විරහිත බව හඳුනා ගනිමින්, ත්‍රෛවාර්ෂික සහ ද්විවාර්ෂික වාර්තා අවශ්‍ය වන පරිදි 17 වැනි වගන්තිය සංශෝධනය කළ හැකි ය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතා කවුන්සිලයේ කාර්ය භාරයේ ප්‍රමාණය නීති කෙටුම්පත් කරුවන් තේරුම් ගත යුතු අතර එය අර්ථවත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් ලබා දීම සහතික කිරීම අවශ්‍ය වෙයි.
පුරුද්දක් ලෙසම වාගේ අනුගත වීමේ පිරිවැය සහ බලාත්මක කිරීමේ හැකියාව සලකා නොබලන අණපනත් ඉදිරිපත් කිරීමෙන් පෙනී යන්නේ ලංකාවේ නීති සම්පාදනයේ නිධන්ගත රෝගයක් ඇති බවයි. එයට විසඳුම වන්නේ නීතියක් කෙටුම්පත් කරන්නන් විසින් අනුගත වීමේ පිරිවැය සහ බලාත්මක කිරීමේ හැකියාව තක්සේරු කොට ඇති බව පෙන්වන සාක්ෂි පදනම් කරගත් වාර්තාවක් අනිවාර්ය කරන බලපෑම් විශ්ලේෂණ පිළිබඳ ඕස්ට්‍රේලියානු කාර්යාලය වැනි යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ද ස්ථාපිත කිරීමයි.
(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
rohan@lirneasia.net
(මෙම ලිපිය ‘අනිද්දා’ ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් – සංස්කාරක
)