අපේ සටන හොරු අරගෙන ගියෝයා

අපට අන්තිමට මේ හරියෙන්වත් වාඩි වෙන්නට ආසනයක් ලැබුණේ නැත.

අප හිටියේ නන්නත්තාර වෙලා ය. මහින්ද පන්නන එකටවත් සෙට් නො වී අප හිතාගෙන හිටියේ මහින්ද තුන්වෙනි පාරටත් ඇවිත් කෙළිනකොට අපට චාන්සෙකක් එනවා ඇති ය කියා ය.

ඒ වුණාට මුන් කොහොම හරි මහින්දව පැන්නුවෝ ය. අප තව තවත් නන්නත්තාර වුණා ය.

සයිටං කේස්සෙක ආවේ අප වැලේ වැල් නැතිව හිටිද්දී ය. ඇත්තම කීවොත් ආවා නොව, අපි ඇදලා ගත්තෙමු. අපේ අයියා කිව්වේ කලින් කැරැල්ලෙදිත් අපට පය ගහ ගන්නට අවස්ථාව ලැබුණෙ ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධී උද්ඝෝෂණය හේතුවෙන් නිසා උඹලටත් තව පරම්පරාවක් වල පල්ලට යවන්නට හරි, අපට බලය ගන්නට හරි, එහෙමත් බැරි වුණොත් උඹලාට අර මට වගේ චෑන්ස්සෙකක් වදින්නට හරි මේක නම් මසුරං අවස්ථාව ය ඒ නිසා ඒක අතහරින්නට එපා ය කියලා ය.

කොහොමත් අපට සෙට් වෙන්නට ඉතිරි වී තිබුණ එකම බාල ආතල්ලෙක මේක ය. මොකද, අප දැන් ජාතික ප්‍රශ්නයේදී පවා සාන්ත දාන්ත තීන්ත කූඩු බවට පරිවර්තනය වී සිටින නිසා අපට ජනතාවට සෙට් වෙන්නට වෙන මේ වගේ වහුකුණක් ලැබෙන්නේ නැති තරම් ය.

අපත් එක්ක හිට ගන්න හිටි අනෙක් පොරවල් ගංජාවලට, ගණිකා වෘත්තිය නීතිගත කරනවාට, සමලිංගිකත්වයට, ගබ්සාවට ආදී හැම මගුලකට ම පක්ෂ ය. එහෙම බැලුවාම උන් පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වුණ එකත් පුදුම ය. හැබැයි ඉතින් උන් වුණත් අපරාදෙ කියන්න බැහැ කුණට ලොල් ය.

හැබැයි උන් මරු තර්කයක් හදා දුන්නෝ ය. ඒ උන් සමස්තයක් විදියට වෙළඳපොළට ම විරුද්ධ ය කියා ය. ඔයින් මෙයින් වැඩේ ටික ටික නැගලා ගියා ය. අපට සැබෑ කර ගන්නට බැරි වූ සිහිනයේ ජීවත් වන කුමාරයන් වන දොස්තරතුමාලා එක්කත් නිකම්ම ආටන් වන අපට එකට වාඩි වෙන්නට ලැබුණා ය. ඒක වුණත් මදෑ ය.

ඔය අව් අස්සේ දෙරණ, සිරස එහෙමත් අපට රූපවාහිනියේ පෙනී සිටින රුවන් දොරටු ඇර දුන්නෝ ය. අප ඉතින් එව්වායේ ගිහින් මාර තදයන් වගේ ඉන්නකොට උන් පවා බය වුණෝ ය. කොටින් ම කියනවා නම් අප වෙළඳපොළට විරුද්ධ බව දැන ගත් උන් අප වැඩසටහන්වලට සහභාගි වී සිටියදී දැන්වීම් දැම්මේ නැත. ඒ වැඩසටහන් පෙන්නුවේ නිකම් ම ය. අප අන්න ඒ වගේ පොරවල් ය.

අපට මාකට් නම් තුක් නොදකින් ය. අපේ ආණ්ඩුවක් ආ විට අප ඔය මාකට් එක වහනවා ය. කාපියව්කො එතකොට හුවමාරු කරගෙන. මං මගේ කෙල්ල ටියුෂන් පංති යනකොට ඒකි අතේ සර්ට හාල් කිලෝ දෙකක් යවනවා ය, ටියුෂන් දෙනවාට හිලව්වට. අප ඕවා කරන්නට පුළුවන් යයි විශ්වාස නො කළාට අපි එහෙම කියන්නෙමු. අප ඉතින් කියන තරමක් කියන්නේ අපවත් ඇත්ත යයි විශ්වාස කරන ඒවායැ.

අප කොහොම හරි කොල්ලන්ව හොඳට ඇන්දුවෙමු. විස්ස විජ්ජාල සඟිස්කුරුතිය නිසා ඒ කාලය ඇතුළත උන්ව අන්දන්න ලේසි ය. අප උන්ගේ රැග් එකටත් පක්ෂ එකේ උනුත් ඉතින් හිතන්නේ අප කියන ඔක්කොම ඇත්තම ඇත්ත ය කියා ය. නැතිනම්, ටියුෂන් ගිහින් කැම්පස් ඇවිත්, ඒ ගමනුත් ටියුෂන් ගිහින් වෙන වෙන විභාගත් කරන, නිකං කකා ඉන්නට ආණ්ඩුවේ රස්සාවල් පතාගෙන ඉන්න, භාණ්ඩ ලෝකයක් හීනෙන් පවා දකින මේ මෝඩ කොල්ලන් අප පවා විශ්වාස නො කරන මේ මාකට් විරෝධය පිළි ගන්නේ මොන රෙද්දට ද?

ගොමාලාත්, මෙඩ්ඩෝත් අපත් එක්ක විරෝධවලට සෙට් වුණාට අර අසූනමය කාලේ වගේ බොක්කෙන් සෙට් වන බවක් පෙනෙන්නට නැත. අපට නම් මෙඩ්ඩියක් සෙට් කර ගන්නට ලැබේ යයි සිතිය නො හැකි ය. වෙළඳපොළ ය! වෙළඳපොළ ය! තූ නොදකින් ය. මෙඩ්ඩෝ සුදු කෝට් ඇඳගෙන පෙළපාලි යන්නේ ම උන් අප වැනි හඩු පොරවල් නො වන බව පෙන්නන්නට ය. පස්සෙ කාලෙක අප ඔවුන්ට සර් කිව්වාට දැන් හරි අපට පොරවල් විය හැකි ය. ඒත් මදෑ ය.

අපි ඉතින් උන්ට සතුටු වෙන්නට හා අපව නො තකා හරින්නට බැරි විදියට උන් වෙනුවෙන් හයියෙන් ම වැඩ කළෙමු. අප හිතාගෙන හිටියේ ආණ්ඩුව අපේ එකෙක් මරනු ඇති ය කියා ය. ඒ වගේ දේකට ඉස්සරහට යන මෝඩ සාදුලා පවා අපට සිටින මුත්, නොද්දකින් මේ ආණ්ඩුව ගහන්නේ වතුර විතර ම ය.

අප වැඩේ උස්සලා දුන්නාට පස්සේ රතු අලි පැටව් ටික ආ හ. උන් ආපු හැටියේ ගොමාලා ද අපේ පුකට පයින් ගසා උන් සමග සෙට් වුණෝ ය. අප හිතාගෙන හිටියේ ‘උස අත්තක මලක් වුණේ ගව් ගණනක් උඩින් ඉන්න’ කියලා ය. ඒ වුණාට ‘අවසානේ උරුම වුණේ මල් පොකුරක එකක් වෙන්න’ ය කියා ගන්නටත් බැරි තත්වයකි.

අප පුළුවන් තරම් ආන්තික වෙළඳපොළ විරෝධයකින් දිගට කාලා ඇඳලා ඉන්නට පුළුවන් ගානට වැඩේ උස්සලා දුන්න මුත්, දැන් මුන් ඒක සයිටම් විතරක් විරෝධයේ සීමාවට පිස්සො වගේ, පිස්සො වගේ, කපාගෙන, කපාගෙන යනවා ය. අන්තිමට රතු අලි පැටවුන් හා ගොමාලා සෙට් වෙලා ජනාධිපතිගෙන් සයිටං එකට මොකක් හරි සැටල්මන්ටෙකක් ගහ ගත්තොත් අපට ඉතින් හුළං තමා ය.

දෙයියනේ සයිටං ප්‍රශ්නයට විසඳුමක් නම් දෙන්නට එපා ය. එහෙම වුණොත් අපට ඉතින් එල්ලෙන්නට වෙන වැල් නැත. කටේ නරිවාදං නිසා අපට දැන් ව්‍යවස්ථාවටවත් විරුද්ධ වෙන්නට බැරි ය. දෙවියනි, ඔබ මෙතරම් කුරිරු ද? අපට යන එන මගක් ඇත්තේ ම නැද්ද?

මේකෙන් ඉගෙන ගන්නට තියෙන පාඩම රතු අලි පැටවුන්ට ඩෑෂ් ගහන්නට බෝල උස්සා නො දිය යුතු බව ය. උන්ට ම උස්සා ගන්නට දිය යුතු බව ය.

– සැල්ටොං විසිනි

w3lanka

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *