මහින්ද රාජපක්ෂගේ වෙස් මුහුණ ගැලවේ සුරේෂ් ප්‍රේමචන්ද්‍ර දුෂ්ටයාට අඳී


 

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙතින් පැන නැගි දෙතිස් ඵල බෝධීන් වහන්සේ අතුරින් එක් බෝධි අංකුරයක් පැල්මඩුල්ල ගනේගම විහාරස්ථානයේ රෝපණය කර ඇති අතර එය මේ වන විට සුවිසල් බෝධි රාජයෙකි. ඒ වටා ඉදි වූ රන් වැට පසුගියදා ජනාධිපති මෛත්‍රී අතින් විවෘත වුණා.

ජනාධිපතිතුමා පිළිගැනීම සඳහා නියෝජ්‍ය ඇමැතිවරුන් වන දුනේෂ් ගන්කන්ද සහ කරූ පරණවිතාන යන මහත්වරු පැල්මඩුල්ල ගන්කන්ද මහපොළ භූමියට පැමිණ සිටියා. ඒ වන විටත් පැවතියේ දැඩි අවු රශ්මියක්. කෙසේ වෙතත් ගුවනින් කොළඹ සිට පැල්මඩුල්ලට පැමිණි ජනාධිපතිවරයා ගන්කන්ද පිටියට පා තැබූ සැණින් අනපේක්ෂිත ලෙස මහ වර්ෂාවක් ඇද හැළෙන්නට වුණා.

ජනාධිපතිවරයා සමඟ උත්සව භූමියට යන අතරතුර ගන්කන්ද මහතා රටේ වත්මන් නියං තත්ත්වය පිළිබඳව කෙටි විස්තරයක් කළා. රට පුරා නියඟයෙන් පීඩා විඳින ප්‍රදේශවලට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් ජල ටැංකි දස දහසක් ලබා දී තිබෙන බව ද ගන්කන්ද කියා සිටියා. ජල බවුසර්වලින් යම් කොටසක් රත්නපුරයට ලබා දෙන්නැයි ගන්කන්ද ඉල්ලීමක් කළා.

මහා වැස්සේම විහාර භූමියට පැමිණි ජනාධිපතිතුමා පිළිගැනීමට තලතා අතුකෝරළ ඇමැතිවරියට අමතරව අතුල කුමාර රාහුබද්ධ ඇතුළු පළාත් ඇම­ැතිවරු පිරිසක් එක්වුණා.

රථයෙන් බැස ගත් ජනාධිපතිවරයා ඔහු විසින්ම ඔසවාගෙන සිටි කුඩය යටින් විහාර භූමිය වෙත පැමිණි අතර එම කුඩයේ සෙවණ ලබමින් දුනේෂ් ගන්කන්ද සහ තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන්ද උත්සව භූමියට පිවිසුණා

රන්වැට විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාවේ මුලසුන අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි නාහිමි ඉසිලූවා. අමරපුර නිකායේ මහා නායක කොටුගොඩ ධම්මවංශ, ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න, මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද යන මහානාහිමිවරු ඇතුළු සියගණණක් භික්ෂූන් වහන්සේලාද උත්සවයට වැඩම කර සිටියා.

සිය දේශනය අතරතුර විහාරාධිපති ඌව සබරගමු දෙපළාතේ මහානායක පාතකඩ විමලරතන හිමි ජනාධිපතිතුමා ගෙන් විශේෂ ඉල්ලීමක්ද කළා

ජනාධිපතිතුමනි, අපේ විහාරස්ථානයට පිවිසෙන මග දෙපස ප්‍රධාන මාර්ගයටත් විහාර භූමියටත් අතර බිම් කොටස් දෙක දීර්ඝ කාලයක් තිස්සේ වල්බිහිව තිබෙනවා. එයින් එක කොටසක් රථ ගාලක් සඳහාත් අනෙක් කොටස අලංකාර දිය පොකුණක් ඉදි කිරීම සඳහාත් අවශ්‍ය අවසරය ලබා දෙන්නේ නම් එම ඉදිකිරීම් කටයුතු අපට නිමා කළ හැකියි උන්වහන්සේ කියා කියා සිටියා.

එදින උත්සව සභාව ඇමතීමට තලතා අතුකෝරළ, දුනේෂ් ගන්කන්ද අතුල කුමාර රාහුබද්ධ යන මහත් මහත්මීන්ට නියමිතව තිබුණද ඒ වන විටත් පැවැති මහ වැසි නිසා ජනාධිපතිවරයාට පමණක් උත්සව සභාව ඇමතීම සඳහා අවස්ථාව සලසා දීම වඩාත් යෝග්‍ය බව ඔවුන්ගේ අදහස වුණා. උත්සව සභාව අමතන අතරතුර ජනාධිපතිවරයා විහාරාධිපති පාතකඩ විමලරතන හිමිපාණන් පොකුණක් කැණීමට කළ ඉල්ලීම පිළිබඳවද යම් සඳහනක් කළා.

අපේ හාමුදුරුවනේ පොකුණක් ඉදිකිරීම සඳහා අවසර දෙන්න පුළුවන්. ඒත් ඔය පොකුණ හාරන්න පටන්ගත්තම ඉල්ලම් මතු වුණොත් පොකුණේ දිගල පළලල ගැඹුර හිතාගන්නත් බැරි වේවි. ඒ නිසා හාමුදුරුවනේ පොකුණ සඳහා කැපෙන පස් සියල්ල අපි රාඡ්‍ය මැණික් සංස්ථාවට ලබා දෙමු. මෙම පොකුණ සහ රථගාල ඉදිකිරීමට අදාළ ඉඩකඩම් භාවිතය පිළිබඳ අදාළ ආයතන සහ නිලධාරීන් සමඟ කතා බස් කර උචිත වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරමු.

ජනාධිපතිවරයාගේ එම සඳහනත් සමඟ උත්සව සභාවේ සිටි ගිහියන් පමණක් නොව සඟරුවනටද සිනහව නතරකර ගැනීමට නොහැකි වුණා. ජනාධිපතිවරයාගේ කතාව අවසන් වන විට හැන්දෑ වී තිබූ අතරඅකණ්ඩව මහවැසිද එලෙසම ඇද වැටෙමින් තිබූ ණා. ජනාධිපතිතුමා අසල ව්‍යාපාරික නිවසක සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රයටද සහභාගී නොවී යළි කොළඹ බලා ඒමට ගුවන් යානයට ගොඩ වූයේ වැසි අන්ධකාරයට අමතරව හාත්පස ගිල ගනිමින් පැවැති මහා මීදුමක් මැදයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති අන්තයේ අක්මීමන ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වුණා. අක්මීමන ජනතාවගෙන් අගමැතිවරයාට ලැබුණේ හෘදයාංගම පිළිගැනීමක්. අගමැතිවරයා මහජනතාව අතරින් ගමන් කරද් දී කැමරා දුරකථන අතේ තිබූ සැවොම අගමැතිවරයා සිය කැමරාවට හසු කර ගැනීමට පොර කෑවා. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සංවිධානය කර තිබූ මහජන රැස්වීමකටද අගමැති වික්‍රමසිංහ මහතා එක් වුණා.

මෙහි දී අගමැති වික්‍රමසිංහ මහතා රැස්වීම අමතමින් රාජපක්ෂ රෙජිමය බලයේ සිටි අවුරුදු දහය තුළ රට උගස් තබමින් ගත් විදේශීය ණය ප්‍රමාණය ගැන සඳහන් කළා. එම ණය ප්‍රමාණය ඩොලර් කෝටි 3600ක් බව පැවසූ අගමැතිවරයා රුපියල්වලින් පැවසීමට පෙර එම ස්ථානයේ හෘදයාබාධ ඇති අය සිටිනවා නම් රෝහල වෙත යන මෙන් සඳහන් කළේ විහිළුවටම නොවේ. ඒ ණය ප්‍රමාණය රුපියල් කෝටි හාරලක්ෂ අසූ දෙදහස් නවසිය හතළිහක් බව අගමැති වික්‍රමසිංහ මහතා සඳහන් කළා. පසුගිය දෙවසර තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා අක්මීමන ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති 521ක් ආරම්භ කර ඇතැයි කී අගමැතිවරයා රජය කරන සංවර්ධන වැඩ සියල්ල රූපවාහිනියේ ප්‍රවෘත්තිවලින් පෙන්වීමට ගියහොත් පැය 24ම විකාශය කරවීමට සිදු වේවි යැයිද පැවසුවේ ආණ්ඩුව කළේ කුමක්දැයි විමසන අයට පිළිතුරක් ලෙසයි.

2020 වනතුරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ ජාතික ආණ්ඩුව රැගෙන යන බව අගමැතිවරයා පැවසුවේ එය බිඳීමට උත්සාහ කිරීම කළු ගලේ ඔළුව හප්පාගැනීමක් බවට අනතුරු හඟවමින්. මෙහි දී අගමැතිවරයා යූ. එන්. පී. පාක්ෂිකයින්ට කිව්වේ 2020 වනවිට ලබාගත් බලය තවත් වැඩි කර ගැනීමට උත්සාහ කළ යුතු බවයි.

අගමැතිවරයා කොටිකාවත්තේ ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරයේ අභිනව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට 26 දා සහභාගි වුණා. එම විහාරස්ථානයේ විහාර මන්දිරයට 1929 පෙබරවාරි 17 දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මුත්තණුවන්ගේ වැඩිමහල් සොහොයුරා වන දොන් පිලිප් ඇලෙක්සැන්ඩර් විජයවර්ධන මහතා මුල්ගල තබා තිබෙනවා. අභිනව ධර්ම මන්දිරයට සේදවත්තේ වලව්වේ විජයවර්ධන පරම්පරාවේ පුරුකක් වන රනිල් වික්‍රමසිංහ මහතා මුල්ගල තැබුවේ 2017 පෙබරවාරි 26 දායි. මෙය ඓතිහාසික අවස්ථාවක් බව විහාරාධිපති සියම් මහා නිකායේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය බදුල්ලේ මහානාම හිමියෝ සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ චතුර කථිකයකු වන ග්‍රාමීය කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතාගේ අමාත්‍යාංශය නව ගොඩනැඟිල්ලකට ගෙන යාම වෙනුවෙන් පැවැති උත්සවයට අගමැති වික්‍රමසිංහ මහතා සහභාගි වුණේ 27 දා. එහි දී උත්සව සභාව අමතමින් අගමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අලුතින් හිතන්න පටන් ගැනීම ගැන සිය සතුට පළ කළේ රසවත් කතාවක් සභාව හමුවේ තබමින්. පසුගියදා ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයකට ගොස් ආපසු එන ගමනේ දී සිංගප්පූරුවේ දී එරට අගමැතිවරයා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වීමට තමන්ට අවස්ථාව ලැබුණු බව පැවසූ වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ සිට එදින රාත්‍රියේ පිටත්ව යාමට නියමිත බව එරට ස්වදේශ අමාත්‍යවරයා තමා සමඟ පැවසූ බවත් කිව්වා. එකම ගුවන් යානයේ දී ඔහු හමු වුණොත් ස්වාසිලන්තය සහ උගන්ඩාව අතහැර සිංගප්පූරු ක්‍රමයට එක්වීම ගැන මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රශංසා කිරීමට තමා කල්පනා කළත් අවාසනාවට හිටපු ජනාධිපතිවරයා තමා ගමන් කළ ගුවන් යානයේ ආවේ නැතැයිද වික්‍රමසිංහ මහතා කීවා. පාර්ලිමේන්තුවේ දී හමු වූ විට ඒ ගැන කියන්නම් යැයි තමා සිතා ගත් බව ද අගමැතිවරයා පැවසුවේ සියලු දෙනාම සිනහ ගස්සමින්.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ලැබුණු ඇරයුමක් මත ඉන්දීය විදේශ ලේකම් සුබ්‍රමනියම් ජයශංකර් හමුවී සාකච්ඡා කිරීමේ අවස්ථාවක් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට හිමිවුණා. මෙරට සම්පත් පමණක් උපයෝගී කර ගනිමින් තිස්සමහාරාමයේ ඉදි කරන ‘ශ්‍රී නරේන්ද්‍ර මෝඩි ගම්මානය’ ගැනද සජිත් එහි දී සිහිපත් කළා. ‘අපේ ර‍ටේ පවුල් ලක්ෂ 25ක් විතර කුමන හෝ ආකාරයේ නිවාස ප්‍රශ්නවලින් පීඩා විඳිනවා. ඒ අය වෙනුවෙන් අප ක්‍රියාත්මක කරන ඉදිරි වැඩසටහන්වල දී දැනට වඩා වැඩි දායකත්වයක් ඉන්දීය රජයෙන් ලබා දිය හැකි නම් අගය කරනවා’යි සජිත් කියද් දී ඉන්දීය විදෙස් ලේකම්වරයා කීවේ ඊට අනුග්‍රහය, ශක්තිය ලබා දෙන්න අපි කැමැතියි’ කියාය.

ජනතා අයිතියට පත්කළ 20 වැනි උදා ගම්මානය වූයේ තිස්සමහාරාම, තිස්සපුර ‘සිරිජයගම’ යි. ඊට විශේෂ අමුත්තන් කීප දෙනෙකුම එක්ව සිටීම හේතුවෙන් උත්සවශ්‍රීය වඩාත් ඉස්මතු වී තිබුණා. සජිත්ගේ උදා ගම්මාන වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීමට පීටර් රොස්කම්, ඩේවිඩ් ප්‍රයිප් සහ ඒඩ්‍රියන් ස්මිත් යන අමෙරිකානු එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් පැමිණ සිටියේ තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ දසිල්වා සමඟින්.

සජිත් සිය බස් රථයේ නංවාගෙන “ගජසමරගම” ආදර්ශ ගම්මානය නිරීක්ෂණය කිරීමට ගිය කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් විමසුවේ ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳවයි. වංචාව, නාස්තිය, සොරකම මුළුමනින්ම තුරන් කළ මේ නිවාස වැඩපිළිවෙළ පිළිබඳව ඔවුන් තුළ ප්‍රසාදයක් හටගත් බව පෙනුණා. “රටේ පළාත් 9ට අයත් දිස්ත්‍රික් 25ම ආවරණය වන විදියටත්, ඔබේ හම්බන්තොට සහ ශ්‍රී ලංකා සංචාරය සදා මතකයේ රැ‍ඳෙන පරිදිත් ලොකු උදව්වක් අප වෙනුවෙන් කරන්න යයි සජිත් කියද් දී ඇමෙරිකානු බලවතුන් කීවේ ඔබේ වැඩකටයුතු දිගටම මේ විදියට කරගෙන යන්න. අපි ඔබට සුබ පතනවා. නැවත අමෙරිකාවට ගිය පසුව අවශ්‍ය උපකාර සියල්ල ලබාදීමට කටයුතු කරන්නම්’ කියාය. ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා සමඟ කොන්ග්‍රස් සාමාජිකයන් වෙනුවෙන් සංවිධානය කළ යාල වනෝද්‍යාන සංචාරයටද සජිත් එක්වුණා. පටනංගල මුහුදු වෙරළ ප්‍රදේශය වෙත ගිය පිරිස 2004 දෙසැම්බරයේ දී එම ස්ථානයේ දී සුනාමියෙන් ජීවිතක්ෂයට පත් අමෙරිකානුවන් ඇතුළු පිරිස පිළිබඳ සිහිපත් කළේ ඉතා හැඟුම්බරවය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 01වෙනිදා පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී රැස්වුණා. එහි දී වර්තමාන දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු වුණා. ඒ අතර සයිට්ම් ගැටලූව පිළිබඳවත් මහින්ද රාජපක්ෂ නමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳවත් අප්‍රේල් විරු සමරුව පිළිබඳවත් ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන්වුණා.

”සයිටම් එකේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරපු ගමන් ඒ ගැන ලොකු සංවාදයක් මතු වුණා. ජනාධිපති ඒ ගැන කිසිදු ප්‍රකාශයක් කරන්නේ නැහැ කියලත් කට්ටිය කියන්න පටන් ගත්තා. ඒ නිසාම මෛත්‍රීපාල ජනාධිපතිවරයා හැමෝටම සාධාරණයක් වෙන තීන්දුවක් ගන්නවා කියලා කිව්වා. මව්පියන් කැඳවලා සාකච්ඡා කළා.ඒත් තවමත් ඒ ගැන ජනාධිපතිගේ තීරණයක් නැහැ. බිමල් රත්නායක කීවා. විද්වත් කමිටුවක් පත්කරනවා කියලා කිව්වා. එහෙම කමිටුවක් තාම නම් පත්කරලා නැහැ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියා.

මේ අතර මහින්ද රාජපක්ෂගේ නමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් පිළිබඳව මේ දිනවල කතාබහක් ඇතිවී තිබෙනවා. මේ සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු වූයේ කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්තිද මේ ගැන වගකිව යුතු බවට ඇතැම් මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කිරීම් සිදුකළ නිසායි.

”ඇත්තටම මොකක්ද මේ ගැසට් නිවේදන කතාව” විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්තිගෙන් විමසා සිටියා.

”මහින්ද රාජපක්ෂගේ නමින් ගැසට් නිවේදනය නිකුත් වෙලා තියෙන්නේ 2016.12.24 වෙනිදා. බැලූ බැල්මට ඒකේ අවුලක් තියෙනවා කියලා පේනවා. නමුත් ඇත්ත තත්ත්වය ඔහු මුදල් ඇමතිවෙලා ඉන්න කාලේ ගත්ත තීරණ ගැසට් වෙන්නේ ඔහුගේ නමින්. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. සමහරු කිව්වා මේක කෝප් කමිටුවේ සභාපති දැක්කෙත් නැද්ද කියලා. කෝප් වාර්තාවට මේකේ කිසිම අදාළත්වයක් නැහැ. නමුත් ගැසට් එක ප්‍රමාද කරලා තියෙනවද ප්‍රමාද කළානම් එහෙම කළේ ඇයි කියලා වෙනම හොයලා බලන්න වෙනවා.” සුනිල් හඳුන්නෙත්ති විස්තර කළා.

71 අරගලයේ දී දිවි පිදූ විරුවන් වීරවරියන් සැමරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ වාර්ෂිකව අප්‍රෙල් විරු සමරුව සංවිධානය කරනවා. මෙවර එම අප්‍රේල් සමරු වැඩසටහන ඉතා පුළුල් ආකාරයෙන් පැවැත්වීමට පක්ෂ නායකයින්ගේ අවධානය යොමු වුණා. ”අප්‍රේල් සමරුව සතියක් පුරා ක්‍රියාත්මක කරන්න අපි වැඩපිළිවෙළක් හදමු. ඒ සතිය තුළ සෑම දිස්ත්‍රික්කයකම සමරු වැඩසටහන් සංවිධානය කරලා පක්ෂයේ සාමාජිකයින් හිතවතුන් 71 අරගලයට සම්බන්ධ විරුවන්ගේ නෑදෑ හිතවතුන් සම්බන්ධ කරගන්න වැඩසටහනක් හැදුවොත් ඒක හැම දෙනාටම ලොකු ආස්වාදයක් වෙයි.” ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යෝජනා කළා .

ඔව්, ඒක හොඳ අදහසක්. ජාතික සමරුවකට අමතරව දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කළාම හැම කෙනෙක්ටම වාගේ සම්බන්ධ වෙන්න පුළුවන්. විජිත හේරත් යෝජනා කළා.

එක සමරුවක් වෙනුවට දිස්ත්‍රික් කිහිපයක් තෝරාගෙන ජාතික සමරු වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන එකත් හොඳයි. එතකොට දිස්ත්‍රික් කිහිපයක් සම්බන්ධ කරගෙන සමරු වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන්.” අනුර දිසානායකද පෙන්වා දුන්නා.

සියලූ දෙනාගේ අදහස් යෝජනා සැලකිල්ලට ගනිමින් අප්‍රේල් සමරු සතියක් නම් කිරීමටත් එම සතිය පුරා සමරු වැඩසටහන් මාලාවක් පැවැත්වීමටත් ජවිපෙ නායකයින් තීරණය කළා.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාකරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධව ක්‍රියාකරන්නේ නැත. මහින්ද රාජපක්ෂ මහතාද රටට පෙන්වන්නට හදන්නේ එය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ක්‍රියාවක් බවයි. එසේ වුවද මෙය හැංගි හැගි වෙස් මුහුණ බැඳීමක් බවත් මෙය මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයැවීමෙන් ක්‍රියාත්මක වන සැලසුමක් බවත් දැන් දැන් හෙළි දරව් වෙමින් තිබෙනවා. පසුගියදා පැවැති රැස්වීමකින් මේ බව හොඳින්ම තහවුරු වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා පවත්වනු ලැබුවේ ලොහාන් රත්වත්ත මන්ත්‍රීවරයාගේ නිවෙසේදීය. එහි කැපීපෙනෙන සිදුවීමක් වූයේ මහින්ද රාජපක්ෂ මහතාද සහභාගිවී සිටීමයි. පැමිණි සිටි නියෝජිතයන් සමඟ රාජපක්ෂ මහතා අදහස් හුවමාරුකරගන්නා ආකාරයද දක්නට ලැබුණා. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට පසුගිය දිනවල විදේශගතව සිටි බැසිල් රාජපක්ෂ මහතාද සහභාගි වී සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනඟන්නේ ඉදිරියේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මැතිවරණ තරගකිරීම සඳහා බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැමිණ සිටි සැමට ප්‍රකාශ කළා. ඉදිරියේ දී පක්ෂයේ වැඩකටයුතු වේගවත් කිරීම ගැනත් සඳහා සාකච්ඡා වුණා.

දෙමළ ජාතික සන්ධානයේ යම් ගැටුමක් නිර්මාණය වී ඇත්තේ ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය ලිහිල් පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙනුයි. ජාත්‍යන්තර මානවහිමිකම් කවුසිලයට රජය දුන් පොරොන්දුව ඉටු කිරීමට කල්දීම ගැන තමන් විරුද්ධ නොවන බව පුවත්පත් සාකච්ඡාවක දී සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. ඔහු එම ප්‍රකාශය කළේ පක්ෂ නායක සම්බන්ධන් මහතාද සිටියදීය. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ඊ. පී. ආර්. එල්. එෆ් සංවිධානයේ නායක සු‍රේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේ පක්ෂය වෙනුවෙන් එබඳු ප්‍රකාශයක් කිරීමට නායකත්වයට අයිතියක් නැති බවය. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධාන නායකයන් මෙම අදහස එතරම් ගණන් ගන්නා බවක් පෙනෙන්නට නැහැ. ඔවුන් කියන්නේ මෙම අන්තවාදී අදහස් දෙමළ ජනයා විසින් ප්‍රතික්ෂේප කොට ඇති බවයි. දෙමළ ජනයාගේ සහය ඇත්තේ තමන්ට බව ඔවුන් කියනවා. එසේ වුවත් සන්ධානය තුළ අන්තවාදීන් හා මධ්‍යස්ථවාදීන් අතර ගැටුමක් තිබෙන බව නම් පැහැදිලියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *