ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු වළකමින් මෛත්‍රීට ස්ථිර අතුරු තහනමක්

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා ඊයේ (24) ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මාලබේ පදිංචි මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ශ්වකරුවන් ලෙස නම් කර මෙම නඩුව ගොනු කෙරිණ. අතුරු තහනම පිළිබඳ තීන්දුව ඊයේ (24) ප්‍රකාශ කළ දිසා විනිසුරුවරයා විරෝධතා ඇත්නම් ලබන ජුනි මස 24 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට දන්වා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයා ලෙස පත්වූ අයකුට පක්ෂ සභාපති ධුරය දැරීමට හැකි වුව ද ජනාධිපති ධුරය අහෝසි වීමෙන් පසුව සභාපති ධුරය දැරීම නීත්‍යනුකූල නොවන බවත් පක්ෂයේ අනුශාසක ධුරය දරමින් සිටියදී එම ධුරයට අමතරව සභාපති ධුරය දැරීම නීතිය හමුවේ බලරහිත ක්‍රියාවක් බව ද මෛත්‍රීපාල මහතා සභාපති ධුරයට පත්වූ 2022 පෙබරවාරි 25 වැනිදා පැවැති විධායක කාරක සභා විශේෂ රැස්වීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව පවත්වා ඇති බව ද පැමිණිලිකරුගේ නීතිඥ දිනේශ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වන ලදි.

එසේම පක්ෂයේ හිටපු සභාපති, අනුශාසක හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ආරාධනා නොකර පවත්වා ඇති රැස්වීමක් මඟින් සභාපති ධුරයට නම් කිරීම සිදුව ඇති බැවින් එය නීති විරෝධී නම් කිරීමක් බව ද විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සාපරාධී පුද්ගලයකු බවට ජනාධිපති කොමිෂන් සභාව නිගමනය කර ඇති බැවින් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා විසින් නඩු පැවැරිය යුතු බවට කොමිසම මඟින් නිර්දේශ කර ඇති බවත් පෙන්වා දෙන පැමිණිලිකරු එම නිර්දේශ කිසිදු අධිකරණයකින් මෙතෙක් අභියෝගයට ලක්ව නැති බව කියා සිටියේය. මෙවැනි පසුබිමක් තුළ නීති විරෝධී විශේෂ රැස්වීමකින් පත්වී ඇති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රීලනිප සභාපති ධුරය තහනම් කරන නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ අතර අනතුරුව පෙත්සම්කරුවන් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා කරුණු දක්වන ලදි. ඒ සම්බන්ධ නියෝගය ඊයේ (25) ප්‍රකාශ විය.

මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය සමඟ නීතිඥ සම්පත් පෙරේරා මහතා පෙනී සිටියහ. ශාන්ත ජයවර්ධන, දිනේශ් ද සිල්වා සහ මහේන්ද්‍ර රාජමන්ත්‍රී යන නීතිඥවරු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කොළඹ දිසා අධිකරණය ඉදිරියේ ගොනු කළ නඩුවකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරේ කටයුතු කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් මේ වන විට ද පනවා ඇත.

චන්දන ජයවීර 

දිනමිණ 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *