කාදිනල් හිමිපාණෝ පාස්කු මහ මොලකරුට රැවටීම – ජයවීර සෙනෙවිරත්න

පාස්කු ප්‍රහාරයට වසර පහක් ගත වී ඇත. ඒ ගැන දැන් තිබෙන ප්‍රධාන කතාව එහි වින්දිතයන්ට යුක්තිය ඉටු නොවූ බවට ය. ඒ කියන්නේ එයට වග කිව යුතු ප්‍රධානීන්ට දඬුවම් ලැබී නැති බව යි. පරීක්ෂණ යට ගසා ඇති බව යි.

කතෝලික සභාවේ අග රද ගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පුන පුනා කියන්නේ පාස්කු ප්‍රහාරය මෙහෙය වූ මහ මොළ කරු හෙළි කොට නැති බව යි.

ප්‍රහාරය ගැන ප්‍රකාශිත තොරතුරු අනුව මෙම කණ්ඩායමේ නායකයා සහරාන් නැමැත්තා ය. ඔහු ඇතුළු නායකයින් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරමින් මියගිය බව කියති. එසේ වුවත්, වෙනත් කතා වලින් කියන්නේ සහරාන්ට ඉහළින් තවත් නායකයෙකු සිටි බව යි. අනියමින් චෝදනා එල්ල වන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා බුද්ධි අංශ වෙත යි. එම චෝදනාවල ඇත්ත නැත්ත සෙවීම පහසු නැත.

කතෝලික සභාව කියන්නේ මෙම තොරතුරු දේශපාලඥයින් විසින් සොයා හෙලිකල යුතු බව යි. එය කරන බවට පොරොන්දුවන අයට රැවටීමට කතෝලික සභාව දිගට ම සුදානමින් සිටින බව පෙනෙන්නට තිබේ.

අග රද ගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් පසුගිය දා ප්‍රකාශ කළේ ඉහත කී පොරොන්දුව නිසා තමා ගෝටාභය රාජපක්ෂ මහතාට රැවටුණු බව ය.

කාදිනල් හිමියන් රැවටුණා පමණක් නො වේ. රට ම රවටන්නට දායක වී ය. එබැවින් පසුගිය කාලයේ මෙරටට සිදු වූ විනාශයට එතුමා ද වග උත්තර කරුවෙකි. එම විනාශයේ වින්දිතයින්ට ද යුක්තිය ඉටු විය යුතු ය. එය කළ නොහැක්කේ එයට ද මහ මොළ කරුවන් රාශියක් සිටින බැවිනි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරු එය මෙහෙයවා ඇත්තේ දේශපාලන අරමුණකින් බව කතෝලික සභාව ඇතුළු බොහෝ දෙනා කියන කතාවකි. එය එසේ නම් එහි දේශපාලන ඉලක්කය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන වශයෙන් ඝාතනය කිරීම බව තේරුම් ගැනීමට විශාල ප්‍රඥාවක් තිබීම අවශ්‍ය නැත.

එසේ වුව ද, එදා මෙදා තුර කාදිනල් හිමියන් සහ කතෝලික සභාව කටයුතු කොට ඇත්තේ පාස්කු මහ මොලකරුගේ එම අරමුණ ඉටුකර දීමට බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. කාදිනල් හිමියන් ම ගොස් ගොටාභයට රැවටී රට රවටන්නට දායක වන්නේ පාස්කු මහ මොලකරු සහ කාදිනල් හිමියන් එක ම දේශපාලන අරමුණකින් ක්‍රියා කිරීම නිසා බව පෙනෙන්නට තිබේ.

මෙය මෙසේ වීමට ප්‍රධන හේතුව නම් කාදිනල් හිමියන්ට කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතා සමග මොකක්දෝ ඇරියස් එකක් තිබෙන බව පෙනෙන්නට තිබීම යි. එය වරදක් නොවේ. රනිල් ගැන ඇරියස් තිබෙන තව බොහෝ දෙනා සිටිති. වරද ඇත්තේ එම ඇරියස් නිසා අනෙක් දේශපාලන කරුණු නොදකින්නට තරම් දේශපාලනික ලෙස අන්ධ වීම යි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරුවකු වේ නම් ඔහුගේ හෝ ඇගේ දේශපාලන ඉලක්කය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනිකව විනාශ කොට ගෝටාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම බව පහසුවෙන් තේරුම් ගත හැකි සත්‍යයකි. එසේ තිබිය දී කාදිනල් හිමියන් යුක්තිය සොයා ගොස් රැවටෙන්නේ ගෝටාභය රාජපක්ෂට යි. ඒ කියන්නේ කාදිනල් හිමියන් ද ඉටු කරන්නේ පාස්කු මහ මොලකරුගේ වුවමනාව යි. මෙය කාදිනල් හිමියන් පාස්කු මහ මොලකරුට රැවටීමක් හා සමාන ය.

මෙහි දී කාදිනල් හිමියන් කල්පනාවට ගන්නේ පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම ද නැතහොත් රනිල් වික්‍රමසිංහට ගේම දෙන ආකාරය ද යන්න ප්‍රශ්නයකි.

දැන් පෙනෙන්නට තිබෙන්නේ කාදිනල් හිමියන් නැවත වරක් රැවටෙන්නට කෙනෙකු සොයමින් සිටින බව යි. එහි දී ද ප්‍රධාන සාධකය විය හැක්කේ පොරොන්දු නොව රනිල්ට ගේම දිය හැක්කේ කාට ද යන්න වීමට හොඳට ම ඉඩ ඇත. මෙම වාරය හිමිව තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට හෝ අනුර කුමාර දිසානායක මහතාට හෝ ය.

පාස්කු මහ මොලකරු වසර පහකට පෙර සැලසුම් කළේ රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් වනසා දැමීමට ය. වසර පහකට පසුවත් කාදිනල් හිමියන් ක්‍රියා කරන්නේ ද එම අරමුණ වෙනුවෙන් ම බව පෙනෙන්නට තිබීම පාස්කු ප්‍රහාරය මෙන් ම ඛේදවාචකයකි.

ජයවීර සෙනෙවිරත්න 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *