විදුලිබල පනතට විකල්ප යෝජනා දුන්නේ දේශපාලඥයින් තුන්දෙනයි

නව විදුලිබල පනත සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමට දුන් කාලයේ දී යෝජනා ලබාදුන්නේ දේශපාලඥයින් තිදෙනෙකු පමණක් බවත්, වෙනත් කිසිවෙකු යෝජනා නොදුන් බවත් , විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ ය. එලෙස යෝජනා ලබා දී තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් යන මහත්වරුන් පමණකි.

පනත සකස් කොට ඇත්තේ සියලු පාර්ශවවලින් අදහස් ලබා ගැනීමෙන් පසුව බවත්, විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත් විදුලිබල හා බලශක්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් පැවසීය.

කොළඹ 7 පිහිටි විදුලිබල හා බලශක්කි අමාත්‍යංශයේදී අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය කාංචන විජේසේකර මහතා එසේ පැවසීය.

නව විදුලිබල පනත පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහි යම් ව්‍යවස්ථා හෝ නීති විරෝධී කරුණු ඇතුළත්ව තිබේ නම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 14 ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමේ අවස්ථාව ඕනෑම පුද්ගලයෙක්ට ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට යොමු කරන නිර්දේශ සම්බන්ධයෙන් කටයුතු කරන බව කී අමාත්‍යවරයා පනත පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමට දුන් කාලයේදී දේශපාලඥයන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් යන මහත්වරු පමණක් යෝජනා යොමු කර තිබූ බව ද සඳහන් කළේය.

නව පනතින් විදුලිබල ක්ෂේත්‍රය දේශපාලනීකරණය වී ඇතැයි කියන පාර්ශව කඩාකප්පල්කාරීන් බවත් දේශපාලන බලපෑම් දිරියට ගෙන යෑමට නම් දැනට පවතින 2009 විදුලිබල පනත වඩාත් යෝග්‍ය බවත් ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *