සයිටම්ප්‍රශ්නය සයිටම් ආයතනයට එහා ගිය ප්‍රශ්නයක් වන්නේ මන්ද යත්- රංග ජයසූරිය

ප්‍රශ්නයට අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාලබේ සයිටම් අධ්‍යාපනික ආයතනය පිළිබඳ තීරණයක් ගන්නා බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියයි. සමහර විට, කළ යුතුව ඇති නිවැරදි දෙය වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෙනස් තීන්දුවක් නොදෙන්නේ නම්, දැනට අධිකරණයෙන් දී තිබෙන විනිශ්චය ක්‍රියාත්මක කිරීමයි. විවේචකයන් සුළු පිරිසකගේ ඝෝෂාවක් සමනය කිරීම සඳහා නීතිය වෙනස් කිරීම හෝ නීතියක් ක්‍රියාත්මක නොකර සිටීම, මේ රටේ බොහෝ කලක් තිස්සේ කරගෙන යන පුරුද්දකි. එය නීතියේ ආධිපත්‍යයේ සමස්ත කඩා වැටීමට හානිකර ලෙස බලපා තිබේ.

සයිටම් පිළිබඳ ප්‍රශ්නය, අනාගතයේදී වෛද්‍ය උපාධිධාරීන් වීමට සිටින අතලොස්සකගේ ඉරණමක් පිළිබඳ ප්‍රශ්නයක් විණි නම්, ප්‍රශ්නය ඉතා සරළ ය. ප්‍රශ්නය එය නම්, උපයෝගීතාවාදී දෘෂ්ටි කෝණයකින් (කිහිප දෙනෙකුට අවැඩක් වෙතත්, වැඩි දෙනාගේ වැඩි යහපත සඳහා යමක් කිරීම යුක්ති සහගත කෙරෙන දෘෂ්ටි කෝණයෙන්) බලන කල, ශිෂ්‍ය විරෝධතා පෙළපාලි, වෛද්‍ය වැඩ වර්ජන ආදී මහා ගාලගෝට්ටි ඇති කර ගැනීමේ ප්‍රයෝජනයක් නැත. ඒ කන්දොස්කිරියාව වෙනුවෙන් විරෝධතාකරුවන්ගේ හඬට සවන්දීම වඩාත් උචිත ය. ප්‍රශ්නය එසේ විසඳා ගැනීම තවත් එවැනි ප්‍රශ්න මාලාවකට තල්ලුවක් විය හැකි බවට අතීතයේ ඇති අත්දැකීම් වෙනම කාරණයකි.

එහෙත් සයිටම් ප්‍රශ්නය යනු, හුදෙක් සයිටම් ආයතනය පිළිබඳ ප්‍රශ්නයක්ම නොවේ. එය, මේ රටට නැතිවම බැරි පෞද්ගලික අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයකි. අනිත් පැත්තෙන් ගත් විට, එය මහජන මුදලින් නඩත්තු කෙරෙන, තරගයක් නැති කම නිසා දීර්ඝ කාලයක් තිස්සේ කඩා වැටෙමින් ඇති, පොදු අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් ද වන්නේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දිනෙන් දින වැඩෙන ජගත් තරගකාරීත්වයට මුහුණදිය නොහැකි තත්වයකට පත්ව ඇති අතර, අඩ සියවසකට ඉහතින් ක්‍රියාවට දැමූ සහ එදා මෙදා තුර වෙනස් නොවූ, යල්පැනගිය පටු ආයතනික ව්‍යුහයක් තුළ ක්‍රියාත්මක වීම හේතුවෙන්, ලෝකයේ වෙනත් තැන්වල සාර්ථක අධ්‍යාපනික භාවිතාවන් උකහා ගැනීමට අපොහොසත් වී තිබේ. එම නිසා පවතින තත්වය වෙනස් කිරීමකට ඇතුළෙන් ප්‍රතිරෝධයක් මතු වීම ස්වභාවික ය. තමන්ගේ ඒකාධිකාරී රාජධානිය ආරක්ෂා කර ගැනීම සඳහා එයින් ඵල ප්‍රයෝජන ලබන ආයතන සහ පුද්ගල කණ්ඩායම් වෙහෙසීමත් පුදුමයට කාරණයක් නොවේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය, ඉන්දියාවේ ‘ලයිසන්ස් රාජ්’ ක්‍රමයේ ක්ෂුද්‍ර රූපයකි. ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය නේරු, පෞද්ගලික අංශය ආර්ථිකයෙන් බැහැර කරවන, රටේ ආර්ථිකයේ බෙල්ල හිර කරවන ව්‍යුහයක් ගොඩනැගූවේය. එයින් පසුව ගත වු දශක හතරක කාලය තුළ ඉන්දියාව, හීන-ඵලදායිත්වයේ සහ දරිද්‍රතාවයේ පර්යාය නාමයක් බවට පත්විය. ඇතැම්හු, සදාචාරමය සහ ගුණවත් හේතු මත පිහිටා මෙවැනි සමාජ ව්‍යුහයන් වර්ණනා කිරීමට පෙළඹෙති. එහෙත් යල්පැනගිය යුගයක පැවති ආධානග්‍රාහී පිළිවෙත්වල සැබෑ ප්‍රාණඇපකරුවන් බවට පත්වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ප්‍රායෝගික සුභසිද්ධියක් එම ව්‍යුහ තුළ අත්පත් කර ගැනීමට හැකිව ඇතොත් ඒ ඉතා අල්ප වශයෙනි.

කියන තරම් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය යහපත් නම්, නුපුහුණු කම්කරුවන් සහ ගෘහ සේවිකාවන් මෙතරම් පිටරට පටවනවා වෙනුවට අප කරනු ඇත්තේ වෘත්තිකයන්ව විදේශයන්ට යැවීමයි. අපේ උපාධිධාරීන් ඔය කියන තරම් උසස් මට්ටමේ සිටී නම්, ඉතා දියුණු ඉන්දියානු තොරතුරු තාක්ෂණ සමාගම් මේ රටේ ඔවුන්ගේ කාර්යාල විවෘත කිරීමට පෝලිමේ එනු ඇත. ’උන්ට වැඩිය අපි ඉස්තරම්’ නැමැති මන්තරය විකාරයකි. අපේ ළිං මැඩි චින්තනයේම මායාවකි.

1989 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ප්‍රශ්නයේදී පස්ස ගැසුවේය. අනතුරුව ආණ්ඩුවට පවරා ගත් එම වෛද්‍ය විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් කරන ලදි. මෙය රජයට පවරා ගන්නැයි කියා උද්ඝෝෂණය කළ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ හඬට ඉඩ දීමෙන් සහ ත්‍රිකුණාමලේ ගල් අඟුරු බලාගාරයක් ගොඩනැගීම සඳහා සකස් කොට තිබූ සැලසුම් හකුලා ගැනීම තුළින් දකුණේ වාමාංශික කැරලිකාරීත්වය සමහන් කළ හැකි වෙතැයි ඔහු සිතුවේය. ඔහුගේ ඒ ගණනය පසුව වැරදී ගිය අතර, ඔහුගේ ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නට මුළු වෙර යොදා අර කැරලිකාරීත්වයෙන් රට ආරක්ෂා කර ගැනීමට සිදු විය. ජනාධිපති ප්‍රේමදාසගේ තීරණය නිසා අවසානයේදී සිදු වුණේ, ව්‍යාපෘති ප්‍රවණතාවක ආරම්භක අවදියක අත්පත් කරගත හැකිව තිබූ වාසියක් අපෙන් මගහැරී යාමයි. එදා පටන්, පෞද්ගලික අධ්‍යාපනය සඳහා දොරටු විවර කළ මැලේසියාව වැනි රටවල් අද වන විට ජාත්‍යන්තර ශිෂ්‍යයන් සඳහා වන ප්‍රධාන පෙළේ ගෝලීය කේන්ද්‍රස්ථාන බවට පත්ව ඇත. උදාහරණයක් වශයෙන්, 2014 වන විට මැලේසියාවේ විදේශ ශිෂ්‍ය සංඛ්‍යාව 135,000 ක් වූ අතර, 2020 වන විට එම ප්‍රමාණය 200,000 ට ආසන්න වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. නිදහසේ පටන් අප බොහෝ දේවල් අහිමි කරගෙන තිබේ. 1977 දක්වා කාලය වන තෙක් ආර්ථික ආධානග්‍රාහීත්වය නිසා ද, ඉන් පසුව දේශපාලනික අතීරණය නිසා ද, අප බොහෝ දේවල් අහිමි කරගෙන තිබේ. මේ පාරේම අප තවදුරටත් ගමන් කළොත්, අනාගත පරම්පරාවන් සඳහා ඇති අපේක්ෂාවන් ද නන්නත්තාර වනු ඇත.

උසස් අධ්‍යාපනයේ ඒකාධිකාරි අයිතිය ආණ්ඩුව සතු විය යුතු යැයි කියන කෙනෙකු අද නැති තරම් ය. උසස් අධ්‍යාපනය පමණක් නොව, වෙන කිසි දෙයක් සම්බන්ධයෙන් වුව ආණ්ඩුවක් ඒකාධිකාරී බලයක් අභ්‍යාස කිරීම වනාහී, තමන්ට බැරි බරක් බදා ගැනීමකි. (මැක්ස් වෙබර් කියන පරිදි, සමහර විට, ප්‍රචණ්ඩත්වය නීත්‍යානුකුලව පාවිච්චි කිරීමේ අයිතිය පමණක් සමහර විට ආණ්ඩුවේ ඒකාධිකාරයක් විය හැකිය). එසේ වන විට වන්නේ, සියල්ල හරහට සිදු වීමයි. තෙල් සම්පතින් ලැබෙන ඩොලර් සමෘද්ධිය සහිත රටවල් තිබේ. රජයට බදු ආදායම් වැඩියෙන් ලැබෙන රටවල් තිබේ. විශාල රාජ්‍ය බලයක් සහ අඩු ජනගහනයක් ඇති රටවල් තිබේ. එවැනි රටවල්වලට රාජ්‍ය ඒකාධිකාරියක් පවත්වා ගෙන යා හැකිය. එහෙත් අපට වඩා මුළුමණින් වෙනස් සමාජ ආර්ථික මට්ටමක් සහිත ස්කැන්ඩිනේවියානු රටවල් (නෝර්වේ, ස්වීඩනය, පින්ලන්තය සහ ඩෙන්මාර්කය) කරන හැම දෙයක්ම අපට කිරීමට පුළුවන් කමක් නැත. අපොස උසස් පෙළ විභාගයෙන් පසු දිගටම අධ්‍යාපනයේ නිරත වීමට අපේක්ෂා කරන සියලු සිසුන් සඳහා ගුණාත්මක උසස් අධ්‍යාපනයක් සැපයීමට පුළුවන් කමක් ලංකාවේ ආණ්ඩුවට නැත. එහෙත් ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් සේවාවක් කිරීමේ හැකියාව ඇති වෙනත් අංශවලට අවශ්‍ය කරන වාතාවරණය සපයා දීමට ආණ්ඩුවකට පුළුවන් කම තිබේ. උපකාරක පංති සඳහා වන ණය පහසුකම් සැපයීම සහ ශිෂ්‍යත්ව පිරිනැමීම ආදියේ සිට පෞද්ගලික අධ්‍යාපනික ආයතනවල වර්ධනය සහ ගුණාත්මක භාවය නියාමනය කෙරෙන කාර්යයන් ආණ්ඩුවකට කළ හැකිය.

ඒවා එසේ කරන අතරේම, දැනට කෙරෙන ආකාරයෙන්, තෝරා ගත් සුළුතරයකට සපයන රාජ්‍ය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත මට්ටමකට ගෙන ඒමටත් කටයුතු කළ හැකිය. රටේ පවතින ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටම හා සසඳන කල ඉතා පහත් මට්ටමකි තිබියදී, තව තවත් අලුත් විශ්ව විද්‍යාල ආණ්ඩුව විසින් ආරම්භ කිරීම මෝල් කමකි. බාල ජනප්‍රියත්වය සඳහා කරන උප්පරවැට්ටියකි. දැනටමත් පිරී ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල, තව තවත් සංඛ්‍යාත්මකව වැඩි කිරීම සඳහා ශක්තිය සහ මුදල්හදල් නාස්ති කරනවා වෙනුවට, දැනට ආණ්ඩුව කළ යුත්තේ ඒවායේ ගුණාත්මක භාවය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම සඳහා ආයෝජනය කිරීමයි.

කොළඹ, පේරාදෙණිය සහ මොරටුව වැනි විශ්ව විද්‍යාල, ජාතික මට්ටමේ සංයුක්ත සැලැස්මක් ඇතොත්, එසේ වැඩි දියුණු කළ හැකි ශක්‍යතාවක් සහිතයි. කොළඹ මෙගාපොලිස් මහ නගර ව්‍යාපෘතිය ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳව සිංගප්පූරුවෙන් උපදෙස් ලබා ගන්නා රජයට, සිංගප්පූරුවේ විශ්ව විද්‍යාල ලෝක මට්ටමට පත්කර ගත්තේ කෙසේද යන්නත් සොයා බැලිය හැකිය. එවැනි සාර්ථකත්වයක් එම රට ලබාගෙන ඇත්තේ, නිශ්ක්‍රීය නිරීක්ෂකයන් වශයෙන් පැත්තකට වී බලා සිටීමෙන් නොව, සැලසුම් සම්පාදනයෙන්, ඉලක්ක සකසා ගැනීමෙන් සහ ජාත්‍යන්තර සේවාවන් ලබා ගැනීමාදිය සම්බන්ධයෙන් ආණ්ඩුව සෘජුව මැදිහත් වීමෙනි.

රජයේ විශ්ව විද්‍යාල එක තැන පල් වීම වෙනස් කර ගත්තොත්, පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන තිබෙන විරෝධයත් දුරු වී යනු ඇත. දේශීය විශ්ව විද්‍යාලවල තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ, සිය වසකටත් වැඩි කාලයක් තිස්සේ කොළඹ, නුවර සහ මා ඉගෙනුම ලත් ශාස්ත්‍රාලය පිහිටි ගාල්ල වැනි තැන්වල පවා ඇති බොහෝ උසස් පාඨශාලා තුළින් දෙන ලද ප්‍රබුද්ධ තත්වාරෝපණය එක දිගට පවත්වාගෙන යාමට අපොහොසත් වීමයි. මීට අමතරව, තවත් සමාජ ආර්ථික සාධක ඊට බලපාන බව ඇත්ත. කෙසේ වෙතත්, විශාල සම්පත් කන්දරාවක් සහිත ආයතන වශයෙන් මීට වඩා හොඳින් මේ කාර්ය කිරීමට විශ්ව විද්‍යාලවලට හැකි විය යුතුය. එය එසේ සිදු වන්නේ නම්, පිටස්තර පෞද්ගලික විශ්ව විද්‍යාල සහ වෙනත් අධ්‍යාපන ආයතනවලින් එන තරගය ගැන මෙතරම බයක්, රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් තුළ ඇති නොවනු ඇත.

2017 පෙබරවාරි 28 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ
සයිටම් සයිටම් ආයත ප්‍රශ්නය නයට එහා ගිය ප්‍රශ්නයක් වන්නේ මන්ද යත්
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *