ඥානසාර හිමිට එරෙහි පැමිණිල්ල විභාගයට

 

හෝමාගම අධිකරණ ශාලාව තුළදී කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය එම පැමිණිල්ල විභාග කිරීමට ඊයේ (28) තීරණය කෙළේය. ඒ අනුව ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී කියවා දෙන ලදී. පැමිණිලි විභාගය මැයි මස 16 වැනිදා ඇරඹීමට නියම කෙරිණි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියෙහි මෙම පැමිණිල්ල කැඳවන ලදී.

ඉකුත් 2016 ජනවාරි මස 25 දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේදී ශබ්ද නගා කතා කරමින් කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කර තිබේ නම් ඒ සම්බන්ධව විමර්ශනයක් සිදු කර ඥානසාර හිමියන්ට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව අභියාචනාධිකරණය විසින් මීට පෙර කරන ලද නියෝගයකට අනුව නීතිපතිවරයා විසින් කරුණු සලකා බලා චෝදනා 4කින් යුතු චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය.

පසුව වගඋත්තරකාර ඥානසාර හිමියන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ විරෝධතා සලකා බැලීමෙන් පසුව එම චෝදනා පත්‍රය සංශෝධනය කරන ලදී. ඉකුත් 2016 වසරේ ජනවාරි මස 25 දින හෝමාගම අධිකරණයේදී එහි පැවැති නීති කටයුත්තකට කිසිදු නීතිමය සම්බන්ධයක් නොමැතිව අවසරයකින් තොරව අධිකරණයේ ආධිපත්‍යයට, ගරුත්වයට අභියෝග කිරීමෙන්, අගෞරව කිරීමෙන්, අවමන් කිරීමෙන්, යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලයට අනර්ථකාරි ලෙස හැසිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කිරීම ඇතුළු චෝදනා 4ක් මෙහි සඳහන් වෙයි.

මෙම චෝදනා පත්‍රය සහ එය ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන් චුදිත වගඋත්තරකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මීට පෙර මූලික විරෝධතා ඉදිරිපත් කෙළේය.

එම විරෝධතාවලට එරෙහිව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා කරුණු ඉදිරිපත් කළේය.

එම මූලික විරෝධතා ඊයේ (28) මෙලෙස ප්‍රති‍ක්ෂේප කරන ලදී.

නෙල්කා මැදගෙදර- දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *