ජනපතිගේ ඊළඟ ඉලක්කය ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට අත් කර දීමයි – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක

රට ආර්ථික අතින් ස්ථාවර වුවත් ඉහළ ගිය භාණ්ඩ මිලට සාපේක්ෂව ජනතාවගේ ආදායම් වැඩි වී නැති බැවින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඊළඟ ඉලක්කය ආර්ථිකය වේගයෙන් වර්ධනය කර එහි ප්‍රතිලාභ ජනතාවට අත්කර දීම බව

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ එජාප මහනුවර මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (7) එක් වෙමිනි.

බිඳ වැටුණු රට භාර ගත් සෑම අවස්ථාවකම රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන වාසි පිළිබඳ නොසිතා රට වෙනුවෙන් තීන්දු තීරණ ගෙන ආර්ථිකය ගොඩනඟත්දී බොරු පොරොන්දු දී බලයට එන කණ්ඩායම් නැවත රට අගාධයට ඇද දැමූ බවත්, ඒ වරද නැවත වතාවක් සිදු කර රට යළි ආර්ථික අර්බුදයක් කරා  ගෙන යෑමට ජනතාව මෙවර සූදානම් නැති බවත් ඒ මහතා කීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ධූරය භාර ගත්තේ පක්ෂයක් ඇදගෙන යෑමට නොව බිඳ වැටී තිබූ රටක් ගොඩනැඟීමට බවත් බොහෝ අය හිතුවේ එතුමාට එය කරගැනීමට නොහැකි වේයැයි කියා බවත් පැවසූ ඒ මහතා මේ වනවිට රට ආර්ථික අතින් ස්ථාවර කිරීමට එතුමාට හැකිව ඇතැයි ද අවධාරණය කළේය. ශ්‍රී ලංකාව සම්පත් විශාල ප්‍රමාණයක් තිබෙන රටක් බවත් භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථායක් ලෙස අපේ රටේ පිහිටීම ලෝකයට ඉතා වැදගත් බවත් හෙතෙම පැවසුවේය. සංචාරක ක්ෂේත්‍රය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කිරීම ඔස්සේ පවතින අවස්ථා වැඩිකර ගැනීමට හැකි බවත් රත්නායක මහතා කීය.

පසුගිය කාලයේ විදේශීය ආයෝජකයන් නොව, දේශීය ආයෝජකයන් පවා මෙරට ආයෝජන නොකර වෙනත් රටවල තම ව්‍යපාර කටයුතු පවත්වාගෙන ගිය බවත්, අද වන විට ඔවුන් නැවත අපේ රට දෙසට හැරී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කථා කරමින් රනිල් වික්‍රමසිංහ මහතාට සෑම අවස්ථාවකම රට භාර ගැනීමට සිදු වූයේ රට ආර්ථික අතින් බංකොලොත් වී ප්‍රපාතයට වැටී තිබුණු අවස්ථාවල බවත්, ඒ නිසා සෑම අවස්ථාවකම රට ගොඩනඟන තෙක් පාක්ෂිකයන්ට කිසිවක් සිදු කිරීමට අවස්ථාව නොලැබුණු බවත් පැවසුවේය. වර්ෂ 1994 සිට විවිධ අඩන්තේට්ටම් වලට ලක්ව දේපොළ අහිමි වූ එජාප පාක්ෂිකයින්ට සිදු වූ අලාභ වෙනුවෙන් වන්දි ගෙවීමට දැන් පියවර ගෙන තිබෙන බවත් ලක්ෂ 10ට වඩා වැඩි අලාභ සිදුව ඇති කණ්ඩායමට අයත් 64 දෙනකුට මැයි 1 දාට පෙර වන්දි ලබාදෙන බවත් ඒ මහතා කීය. ඉන් අනතුරුව ඉතිරි කණ්ඩායමට වන්දි ගෙවීම සඳහා අදාළ කමිටු වාර්තා ලබා ගැනීමට පියවර ගෙන තිබෙන්නේ යැයි ද එජාප මහ ලේකම්වරයා පැවසුවේය. සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ හා සංවිධාන 80කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කරවීම සඳහා වන පුළුල් සන්ධානය වටා ගොනු වී සිටින බවත් රංගේ බණ්ඩාර මහතා කීය.

මේ අවස්ථාවට අමාත්‍ය මනූෂ නානායක්කාර, මධ්‍යම පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් වන ශාන්තිනි කෝන්ගහගේ, චානක අයිලප්පෙරුම, මහනුවර හිටපු පුරපති කේසර සේනානායක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අසේල කුරුළුවංශ

දිනමිණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *