සයිටම් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල:- ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

වෛද්‍ය විද්‍යාලයක් වශයෙන් පවත්වාගෙන යාමට සයිටම් ආයතනයට අනුමැතිය ලැබී නැත

2010 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ ආයෝජන මණ්ඩලය අතර හුවමාරු වී ඇති ලියුම් අනුව පෙනී යන්නේ, සයිටම් වනාහී ආයෝජන මණ්ඩල අනුමැතිය ලැබී ඇති පෞද්ගලික ව්‍යාපෘතියක් බවත්, කළමණාකරණය, හෙද සේවාව, භාෂා, වෘත්තීය අධ්‍යාපනය, සෞඛ්‍ය විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රවලට අදාළ පුහුණු වීම් පාඨමාලා කරගෙන යාමට මිස උපාධි පාඨමාලා පවත්වාගෙන යාමට ඊට අවසර ලැබී නැති බවයි. මුලින් ඉල්ලුම් කළ අයදුම්පතේ, වෛද්‍ය විද්‍යාලයක් පවත්වාගෙන යාම සඳහා අවසර ඉල්ලා නැති බව ආයෝජන මණ්ඩලය සනාථ කරයි. එසේම රුසියාවේ වෛද්‍ය විද්‍යාලය අනුබද්ධ බවක්ද එම අයදුම්පතේ සඳහන් කර නොමැත. එයින් පෙනී යන්නේ රුසියානු වෛද්‍ය පීඨය සමග අනුබද්ධව ඇත්තේ ඉන් පසුව බවයි.

හුවමාරු වී ඇති ලියුම් අනුව පෙනී යන තවත් කරුණක් තිබේ. එනම්, 2008 දී සයිටම් ආයතනයට ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත්තේ, එම විෂය ක්ෂේත්‍රයන්ට අදාළ රටේ පවතින වෙනත් කිසි බලධාරී ආයතනයක අදහස් විමසා බැලීමෙන් හෝ සයිටම් ආයතනය එවැනි බලධාරී ආයතන වෙතින් අවසරයක් ලබාගෙන ඇත්ද යන්න හෝ විමසා නොබලා ය. ඒ අනුව, ආයෝජන මණ්ඩලය සලකා ඇත්තේ එය තවත් එක් පෞද්ගලික ව්‍යාපෘතියක් වශයෙන් පමණි. තමන් විසින්ම වෙළඳ පොළවල් සොයාගත යුතු සහ තම සාර්ථකත්වය තමන්ගේ ක්‍රියාකාරීත්වයන් තුළින්ම සාක්ෂාත් කර ගත යුතු තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් පමණි.

සයිටම් සම්බන්ධයෙන් පාදෙනිය වාර්තාව නිර්දය ය

පාදෙනිය වාර්තාව සයිටම් ආයතනයට කිසි අනුකම්පාවක් දක්වා නැත. විවිධ පැතිවලින් මෙම ආයතනය ඒ මගින් විවේචනය කොට තිබේ. එයින් ඇතැම් විවේචන අදාළ ඒවා වන අතර තවත් බොහෝ විවේචනවල අදාළත්වයක් නැත.

අදාළ විවේචනය පදනම් වන්නේ, මෙම ආයතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වශයෙන් ආරම්භ කිරීමේදී දක්නට ලැබෙන අක්‍රමිකතාවන් මතයි. එය කළමණාකරනය පිළිබඳ පුහුණු වැඩ සටහන් කරගෙන යාමට අවසර ලත් ආයතනයක් මිස වෛද්‍ය විද්‍යාවට අදාළ විෂයයන් පවත්වාගෙන යාමට අවසර ලත් ආයතනයක් නොවේ. ඒ අනුව, එම ආයතනය වෛද්‍ය ක්ෂේත්‍රයට පිවිසීම, පාදෙනිය වාර්තාව පෙන්වා දෙන පරිදි, අක්‍රමිකතාවකි.

සයිටම් ආයතනය 2010 දී වෛද්‍ය විද්‍යාලයක් වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය අවසරය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ලබාගෙන නැත. රුසියානු විශ්ව විද්‍යාලයට අනුබද්ධ බවට කෙරෙන ප්‍රකාශයත් සැක සහිත ය. මන්ද යත්, ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අයදුම්පතේ එවැන්නක් සඳහන් නොවන බැවිනි. රුසියානු බලධාරීන් විසින් ඒ අනුබද්ධතාව සනාථ කළ බවට වෙනත් සාක්ෂියක්ද නැත. ඒ අනුව, පාදෙනිය වාර්තාවේ නිගමනය වන්නේ මේ ආයතනය මගින් ශිෂ්‍යයන්ව සේම දෙමාපියන්වද රවටා ඇති බවයි. එසේ ඔවුන්ව රවටනු ලැබීම, මූල්‍ය වංචාවක් බවට, පාදෙනිය වාර්තාව චෝදනා කරයි.

අදාළත්වයක් නැති වෙනත් විවේචන

කෙසේ වෙතත්, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව නගන වෙනත් බොහෝ විවේචනවල අදාළත්වයක් නැත. මේ ආයතනයෙන් පිට වන උපාධිධාරීන්ගේ ගුණාත්මක භාවය පහළ මට්ටමක ඇතැයි කරන උපකල්පනය මත පදනම්ව, ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන්ගේ කීර්තිය ඒ මගින් බාල්දු කෙරෙන බව කීම එවැනි එක් විවේචනයකි. උසස් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක භාවයෙන් යුත් වෘත්තීය ක්ෂේත්‍රයකට උපාධිධාරීන් අතලොස්සකගේ ගුණාත්මක භාවයේ හිඟයක් නිසා හානියක් සිදු වෙතැයි කීම අතිශයෝක්තියකි.

කාලයක් යන විට මෙවැනි උපාධිධාරීන් නිසා, ශ්‍රී ලංකාවේ උසස් මට්ටමේ සුවසේවාවන්හි ශ්‍රේණිය පහළ වැටෙතැයි කීම, එවැනි තවත් පදනමක් නැති විවේචනයකි. පාදෙනිය වාර්තාව කියන පරිදි, පසුගිය රජයේ මෙන්ම නව රජයේද අපේක්ෂාවක් වන දැනුම් කේන්ද්‍රයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ ව්‍යායාමයට, මෙවැනි උපාධිධාරීන්ගෙන් හානියක් විය හැකිය. ඇත්තෙන්ම, සයිටම් ආයතනය සාර්ථක කර ගැනුණොත් ඒ මගින් ශ්‍රී ලංකාවට දැනුම් කේන්ද්‍රයක් වීමේ අවස්ථාව සැලසෙනු ඇත.

එසේම ශ්‍රී ලංකාවේ වෛද්‍ය සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම්ට ගන්නා ප්‍රයත්නයටත් මේ මගින් මරු පහරක් වදිනු ඇතැයි පාදෙනිය වාර්තාව කියයි. එයද අතිශයෝක්තියකි. වෛද්‍ය සංචාරක ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය රැඳෙනු ඇත්තේ, පෞද්ගලික සුවසේවා පහසුකම් සේම රාජ්‍ය අංශයේ සේවාවන්ගේද ගුණාත්මක භාවය මත ය. එම කාරණය මේ ලියුම්කරු විසින් මීට පෙර ලිපියකින් පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවා සම්පාදකයන් තමන්ගේ සේවාවන් සඳහා ආදර්ශයට ගත යුත්තේ ප්‍රශස්ථ ජගත් මට්ටම් බව එහිදී කියා තිබේ. එය රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවා සම්පාදකයන්ටද වලංගු ය.

සයිටම් ආයතනයේ වෙනත් ක්‍රියාකාරකම්ද අවදානමේ ය

සයිටම් ආයතනයට එරෙහිව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් කොටසක්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ඇතැම් දේශපාලන පක්ෂ දක්වන විරෝධය පදනම් වන්නේ මුළුමණින්ම වෛද්‍ය අධ්‍යාපනය පදනම් කරගෙන ය. එහෙත් වෛද්‍ය අංශයට අමතරව මෙම ආයතනය, වෙනත් විදේශ විශ්ව විද්‍යාල දෙකකට අනුබද්ධිතව, කළමණාකරණ සහ ඉංජිනේරු උපාධි පාඨමාලා පවත්වයි.

එහි කළමණාකරන උපාධි පිරිනමනු ලබන්නේ එක්සත් රාජධානියේ, ‘බක්ස් නිව් යුනිවර්සිටි’ මගිනි. මේ විශ්ව විද්‍යාලයට 1891 දක්වා විහිදෙන දීර්ඝ ඉතිහාසයක් තිබේ. එකල එය ආරම්භ කෙරී ඇත්තේ ‘විද්‍යා සහ කලා විද්‍යාලයක්’ වශයෙනි. එහෙත් එය විශ්ව විද්‍යාලයක් බවට උසස් වී ඇත්තේ 2007 දී ය. මේ නිසා එම විශ්ව විද්‍යාලයේ කීර්තියත් තවම තහවුරු වී නොමැත. අලුත් විශ්ව විද්‍යාලයක් වන නිසා එය එක්සත් රාජධානියේ වෙනත් වර්තමාන විශ්ව විද්‍යාල අතරේ ඉහළ පිළිගැනීමකට ලක්වන්නේ නැත. ඇත්ත වශයෙන්ම එය ගැනෙන්නේ, එම රටේ අවසාන විශ්ව විද්‍යාල කිහිපයට ආසන්නයේ ය. ‘ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක විශ්ව විද්‍යාල’ සූචියට තවම එය ඇතුළත්ව නැත. එහෙත් ඉදිරියේ දී ඊට අයත් වීමට පිළිවන.

සයිටම් ආයතනයේ ඉංජිනේරු උපාධි පිරිනමනු ලබන්නේ තායිලන්තය පදනම් කර ගත් ‘ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි’ ආයතනය මගිනි. ඒ විෂය සම්බන්ධයෙන් ගත් විට එම ආයතනය කීර්තිමත් එකකි. අවුරුද්දකට සයිටම් ශිෂ්‍යයන් 200 ක් පමණ එම ආයතනයෙන් උපාධි ලබති. ඔවුන් සියල්ලන්ම පාහේ උපාධි ලද සැණින් බොහෝ තායිලන්ත සමාගම් හෝ තායිලන්තයේ ක්‍රියාත්මක වන වෙනත් ජාත්‍යන්තර සමාගම් මගින් සේවයට ගනිති. එයින් පෙනී යන්නේ එම උපාධිධාරීන්ගේ ගුණාත්මක භාවයේ ඉහළ මට්ටමයි. කෙසේ වෙතත්, මෙම ආයතනය 2017 සිට ප්‍රථම උපාධි පාඨමාලා නතර කරන බැවින්, ඒ වෙනුවට සිය ශිෂ්‍යයන් සඳහා වෙනත් පිළිගත් ආයතනයක් සොයා ගැනීමට සයිටම් ආයතනයට සිදුවනු ඇත. රටේ දැනට ක්‍රියාත්මක වන පුද්ගලික අංශයේ උසස් අධ්‍යාපනික ආයතනයක් වශයෙන් සයිටම් ආයතනයට මුහුණදීමට ඇති සැබෑ ගැටළු ඒවා ය.

එක් වැරදි ආරම්භයක් නිසා හොඳ අදහසක් ඉවතලිය යුතු නැත

රටේ පවතින ආර්ථිකයේ වර්තමාන තත්වය අනුවත්, ආණ්ඩුව මුහුණදෙමින් සිටින ෆිස්කල් අර්බුද පිළිබඳවත් සළකන කල, පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් ගොඩනැගෙන විශ්ව විද්‍යාල ලංකාවට අත්‍යාවශ්‍යම දෙයකි. එහෙත් ඒ ආයාසයේදී සයිටම් ආයතනය සපයා ඇත්තේ නරක ප්‍රාරම්භයකි. එය ගොඩනගා ඇත්තේ නිසි සැලසුමකින් තොරව, නිසි අධිකාරියකින් තොරව සහ ඉහළ ස්ථරයේ නිසි කළමනාකාරීත්වයකින් තොරව ය. අනුමැතිය ලබාගෙන ඇත්තේ ශිෂ්‍යයන්වත් ඇතුළත් කර ගැනීමෙන් පසුව වන අතර ඒ අනුමැතිය ද පරිපූර්ණ නැත.

ප්‍රාග්ධන සහ දෛනික වියපැහැදම් සඳහා ඊට අරමුදල් තිබේ. රටේ ඉහළම පෙළේ දේශපාලඥයෝ ඊට සහයෝගය දක්වති. එසේ වෙතත්, කීර්තිමත් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වශයෙන් රටේ ස්ථාපිත වීමට ඒවා නොසෑහේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දැන් අපකීර්තියට පත්ව ඇත්තේ පෞද්ගලික අංශයේ සමස්ත උසස් අධ්‍යාපන පද්ධතියයි. දැන් මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට අදහස් කරගෙන සිටින පෞද්ගලික අංශයේ වෙනත් ව්‍යාපෘතිවලට මේ කළු පැල්ලම බලපානු ඇත.

රජයට පවරා ගැනීම විසඳුම නොවේ

සයිටම් විද්‍යාලය රජයට පවරා ගත යුතු යැයි ඇතැම්හු කියති. එය ප්‍රශ්නය තවත් ව්‍යාකූල කරනු ඇත. දැනටත් භාණ්ඩාගාරය දුෂ්කර තත්වයකට මුහුණදී සිටින තත්වය තුළ එය කළ නොහේ. ඒ වෙනුවට බලධාරීන් කළ යුතුව ඇත්තේ, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහ දැන් සටන් වැද සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහභාගීත්වයෙන් යුතුව, සයිටම් ආයතනයේ ප්‍රමිතිය නංවාලීම සඳහා බල කිරීමයි. දැන් පවතින තත්වයේ හැටියට, මේ ආයතනයේ වෛද්‍ය අධ්‍යාපනය හදාරන සිසුන්ගේ ඉරණම පවතින්නේ අවදානමේ ය. එහි වර්තමාන ශිෂ්‍යයන් කරන පරිදි නඩු මාර්ගයට පිවිසීම විසඳුමක් නොවේ. මන්ද යත්, සයිටම් සිසුන්ට වෛද්‍ය වෘත්තියේ යෙදිය හැකි පරිදි ලියාපදිංචි කරන ලෙස මෑතකදී අභියාචනාධිකරණය දෙන ලද තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැන් තීරණය කොට ඇති බවට වාර්තා වන බැවිනි.

මේ ශිෂ්‍යයන්ව පිළිගනු ලැබීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දැනට බලයක් නැත. එහෙත් මීට බොහෝ කලකට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමත කිරීම හරහා එම බලය වෛද්‍ය සභාවට පැවරීමට පුලුවන් කම තිබේ. මේ වෛද්‍ය අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන්ගේ අභිවෘද්ධිය තකා මේ ප්‍රශ්නයට ඉක්මණින් විසඳුමක් ලබා දීම වැදගත් ය. මේ ශිෂ්‍යයන්ට ඔවුන්ගේ බලාපොරොත්තුවත් මුදලත් යන දෙකම අහිමි වීම ජාතික ඛේදවාචකයක් වනු ඇත.

එක් නරක ආදර්ශයක් ඇති පමණින්, ලංකාවේ පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ව්‍යාපෘතිය ඉවතලිය යුතු බවක් අදහස් විය යුතු නැත. එසේ කිරීමට මත්තෙන්, රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය යන දෙකේම විශ්ව විද්‍යාලවල ගුණාත්මක භාවය සහ ප්‍රමිතිය සහතික කරන ස්වාධීන ආයතන ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය කෙරේ. ඒ අනුව, මේ වනාහී, එළැඹි සිහිය අවශ්‍ය කරන, ඉවසීම සහ අවබෝධය සියල්ලන් විසින් අත්කර ගත යුතු, මොහොතකි. විශේෂයෙන්, වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි අංශවලට එය අදාළ ය.

2017 පෙබරවාරි 20 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ
සයිටම් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල:
එක් වැරදි ආරම්භයක් නිසා හොඳ අදහසක් ඉවතලිය යුතු නැත
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *