රවිරාජ් ඝාතන නඩුව යළි විභාගයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව යළි විභාග කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණය විසින්  අවසර ලබාදී තිබේ.

ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශෂිකලා රවිරාජ් මහත්මිය විසින් ගොනු කළ පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය මෙම තීරණය ලබා දී ඇත.

රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරිපිට විභාග කොට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරලීමට මීට පෙරාතුව අධිකරණය විසින් තීන්දු කරන ලදී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබියදී එලෙස විශේෂ ජූරි සභාවක් හමුවේ නඩු විභාගය පැවැත්වීම නීත්‍යනුකූල නොවන බව පෙත්සම්කාරිය සිය පෙත්සම මගින් පෙන්වාදී තිබිණි.

එබැවින් අදාළ නඩු තීන්දුව අවලංගු කොට එම නඩුව නැවත විභාගයට ගැනීමට අදාළව නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.

අදාළ පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණයේ ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අදාළ පෙත්සම සලකා බැලීම මාර්තු මස 28 දින සිදුකරන බවත් එදිනට කරුණු දක්වන ලෙස නීතිපතිවරයාට හා මෙම නඩුවෙන් මීට පෙරාතුව නිදහස ලැබූ විත්තිකරුවන් පස් දෙනාට නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා බවත් අභියාචනාධිකරණයබ දැනුම් දී තිබේ.

lankatruth

Leave a Reply

Your email address will not be published. Required fields are marked *