ටොස් එකත් දිනුම් මැච් එකත් දිනුම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වයට පත්වූ තැන් පටන් ජාතික නිදහස් පෙරමුණ මෙම සන්ධානයේ කටයුතු කළේ නැහැ. එමෙන්ම මහින්ද රාජපක්ෂ කණ්ඩායමට එක්ව සිටින වාසුදේව නානායක්කාර,  උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන ආදීන්ද මෙම පෙරමුණේ ක්‍රියාත්මක වුණේ නැහැ.

* සාමසර කන්දේ වැසියන් වෙනුවෙන් යූ.එන්.පියේ කබීර් හෂීම් ඇමතිතුමාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිතුමාත් එකමුතුව කැප වුණු විදිය අගමැතිවරයාගේ පැසසුමට ලක් වුණා.
* ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවේදී ස්වාධීන වන බව ප්‍රකාශ කිරීමෙන් පසුව එය දැන් ගැටුමක් බවට පත්ව තිබෙනවා.
* සජිත් කීවේ “අපි කරන වැඩ බෝඩ් ලෑලි කඩල බිඳලා මකන්න බෑ. ඒව මිනිස්සුන්ගෙ හදවත්වල පතුලෙම තැන්පත් වෙලා තියෙනවා. ඔය වගේ බොළඳ වැඩවලට සැලෙන්න එපා” කියායි.

මහ ඇමති ෂාන්ගේ ආරාධනාවකට අනුව පසුගිය සිකුරාදා සවස්වරුවේ ජනපති මෛත්‍රී වැලිගම නගර ශාලාවට පැමිණියා. ඒ දකුණු පළාතේ රාජ්‍ය නිලධාරීන් සඳහා වූ වැඩසටහනකට සහභාගිවීමටයි. එදින උදයවරුවේ කොළඹ පැවැති තොරතුරු දැනගැනීමේ පනත එළිදැක්වීමේ උත්සව අවස්ථාවට සහභාගිවීම හේතුවෙන් මදක් ප්‍රමාද වී පැමිණි ජනපතිතුමන් රැගත් හෙලිකොප්ටරය වැලිගම සේනානායක ක්‍රීඩාංගණයට ගොඩබස්වන ලද අවස්ථාවේ ජනපතිතුමන් පිළිගැනීම සඳහා මහ ඇමති ෂාන් හා වැලිගම ශ්‍රී ල.නි.ප. ප්‍රධාන සංවිධායක හේමාල් ගුණසේකර ක්‍රීඩාංගණ‍ය වෙත පැමිණ සිටි අතර විශාල ජනතාවක්ද ජනාධිපතිවරයා බැහැ දැකීමට පැමිණ සිටියා.

ඉන් අනතුරුව මහ ඇමති ෂාන්වත් තම රථයට නංවාගත් මෛත්‍රී කෙලින්ම ගියේ රාජ්‍ය නිලධාරින් සඳහා වූ උත්සවය පැවැත්වෙන වැලිගම නගර ශාලා භූමියටයි. ඒ වනවිට එතුමන් පිළිගැනීම සඳහා ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, පළාත් සභාවේ ඇමැතිවරුන් වන ආරියතිලක, රාසපුත්‍ර, වීරසුමන හා ගුණසේනත් විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ, අශෝක ධනවංශ ඇතුළු දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත්, මන්ත්‍රීවරු කිහිප පොළක්ම පැමිණ සිටියා.

දහසකට ආසන්න රාජ්‍ය නිලධාරින් පිරිසක් පැමිණ සිටි මෙම වැඩසටහන සමස්ත දිවයිනේම ප්‍රථමවරට පවත්වන වැඩසටහනක් වුණා. වැඩසටහනේ කැඳවුම්කරු මහ ඇමැති ෂාන්ගේ අදහස වූයේ රාජ්‍ය නිලධාරින් වර්තමානයේ මාධ්‍ය තුළින් දකින, අසන සහ කියවන දේ අනුව වැඩකිරීමට ඇති චකිතය දුරු කරමින් අභියෝග ජය ගනිමින් දකුණු පළාත සංවර්ධන ඉලක්කයන් කරා රැගෙන යෑම සඳහා රාජ්‍ය නිලධාරින් හුරුකිරීමට මෙම වැඩසටහන සංවිධානය කර ඇති බවයි. ජනපති මෛත්‍රීගේ අදහස වූයේ ද රාජ්‍ය නිලධාරින් නිරන්තරයෙන්ම වෙනස් විය යුතු බවත්, තමාගේ අම්මා තාත්තාත් රාජ්‍ය සේවකයන් වූ බවත් මේ තනතුරට එන්නට ප්‍රථම තමන්ද රාජ්‍ය සේවයේ රැකියා තුනක් කර ඇති බවත් ඒ රැකියා තුනෙන්ම තමා ඉල්ලා අස් වූ බවත් එසේ සිදු කරේ නිරන්තරයෙන් වෙනස්වීමට තිබූ කැමැත්ත නිසා බවත් ය.

අද රටේ සිදුවන යහපත් දේ හොඳ දේ මාධ්‍ය නොදකින බවත්,තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමේ පරමාර්ථයෙන් පුවත්පත් ආයතනත්, විද්‍යුත් මාධ්‍ය ආයතනත් කටයුතු කරන අතර එය එතරම් හොඳ ලක්ෂණයක් සේ තමන් නොදකින බව වැඩිදුරටත් පැවසූ ජනපති මෛත්‍රී ඉතා පුළුල් අදහසක් වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහන රටේ අනිකුත් පළාත්වලත් සිදු කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසුවා.

මැදි ආදායම් රටක් කරා ගමන් කිරීමේදී රාජ්‍ය නිලධාරින්ගේ දායකත්වය හා ඔවුන් මුහුණදෙන අභියෝග යන මාතෘකාව යටතේ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා රාජ්‍ය නිලධාරින් සඳහා පවත්වන ලද දේශනයෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු අවසන් වූ අතර ඉන් අනතුරුව ජනපති මෛත්‍රී ඇතුළු පිරිස තේ පැන් සංග්‍රහය පැවැත් වූ ස්ථානයට කැඳවාගෙන යනු ලැබුවා. තේ පැන් සංග්‍රහයෙන් පසුව මෛත්‍රී ජනාධිපතිවරයා සැමට සමුදී යළි කොළඹ බලා යන්නට වූයේ එදිනම සවස්වරුවේ මීගමුව “හෙරිටන්” හෝටලයේ පැවැත්වෙන ශ්‍රී.ල.නි.පක්ෂයේ විශේෂිත වැඩමුළුවකට සහභාගිවීම සඳහායි.

මේ සඳහා මීගමුව හෙරිටන් හෝටලයට යාමට ප්‍රථම සියලුම දෙනාට කොළඹ ජනපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස ආරාධනා ලැබ තිබුණ අතර එතැනට පැමිණි සියලු දෙනාට වෙනම වාහනයක් මේ සඳහා සූදානම්කොට තිබීම කාගේත් අවධානයට ලක්වුණා. පසුව දැනගන්නට ලැබුණේ සියලු තොරතුරු රහසිගතව පවත්වාගැනීමේ අරමුණින් මෙම කාර්යය සංවිධානය කර තිබූ බවයි. ජනපති මෛත්‍රී මෙන්ම හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත්, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල, අනුර ප්‍රියදර්ශන, මහින්ද සමරසිංහ, ෆයිසර් මුස්තාපා, ඩිලාන්, ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසට අමතරව සබරගමුව මහ ඇමැතිවරයා හැර ශ්‍රී.ල.නි.ප. මහ ඇමැතිවරු ද මේ සඳහා පැමිණ සිටියා. ඒ වගේම මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ යන අයත් විශේෂ දේශන සඳහා පැමිණ සිටියා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ නිල සංචාර‍ය නිම වී යළි පැමිණියේ පසුගිය සිකුරාදා රාත්‍රියේ. පසුදා සිටම යළි රාජකාරි කටයුතු ආරම්භ කළ අගමැතිවරයා එදින හවස හෙම්මාතගම පානීය ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වුණා. එම අවස්ථාවෙන් පසු හෙම්මාතගම නගරයේ ජන රැළියක් පැවැත්වුණු අතර එය සංවිධානය කර තිබුණේ අමාත්‍ය කබීර් හෂීම් මහතායි. කලකට පසු කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වුණු දේශපාලන රැස්වීමට එක්සත් ජාතික පාක්ෂිකයින් සහභාගි වුණේ ඉතාමත් උද්යෝගයෙන්. සිය නායකයා එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි ඔවුන්ගේ උද්දාමය වැඩි කළේ මුලින්ම කතා කළ නලීන් බණ්ඩාර මන්ත්‍රිවරයායි.

කලකට පසු අපේ ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණය කළේ අගමැති වික්‍රමසිංහ මහතා තරගය නැරඹීමට ගිය නිසා යැයි මන්ත්‍රිවරයා පැවසුවා. එදා තරගයේ ටොස් එක දිනුවේත් අගමැතිවරයා බව කී මන්ත්‍රිවරයා රනිල් අගමැති යන යන තැන දිනන බවත් කිව්වා. අගමැතිතුමා රට යනකොට මෙච්චර කෑගහන අපි එක්ක යන්නේ නැහැනේ කියා නලීන් මන්ත්‍රිතුමා මැසිවිල්ලකුත් නැඟුවා.

එදා වේදිකාවේ ආනන්ද අලුත්ගම‍ගේ මන්ත්‍රිවරයා ගීතයක් ගායනා කළා.“ රාජමාලිගේ පරවියා වගේ ජීවිතේ මගේ මා ගෙවනවා ඔහේ” අලුත්ගමගේ ගේ ගීතයෙන් පසු රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා “රන් සමනල ජෝඩුව වාගේ අපි දෙන්නා මේ මල් පාරේ” තාලය ඇල්ලුවා. රැස්වීමට පැමිණ සිටි සමහරුන් නැටුවේ ගෑනු පිරිමි භේදයකින් තොරවයි. එදා රෑ හෙම්මාතගමට දොරේ ගලන්න වැස්සා. අගමැතිතුමා ආව හින්දා සති ගාණකට පසු වැස්සා කියා හෙම්මාතගම වැසියෝ කිව්වා.

අරණායක සාමසර කන්දේ නාය යාමෙන් නිවාස අහිමි වුවන්ට ඉඳි කළ නව නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට පසුවදා උදේ අගමැති වික්‍රමසිංහ මහතා සහභාගි වුණා. එහිදි වේදිකාවේ කැපී පෙණුන සිද්ධිය වුණේ ජාතික ආණ්ඩු‍වේ දෙපාර්ශ්වයේ එකමුතුවයි. සාමසර කන්දේ වැසියන් වෙනුවෙන් යූ.එන්.පියේ කබීර් හෂීම් ඇමතිතුමාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිතුමාත් එකමුතුව කැප වුණු විදිය ගැන අගමැතිවරයාගේ පැසසුමට ලක් වුණා. ශ්‍රිලනිපයේ සමහර මැති ඇමතිවරුන් රටේ සංවර්ධනය අමතක කර ශ්‍රි ලංකා ආණ්ඩුවක් පිහිටුවන එක ගැන කතා කරමින් සිටින බව එතැන සිටි සමහරු ඒ අවස්ථාවේදී කතා වුණා.

පසුගිය 21 දා අරලිය ගහ මන්දිරයේදි පැවැත්වුණු එජාප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදි බස්නාහිර මහා ඇමති ඉසුර දේවප්‍රිය මහතා ගැන මන්ත්‍රිවරු අගමැතිවරයාට පැමිණිලි කළේ ඔහු ජාතික රජයේ සහයෝගය බිඳ වැටෙන අයුරින් දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කරන බවට. මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තමා පැමිණිලි කළ බව කී මුජිබර් රහුමන් මන්ත්‍රිවරයා ඉන් පසුවද මහ ඇමතිවරයාගේ ක්‍රියා කලාපය යහපත් අතට හැරි නැතැයිද පැවසුවා. බස්නාහිර මහ ඇමතිවරයා චෝදනා කරන පරිදි තමන් පළාත් සභාවේ කිසිදු බලතලයක් පවරා ගෙන නැතැයිද තමන් කටයුතු කරන්නේ නාගරික සංවර්ධන අධිකාරියට පැවරි ඇති බලතලවලට යටත්ව බවද බස්නාහිර මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා මෙහිදි පැහැදිලි කළා.

මානව හිතවාදී දේශපාලඥයකු සහ නළුවකු වු විජය කුමාරතුංගයන්ගේ 29 වැනි සමරුව වෙනුවෙන් කොළම බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවැත්වුණු ගුණ සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුයේ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතායි. එහි පැමිණි අගමැතිවරයා විජයගේ දයාබර බිරිය හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් පිළි ගැනුණා. විජය කුමාරතුංගයන් ඝාතනය වීමට පෙර ඔහුගේ ප්‍රතිවිරුද්ධ දේශපාලන ව්‍යාපාරයේ සිටි තමා විජය දකින්නේ කෙසේද යන්න රනිල් වික්‍රමසිංහ මහතා සභාව අමතමින් පැහැදිලි කළා. එහිදි වික්‍රමසිංහ මහතා සිය කථාවෙන් විස්තර කළේ විජය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ බවත් ඔහු එදා ප්‍රාර්ථනා කළ ජාති ආගම් භේදයකින් තොරව සියලුම ශ්‍රි ලාංකිකයින් එක්ව ජීවත් වන රටක් බිහි කිරීමේ අරමුණ වෙනුවෙන් වර්තමාන රජයද කැප වී සිටින බවයි. එදා ප්‍රතිවිරුද්ධ දේශපාලන ප්‍රවාහ දෙකක සිටි දෙදෙනෙකුගේ අරමුණු එක් වීම ර‍ටේ යහපතට හේතු වනු ඇතැයි එතැන සිටි අය කතා වුණා.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පැවරුණු 19 වැනි උදා ගම්මානය වන “ජයවිජයගම” පිහිටා ඇත්තේ ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ විල්ගමුවට නුදුරු ප්‍රදේශයකයි. මෙම අවස්ථාවට විශේෂ ඇරයුම් ලැබ සහභාගී වූයේ විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ මහත්මියයි. රංජිත් අලුවිහාරේ මන්ත්‍රීවරයා දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගී වුණා. සජිත්ගේ සමීප හිතවතෙකු වූ මියගිය සංජීව කවිරත්න මන්ත්‍රීවරයාගේ බිරිඳ වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මේ ගම්මානය පිහිටුවීම පසුපස විශාල වැඩ කොටසක් ඉටු කළා. සජිත් කීවේ රෝහිණී දක්වන විශාල උනන්දුව නිසාම ඉදිරියේදී තවත් ගම්මාන කීපයක්ම තැනීමට ඇයට උපකාර කරන බවයි.

මේ අතර මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස විසින් සජිත් වෙත කැඳවාගෙන ආවේ උපතින්ම දෑස් නොමැති කුඩා දැරියක් සමඟ පැමිණ සිටි මවකි. ඉතා අඩු ආදායම්ලාභී පවුලක ඒ සිඟිත්තිය වහාම අගනුවර අක්ෂි වෛද්‍යවරයෙකු වෙත යොමු කළ සජිත් ඊළඟට නිවාස අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නේ විල්ගමුව, බුලත්අත්තාඔය, හෙට්ටිපොල පිහිටි මෙම අසරණ පවුලට අයත් දැනට වැඩ නිමකර ගත නොහැකිව ඇති නිවසේ වැඩ සම්පූර්ණයෙන්ම නිමකර දෙන ලෙසයි. උත්සවය ඉතා අලංකාර ලෙස සංවිධානය කර තිබුණත් ඊට දින දෙකකට පසු සජිත් ඇමතූ රෝහිණී කවිරත්න කීවේ “ගම්මානය විවෘත කරන කොට ගහපු අර ලස්සන පුවරුව කවුදෝ කඩා දාලා” කියායි. සජිත් කීවේ “අපි කරන වැඩ බෝඩ් ලෑලි කඩල බිඳලා මකන්න බෑ. ඒව මිනිස්සුන්ගෙ හදවත්වල පතුලෙම තැන්පත් වෙලා තියෙනවා. ඔය වගේ බොළඳ වැඩවලට සැලෙන්න එපා” කියායි.

පසුගියදා දකුණු අප්‍රිකාවේ පැවති ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව හා සිම්බාබ්වේ රටවල් අතර අවුරුදු 19 න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී අවසන් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙස කිරුළු පළන් අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ ශිෂ්‍ය ඩබ්ලියු. ඒ.නිපුන් රන්ෂික 17 හැවිරිදි යෞවනයාට ඔහුගේ පුහුණුවීම් කටයුතු පහසු කර ගැනීම සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් අගනුවරට නුදුරු මහල් නිවාස සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 45ක් වටිනා නිවසක් ලබා දීම සජිත් අතින් සිදුවූයේ අඟහරුවාදාය. මෙහිදී ඇන්ඩි රොබට්ස්, මිචෙල් ජොන්සන්, මයිකල් හෝල්ඩින්, ඩේල් ස්ටේන්, ජෙෆ්රි තොම්සන් වැනි ලෝකයේ ප්‍රකට වේග පන්දු යවන්නන් රැසකගේම නම් සිහිපත් කළ සජිත් කීවේ “මමත් ක්‍රිකට් ගහපු ක්‍රීඩකයෙක්. නිපුන් රන්ෂික සොහොයුරාත් ලෝකයේ අති සාර්ථක ක්‍රීඩකයෙක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය උපකාර ලබා දෙමින් ඔහු ශක්තිමත් කරනවා” කියාය. නිපුන් රන්ෂික ශිෂ්‍යයා දැනට පදිංචි වී සිටින නිවස එහි හිමිකරුවන්ගෙන් මුදල් ගෙවා නිදහස් කර ගැනීම සඳහා පී.ද එස්. කුලරත්න විද්‍යාලයේ විදුහල්පති ජගත් සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරමුදලක් පිහිටුවා තිබෙනවා. නිවසේ ඉතිරි මුදල ගෙවා අවසන් වීමෙන් පසුව රුපියල් ලක්ෂ 5ක වියදමින් එය අංග සම්පූර්ණ නිවසක් බවට පත් කරන ලෙසද සජිත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නා.

පළාත් සභාවල නිවාස විෂය භාර ඇමැතිවරුන් සජිත් සිය අමාත්‍යාංශයේ විශේෂ රැස්වීමකට කැඳවා තිබුණේත් අඟහරුවාදාමයි. උතුර සහ නැගෙනහිර දෙපළාතේ ඇමැතිවරුන් දෙදෙනා හැර සෙසු පළාත් 6ටම අයත් නිවාස විෂය භාර අමාත්‍යවරුන් මෙම රැස්වීමට පැමිණ සිටියා. මෙරට නිවාස ගැටලු විසඳීම සඳහාත්, තිරසාර නිවාස සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කිරීම සඳහාත් මධ්‍යම රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ සජිත් ඒ සඳහා ඔවුන් සියලු දෙනාගේම සහයෝගය ඉල්ලා සිටියා. මේ හමුව පළාත් ඇමැතිවරුන් සියලු දෙනාගේම ප්‍රසාදයට හේතු වී තිබුණු අතර මහීපාල හේරත් සබරගමුව පළාත් මහ ඇමැතිවරයා කීවේ “මේ වගේ දෙයක් කිසි දවසක මේ රටේ සිදුවෙලා නෑ” කියායි. ඉදිරියේදී නැවත හමුවී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට සජිත් සහ ඇමැතිවරු එකඟ වුණා.

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා භාවිතයට කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලට භාවිතයෙන් තොරව කුලී ගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අමාත්‍යංශ අනුකාරක සභා රැස්වීමේ දී සාකච්ඡාවට බඳුන් වුණා. කෘෂිකර්ම ඉඩම් අමාත්‍යංශ කාරක සභාවේ සභාපති විජිත හේරත් විසින් කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් පසුගිය 21වෙනිදා පාර්ලිමේන්තුවට කැඳවා තිබුණා. ”මේ ගොඩනැගිල්ලේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේක හදලා තියෙන්නේ සාප්පු සංකීර්ණයක් දාන්න. අමාත්‍යංශ කාර්යාලයක් සඳහා භාවිත කරන්න සම්පූර්ණයෙන් වෙනස් කරන්න වෙනවා. ඒක මිලියන ගානක ටෙන්ඩර් එකක් දාන්න වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ගොඩනැගිල්ලට හරියන පාර්කින් එකක් හරියට නැහැ. එහෙම වුණොත් අමාත්‍යංශයට එන වාහන නවත්වන්න තැනක් නැහැ. අමාත්‍යංශ නිලධාරීන්ටත් වැඩ කරන්න වෙන්නේ සේවාමුර ක්‍රමයට. වසර 5කට අරගෙන දැන් වසරක් නිකන්ම ගතවෙලා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා.” අමාත්‍යංශ නිලධාරීන් කියා සිටියා.

හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකයින්ගේ උදව්වෙන් පස්කැපීමේ ජාවාරමක් ගැන පසුගියදා රූපවාහනී නාලිකාවක් විසින් හෙළිදරව් කළා. මේ සම්බන්ධයෙන්ද කෘෂිකර්ම ඉඩම් අමාත්‍යංශ කාරක සභාව මගින් පරීක්ෂණයක් පැවැත්වුණා. මේ සඳහා පරිසර අධිකාරියේ සභාපතිවරයා, භූවිද්‍යා පතල් කාර්යාංශයේ සභාපතිවරයා, මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් කැඳවා තිබුණා. අවසර පත්‍රයට ලබා දී තිබෙන පස් කියුබ් ප්‍රමාණයට වඩා වැඩියෙන් පස් කියුබ් ලක්ෂ එකහමාරකට වැඩි ප්‍රමාණයක් කපලා. ඒකෙන් ආණ්ඩුවට විශාල පාඩුවක්. භූවිද්‍යා එකට ගෙවන්නේ පස් කියුබ් එකකට රුපියල් 20යි. අනෙක් පැත්තෙන් පරිසරයට විශාල හානියක්” නිලධාරීහු පෙන්වා දුන්නා. ”හැම තැනම මේ වැඩේ වෙනවා. මේවට ප්‍රාදේශීය දේශපාලකයින් සම්බන්ධයි. දේශපාලකයින්ට අතයට ගාණක් දීලා මේ වැඬේ කරගෙන යනවා. ඒ නිසා මේවා වහාම නතර කරන්න ඕනෑ. සූරියවැව පස් කැපිල්ල වහාම නතර කරන්න නියෝග කරන්න. ඒ වගේම මාර්තු 10වනවිට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්න.” කමිටු සභාපති විජිත හේරත් නිලධාරීන්ට කියා සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කරන ලද දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහන් මේ වනවිට දිස්ත්‍රික් දෙකක දී සම්පූර්ණ කර තිබෙනවා. අනුරාධපුර, මාතර යන දිස්ත්‍රික්කවල දී මෙම වැඩසටහන් ජවිපෙ නායකයින්ගේ සහභාගිත්වයෙන් දියත් වුණා. මෙම වැඩසටහනේ දී ජනහමු, විද්වත් හමු, ව්‍යාපාරික හමු, ආසන බලමණ්ඩල පිහිටුවීම, ත්‍රීවිල් රථ සංගම්, පාසල් වෑන් රථ සංගම් හමුවීම් ඇතුළු විවිධ අංග සංවිධානය කෙරෙනවා.

මීළඟ දිස්ත්‍රික් මෙහෙයුම කුරුණෑගල දී ලබන 24 සිට 27වෙනිදා දක්වා පක්ෂ නායක අනුර දිසානායක, ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ යන අයගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට ජවිපෙ කටයුතු කර තිබෙනවා

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තම පක්සය ඉවත්වන බව ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා. රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින ඒ මහතා පාර්ලිමේන්තුවට පැමිණ මේ බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ පසුගිය වසර දෙකක පමණ කාලයේදී ජාතික නිදහස් පෙරමුණ එක්ව කටයුතු කළේ නැහැ. එජනිසයේ ප්‍රධාන පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ශ්‍රීලනිපයේ නායකයා නිල බලයෙන්ම එජනිස නායකයාද වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වයට පත්වූ තැන් පටන් ජාතික නිදහස් පෙරමුණ මෙම සන්ධානයේ කටයුතු කළේ නැහැ. එමෙන්ම මහින්ද රාජපක්ෂ කණ්ඩායමට එක්ව සිටින වාසුදේව නානායක්කාර,  උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන ආදීන්ද මෙම පෙරමුණේ ක්‍රියාත්මක වුණේ නැහැ. මෙම ඇතැම් පක්ෂ එජනිස සමග එකට පෙනී සිටියද එයට නිල වශයෙන් සම්බන්ධ වී සිටියේද නැහැ.

ඒකාබද්ධ විපක්ෂය මේ දිනවල ලහි ලහියේ කටයුතු කරමින් සිටින්නේ විසිපස් වැනිදා හබරාදූවේ පවත්වන රැලිය සාර්ථක කරගැනීම සඳහායි. හබරාදූව ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටුවක් ලෙස සැලකෙනවා. එබැවින් එහි පැවැත්වෙන රැස්වීම සාර්ථක කර ගැනීමට විපක්ෂය වෙහෙසෙනවා. ඒ සඳහා විශාල පිරිසක් සංවිධානාත්මකව ගෙන්වා ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා.

ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවේදී ස්වාධීන වන බව ප්‍රකාශ කිරීමෙන් පසුව එය දැන් ගැටුමක් බවට පත්ව තිබෙනවා. ස්වාධීන වීමට නම් පක්ෂයෙන් ඉවත්වීම සමඟ පක්ෂයට හිමි මන්ත්‍රී ධුරයෙන් ද ඉවත්විය යුතු යැයි පක්ෂය වෙනුවෙන් ප්‍රකාශවීම මේ තත්ත්වයට හේතුවයි. ඕමල්පේ සෝභිත හිමියන් මෙන්ම පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ද මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අතුරලියේ රතන හිමියන් ස්වාධීනත්වය ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ වෙනම සිටිමින් පක්ෂයෙන් වෙනස්ව දේශපාලන ගමනක් යාමේ අදහසින් මිස මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමේ අදහසකින් නොවේ. එසේ වුවද පක්ෂය දැන් තීරණය කොට ඇත්තේ රතන හිමියන්ට එරෙහිව විනය පරීක්ෂණයක් කොට පක්ෂයෙන් ඉවත්කොට මන්ත්‍රී ධුරය නැවත ලබාගැනීමටයි.

අතුරලියේ රතන හිමියන් මන්ත්‍රී ධුරය දරන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින්. එසේ වුවත් එම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා ජාතික හෙළ උරුමය එක පෙරමුණක තරග කළේ දෙපාර්ශ්වය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුවයි. එම ගිවිසුම අනුව තමන්ට හිමි වූ මන්ත්‍රී ධුරයට රතන හිමියන් පත්කරනු ලැබුවා. ජාතික හෙළ උරුමය දැන් උත්සාහ දරන්නේ තම පක්ෂයට හිමි මන්ත්‍රී ධුරය ආපසු ලබාගැනීමටයි. රතන හිමියන් ස්වාධීන වනවා නම් පක්ෂයට හිමි මන්ත්‍රී ධුරයේ රැඳී සිටීමට බැරි බවයි ජාතික හෙළ උරුමයේ ස්ථාවරය වී ඇත්තේ.

මේ තත්ත්වය මත කළ යුතු දෑ පිළිබඳව රතන හිමියන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා වෙන වෙනම හමුවී සාකච්ඡා කළා. පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටීමට ඉඩ සලසා දෙන ලෙස රතන හිමියන් ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය මන්ත්‍රී ධුරය ආපසු ලබාගැනීමේ දැඩි ස්ථාවරයක සිටිනවා. පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අනුරුද්ධ ප්‍රදීප් මහතා මාධ්‍ය සාකච්ඡාවක් ද පවත්වමින් ඒ බව ප්‍රකාශ කළා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *