බලය කාට ද?

 

පළාත් සභා බලතල වලින් සමහරක් නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝණය වීමක් සිදුවේද? නැතහොත්, ඇත්තෙන්ම පළාත් සභාක්‍රමයේ කාර්යක්ෂමතාව සහ නිපුණත්වය තවදුරටත් වර්ධනය කිරීමකට එය පිටිවහලක් වේද?

පෙබරවාරි 1 වැනි දා සිට, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ බලයත්, කර්මාන්ත සහ ඉන්ධනහල් සඳහා අවශ්‍ය අවසරය සැපයීමේ බලයත්, ජාතික වැදගත් කමකින් යුත් ගොඩනැගිලි ඉදිකිරීමේ බලයත්, නාගරික සංවර්ධන අධිකාරියට පවරා තිබේ. මේ කර්තව්‍යයන් කලින් අභ්‍යාස කෙළේ පළාත්සභා සහ පළාත් පාලන ආයතන විසිනි. මීට ප්‍රතිචාරයක් වශයෙන්, දැනට පළාත්සභා මගින් ඉටුකරනු ලබන ප්‍රවාහණ සේවා සහ කසළ එක් රැස්කිරීම වැනි සේවාවන් මෙකී ව්‍යාපෘතීන්ට සැපයීමෙන් වැළකී සිටින බවට, බස්නාහිර, සබරගමුවසහමධ්‍යම පළාත්වල මහඇමතිවරුන් තර්ජනය කොට තිබේ. ඔවුන්ගේ තර්කය වන්නේ, තමන්ගේ බලතල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම වනාහී දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝණය කිරීමකට සමාන වනබවයි.

පසුගිය රජය මගින් කෙලින්ම ආරක්ෂක අමාත්‍යාංශය යටතට නාගරික සංවර්ධන අධිකාරිය ගනිමින් එය බලගතු ආයතනයක් බවට පත්කිරීම ගැන බොහෝදෙනා එදා ප්‍රශංසාව පළ කළහ. මන්දයත්, ඒ අනුව මහජන සේවාවන් පවත්වාගෙන යාමටත්, ඒවාඋසස් මට්ටමකට ගෙන ඒමටත්, ත්‍රිවිධ හමුදාවත් සහායකරගෙන ඊටහැකි වූබැවිනි. අලුත් උද්‍යාන සහ විනෝද කලාප ඇතිකිරීම සහ කොළඹ පැවති පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමෙන් නගරයට සහ තදාසන්න පෙදෙස්වලට අලුත් මුහුණුවරක් ගෙනදීමට ඒ මගින් හැකිවිය. එසේම නගර වැසියන්ගේ තත්වය වර්ධනය කෙරුණු අතර සංචාරක ව්‍යාපාරයටත් ඒ මගින් විශාල සහායක් සැපයුණි.

කෙසේ වෙතත්, දශක ගණනාවක් තිස්සේ පදිංචිව සිටි ජනතාව එම තැන් වලින් ඉවත් කිරීමත්, ඒ වටිනා ඉඩම් බලසම්පන්න දේපළ සමාගම් වලට පැවරීමත් ගැන එදා බොහෝ විවේචන එල්ල විය. එසේ ඉවත්කරන ලද ජනතාව ඊළඟට පදිංචිකරවන ලද මහා තට්ටු ගොඩනැගිලි දැන් සිරස් මුඩුක්කු බවට පත්වීමේ තර්ජනයට මුහුණදී සිටී. එසේම, තවත් පවුල් 15,000 ක් ඔවුන්ගේ නිවෙස් වලින් ඉවත්කොට කොළඹින් පිට තැන්වල පදිංචි කැරැවීමෙන් පසු ඔවුන්ගේ මුල් ඉඩම් අල්ලා ගැනීමේ තවත් සැලසුමක් ද එදා තිබුණි. ඒ ආකාරයේ අනේක අසාධාරණකම් එදා වාර්තා වු අතර, සීමාවකින් තොරව සිදුවෙමින් පැවති සංවර්ධනයක වින්දිතයන් බවට අඩු ආදායම්ලාභී සමාජ කොටස් පත්වෙමින් තිබුණි.

පළාත් සභා විසින් තම වැසියන්ට ඊටවඩා හොඳින් සළකනු ලබන බවක් කිව නොහැක. මොන පාටක ආණ්ඩුවක් බලයේ සිටියත්, ප්‍රාදේශීය සභාවේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ පළාත්සභාවේ අල්ලෂ සහ දූෂණය යහතින් වැජඹෙයි. මේ කාර්යාල වලින් අනුමැතිය ලබා ගත යුතු යම් පරිපාලන ලියවිල්ලක් ලබා ගැනීමට ගිය ඕනෑම කෙනෙකු, තමන්ට මුහුණදීමට සිදුවූ අනේක ගැහැට පිළිබඳ අපූරුකතා ලුණුඇඹුල් ඇතිව විස්තර කරදෙනු ඇත. මේ තත්වය මොන තරම් නරකඅතට හැරීඇත්දයත්, තමන්ගේ පළාත සඳහා අවශ්‍ය ආයෝජන තමන්විසින්මසොයාගෙනරටේ ආර්ථිකයේ තරගකාරයෙකු වෙනවාවෙනුවට, එම පළාත්ආයතන දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ සහ දූෂිත මහජන නියෝජිතයන්ගේ ගුබ්බෑයම් බවටපත්ව ඇත. ජනතාව වෙනුවෙන් සේවය සැලසීමට අසමත් මේක්‍රමය තුළ, එහි සේවයක් සොයාගන යන අවංක පුරවැසියෙකුව හෙම්බත් කරවා ඔහුගෙන් හෝ ඇගෙන් කෙසේ හෝ අල්ලසක් ලබාගන්නා මට්ටමට අද ඒවාපත්ව තිබේ.

ඉතිං, පිළිතුර වියහැක්කේ කුමක්ද? පළාතක ඉදිවන ව්‍යාපෘතියක් සඳහා නියමිත අනුමැතිය පැවරීමේ බලය නාගරික සංවර්ධන අධිකාරියට පැවරිය යුතුද? එසේනම්, ඒ කුමන සේවාවන්දැ යි පැහැදිළිව වර්ගීකරණය කොට එය මහජනතාවට දැක බලා ගත හැකිවන සේ ප්‍රසිද්ධ කළයුතුව තිබේ. ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්ති රාමුව සකස් කරගත යුතුව ඇතිඅතර, නියමිත ක්‍රියාවලිය අනුගමනය කරන බවට සහතික වියයුතුව තිබේ. එසේ නොමැතිව, නගරයේ තිබෙන නිසි මුහුණක් නැති ආයතනයක වින්දිතයන් බවට අහිංසක ජනතාව පත්කළයුතු නැත.

එහෙත් ආණ්ඩුවේ රාජකාරිය එතැනින් නිමනොවේ. තමන්ගේ බලතල ගැන මහත්සේ සංවේදී වන මහඇමතිවරුන්ද, තමන්ගේ නිලධාරීන් නිවැරදිව රාජකාරි කරන බවට වගබලාගත යුතුව තිබේ. විදුලිය සම්බන්ධතාව ලබා දීම සඳහා, වතුර මීටරය අළුත් වැඩියා කිරීම සඳහා හෝ නිවාස සැලැස්මක් අනුමත කිරීම සඳහා අල්ලස් ගැනීම තවදුරටත් ඉවසියයුතු නැත. පළාත්සභා විසින් තමන්ගේ බලතල ජනතාවගේ සුභසිද්ධිය සඳහා පාවිච්චි නොකරන්නේ නම්, වෙනත් ආයතනයක් හරහා එම සුභසිද්ධිය අත්පත්කර ගැනීමට ජනතාව තීරණය කිරීමට බැරිනැත.
2017 පෙබරවාරි 17 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’පුවත්පතේ කර්තෘට ලියුම් තීරුවේ පළවූ
බලයකාටද?
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’අනුග්‍රහයෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *