දමිතා අබේරත්න සහ සැමියා වංචා චෝදනා මත අත් අඩංගුවට

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන්  කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (04) පිටතට පැමිණෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.

ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

එම චෝදනාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශන මඟහැර සිටි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අධිකරණයට බාර වීම සඳහා අද (04) උදෑසන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියහ .එම අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා ඔවුන් දෙදෙනාට අධිකරණයේ පෙනී සිටීම සඳහා මෝසමක් ගොනු කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් අවසර ඉල්ලා සිටියත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

ඇප පනතේ 7 වැනි වගන්තියට අනුව පුද්ගලයෙකුට පොලිසියට බාර නොවී අධිකරණයට බාර වීමට අයිතියක් තිබෙන බවත් ඒ අනුව දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අධිකරණයට බාර වීම සඳහා අද (04) කොටුව අධිකරණ භූමියට පැමිණි බවත් නීතිඥ අජිත් පතිරණ මහතා ප්‍රකාශ කළේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වීමට පැමිණියත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසම සඳහා පෙනී නොසිටි බව නීතිඥ අජිත් පතිරණ මහතා පැවැසුවේය.කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නඩු විභාගවන දිනය නොවන බැවින් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව නීතිඥ අජිත් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අධිකරණ භූමියෙන් පිටත එන අවස්ථාවේදී ඔවුන්ව අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැලකිය යුතු පිරිසක් අධිකරණ භූමියෙන් පිටත රැඳී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *