ව්‍යවස්ථා විරෝධයෙන් ජනපති අමාරුවේ දමන මහින්දවාදී සැලසුම් – මහින්ද රත්නායක

 මා ඔබට සහය ලබාදුන්නේ කිසිදු ගිවිසුමකට අත්සන් නොකර, ඔබ කෙරෙහි තැබු විශ්වාසය නිසා වන හෙයින් මගේ ජනතාව ළඟට නැවත මට යන්නට පුළුවන් තරමේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණටක් ඇති කිරීම ඔබගේ යුතුකම බව, යෝජිත නව ආණ්ඩු ක්‍රමය පිළිබඳ පැවැති සාකච්ඡාවක දී ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ජනාධිපතිතුමාට පැවසූ බව දැනගන්නට තිබේ. තව ද ජනාධිපතිතුමා එම යුතුකම ඉටු කරන්නේ නම් ව්‍යවස්ථා වෙනසට පක්ෂ දකුණේ ජනතාව සමඟ එක්වී දෙමළ ජනතාවගෙන් 90%ක ඡන්දය ලබා දී ජනමත විචාරණය ජයග්‍රහණය කිරීමට තමන්ට උදව් වියහැකි බව ද නව ආණ්ඩුක්‍රමය පිළිබඳ පැවැති මේ සාකච්ඡාවේ දී සම්බන්ධන් මහතා පවසා ඇත.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය මෙන්ම රටේ ආර්ථිකය පිළිබඳ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් දැනුවත් කිරීම සඳහා එක් දින වැඩමුළුවක් සංවිධානය කෙරුණේ මේ කියන ලද සාකච්ඡාවෙන් සතියකට පමණ පසුව ය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මේ ගැන මහත් උනන්දුවකින් කටයුතු කළ බව ද දැනගන්නට ඇත. කෙසේ නමුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ව දැනුවත් කිරීම සඳහා පැවැති අර කියන ලද වැඩ මුළුව ආර්ථික විෂයට පමණක් සීමා වූ බව කියනු ලැබේ. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ විෂය ගැන සාකච්ඡා කිරීමට අවශ්‍ය නැති බව සුසිල් ප්‍රේමජයන්ත සහ ෆයිසර් මුස්තාපා යන ඇමැතිවරු ජනාධිපතිතුමාට පැවසීමේ ප්‍රතිඵලයක් ලෙස එම විෂය මේ වැඩමුළුවේ න්‍යාය පත්‍රයෙන් ඉවත් කෙරී ඇත. මේ පිළිබඳව හිටපු ජනාධිපතිනිය තම නොසතුට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පළකර ඇති බව ද කියැවේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකඟ වී ඇත්තේ ජනමත විචාරණයකට නොයන ව්‍යවස්ථා සංශෝධනයකට පමණක් බව අමාත්‍ය සුසිල් පප්‍රේම් ජයන්ත් ඇමතිවරයා මාධ්‍යට ප්‍රකාශ කළේ එයින් දින කිහිපයකට පසුව ය. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අදාළව පත්කරණ ලද අතුරු කමිටුවලින් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රිවරුන් ඉවත් වූ බව ප්‍රකාශයට පත් කළේ ඉන් අනතුරුව ය. අතුරු කමිටු වාර්තා භාරදීමෙන් පසුව කමිටු හෝසිවන හෙයින් ප්‍රචාරයක් ලබාගැනීමට මේ ප්‍රකාශය කළා විනා අහෝසි වූ කමිටුවකින් ඉල්ලා අස්වූ බව පැවසීම තේරුමක් නැති කතාවකි. කෙසේ වෙතත්, මහින්ද පාර්ශ්වය සමඟ එක් වී ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කරන බව ඩිලාන් පෙරේරා ඇමතිවරයා මාධ්‍යට ප්‍රකාශ කළේ ඒ අතරතුර ය. ඉන් අනතුරුව පැවැති රැස්විමක දී, රටේ ආර්ථීකය මෙහෙයවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය බවත්, එය ජනාධිපතිතුමා අතට ගතයුතු බව බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය පැවසී ය. ඉසුර දේවප්‍රිය මහ ඇමතිවරයා මහින්ද රාජපක්ෂගේ කඳවුරට මුහුණදීම සඳහා ජනාධිපතිවරයාගේ පිල ශක්තිමත් කරගැනීමට ඔහු විසින් පත්කෙරුනු පුද්ගලයකු බව කවුරුත් දනිති.

මේ සියලූ කාරණා සැලකිල්ලට ගැනීමේ දී හවුල් ආණ්ඩුවේ බල තරගය පමණක් නොව ජනවාරි 08 පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතිකරගත් සමාජ ගිවිසුමට එරෙහිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අර කියන ලද ඇමැතිවරු ක්‍රියාකරන බව පෙනෙන්නට තිබේ. අවසන් මොහොත වනතුරු මහින්ද රාජපක්ෂගේ පාලනය අනුමත කළා පමණක් නොව ඔහුව නැවතත් බලයේ පිහිටුවීමට පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට නොයෙකුත් අවලාද නගා රාජපක්ෂ පළවා හැරියාට පසු සිරිසේන ජනාධිපතිතුමාට හේත්තු වූ ඉහත මැති ඇමැතිවරු මෙසේ හැසිරිම පුදුමයට කාරණයක් නොවේ. නිදහස් දින කතාවේ දී පමණක් නොව ඊට පෙර කරන කතාවල දී ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පමණක් නොව ජාතික ප්‍රශ්නයට ඒ තුළ විසඳුමක් තිබිය යුතු බව ද ජනාධිපතිතුමා ඉඟි කර ඇති බව කවුරුත් දනිති. කෙසේ නමුත් තම පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් කරන අව කැපෙන කතා පමණක් නොව ජනාධිපතිතුමාගේ ස්ථාවරයට පටහැනිව එළිපිට කියන කතා සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ මුනිවත රැකීම එතුමා බලයට පත්කළ බලවේගයන්ගේ සැකයට මෙන්ම කනස්සල්ලට තුඩුදෙන කාරණයක් වි තිබේ.

මේ තතු යටතේ ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසන ආකාරයට පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා කෙරෙහි තැබු විශ්වාසය කඩ කළහොත් දෙමළ ජනයාගෙන් 90%ක ඡන්දය ද ඔහුට ලැබෙන්නේ නැත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන බවට පොරොන්දු වී බලයට පැමිණ නැවතත් ජනාධිපතිවරණයකට ඔහු හෝ ඇය ඉදිරිපත් වන්නේ නම් එම අපේක්ෂකයා පරාජය කිරීමට පුරවැසි සංවිධාන පෙළගැසෙන බව දැනගන්නට ඇත. 2020 දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වන බවට ඩිලාන් පෙරේරා ඇමැතිවරයා කියන කතාව සත්‍යය නම් පොදු අපේක්ෂක යා ලෙස සිරිසේන මහතාව ජයග්‍රහණය කිරීමට උරදුන් බලවේගයන් ජනාධිපතිවරයාගෙන් ඉවත්වන බව මේ අනව පැහැදිළි විය යුතු ය. කෙසේ නමුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර දෙමළ ප්‍රශ්නයට විසඳුමක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය නොකරන බව ජනාධිපතිතුමා මේවන තුරු ප්‍රකාශකර නැති හෙයින් ඔහුව දෝෂ දර්ශනයට ලක් නොකළ යුතු බවයි පුරවැසි සංවිධාන පවසන්නේ.

ඒ සමගම ජනවාරි 08වෙනිදා පෙළගැසුනු පුරවැසි සංවිධාන එක් පෙරමුණක් වටා ගොනුවෙමින් තිබේ. මේ වන විට එම සංවිධාන එක් වී සාකච්ඡා වට දෙකක් පවත්වා ඇති අතර කුඩා පක්ෂවල පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ද මැති ඇමතිවරු කිහිප දෙනෙක් එම සාකච්ඡා සම්මන්ත්‍රණවලට සහභාගි වි ඇත. මෙයින් පෙනි යන්නේ නව ව්‍යවස්ථාවකට සහය පළකරන දේශපලනඥයන් ද පුරවැසි පෙරමුණට ඇතුළත් කරගැනිමට එම සංවිධාන තීරණයකර ඇති බව ය. ඒ අනුව ඉදිරි කාලය තුළ දී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනිමට පුරවැසි සංවිධාන ගෙන යන සටනට දේශපාලන නායකත්වයක් ලැබෙනු ඇති අතර ලබන මස මැද භාගය පමණ වන විට නුගේගොඩින් එම පෙරමුණ කළඑලි බැසීමට නියමිතව ඇත. ජනතාව නොමග යවමින් නව ව්‍යවස්ථා වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඒකාබද්ධ විපක්ෂය නුගේගොඩින් ආරම්භ කළ රැස්විමට අභියෝග කිරීම මේ රැස්විමේ අරමුණවී තිබේ. තව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියද මෙයට ලැබී ඇති හෙයින් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ සහාය ද මේ රැස්වීම් මාලාවට ලැබෙනු ඇත. ලැබෙන තොරතුරුවලට අනුව පුරවැසි සංවිධාන නියෝජිතයින් මේ වන විටත් දේශපාලන නායකයින් කිහිප දෙනකු සමඟ සාකච්ඡාකර තිබේ. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩියූ ගුණසේකර, අමාත්‍ය සරත් අමුණුගම, ඩග්ලස් දේවානන්ද මේ අතර වේ. රාජිත සේනාරත්න, මංගල සමරවීර යන ඇමතිවරු සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ද මෙම පෙරමුණට ඇතුළත් වීමට සුදානමින් සිටිති. ඒකාබද්ධ විපක්ෂයට මෙන්ම ඔවුනගේ අනුදැනුම ඇතිව නව ව්‍යවස්ථාවක් ගෙනඒමට එරෙහිවන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ද මෙම පෙරමුණ අභියෝගයක් වනබව නොඅනුමාන ය.

මේ අතර ලැබී ඇති ප්‍රජාතන්ත්‍රවාදි ඉඩකඩ ප්‍රයෝජනයට ගෙන තම බලවේගයන් වීදිවලට කැඳවන ඒකාබද්ධ විපක්ෂයට අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද පසුගියදා අභියෝගයක් කළේ ය. තමාගේ බලවේගයන් ද ඉදිරියේ දි පාරට කැඳවන බව එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එහි දී ප්‍රකාශ කළේ ය. මේ අනුව පෙනි යන්නේ වේදිකාවල ප්‍රකාශවන වහසිබස් වෙනුවට ඉදිරියේ දි සටන වීදිවලට පැමිණිමට බොහෝ සේ ඉඩ ඇති බව ය. ඒ අනුව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය තවදුරටත් කල් දැමීමට නොහැකි දෙයක් බවට පත් වි තිබේ. පළාත් පාලන මැතිවරණය කල්තැබීම පිලිබඳව පුරවැසි සංවිධාන නිහඬව සිටින්නේ නව ව්‍යවස්ථාව සඳහා ජනමත විචාරණයකට යෑමට ඇති අවශ්‍යතාවය නිසාය. ජනමත විචාරණයකට නොයන, සුළු සංශෝධනයක් පමණක් ව්‍යවස්ථාවට ගෙන එන්නේ නම් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව පුරවැසි සංවිධානද ආණ්ඩුවට එරෙහිව පෙළගැසීමට බොහෝ සේ ඉඩ තිබේ. මේ සියලූම කරුණු අනුව පෙනි යන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නන්නත්තාර වූ ආකාරයට, නව ව්‍යවස්ථාවකට එරෙහිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති ඇමැති ඇමැතිවරු යොදාගෙන මහින්ද රාජපක්ෂ පුමුඛ ඒකාබද්ධ විපක්ෂය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට ද යන එන මං නැති කිරිමට උත්සාහ කරන බව ය. නව ව්‍යවස්ථාවකට එරෙහි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පසුගාමි බලවේගයන්ට අවනත නොවි ජනවාරි 08 පෙළගැසුනු බලවේගයන් සමඟ ඉදිරියට යනවා හැරෙන්නට මේ කුමන්ත්‍රණයෙන් ගැලවීමට ජනාධිපතිතුමාට වෙනත් මාර්ගයක් නැති බව ඉතා පැහැදිළි ය.

මහින්ද රත්නායක 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *