විප්ලවය සැමරීමට එජාපය සැරසෙනවිට වමේ පක්ෂ දෙපැත්තකට

 

* 1954 දී සර් ජෝන් කොතලාවල මහතා ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වූ පසු ශ්‍රි ලාංකික අගමැතිවරයකු ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.
* සම සමාජ පක්ෂය හා වාසුදේවගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සමඟ කොමියුනිස්ට් පක්ෂය ගොඩ නගාගෙන තිබු වාමාංශික පක්ෂ එකමුතුව බිඳ වැටීමක් සිදු ‍ෙවනවා.
* ජනාධිපතිතුමාගේ අප්‍රතිහත ධෛර්යයෙන් ඉදිකළ ජලාශයට මේ දිනවල ජලය පිරෙමින් තිබෙනවා. ඒ ජලයෙන් කොටසක් දැනටමත් රජරට වැව් සඳහා මුදාහැර තිබෙනවා.
* රවු‍ෆ් හකීම් මහතා පක්ෂයේ බලය තහවුරු කර ගත්තා. සිදුවීම පිළිබඳව හසන් අලි මහතා අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතක්.

ඔස්ට්‍රේලියාවේ රජයෙන් ලැබුණු ආරාධනාවක් අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා පසුගිය 13 දා ඔස්ට්‍රේලියාව බලා පිටත් වුණා.

වික්‍රමසිංහ මහතාට ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලයෙන් සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමීමට කටයුතු යොදා තිබුණත් ඒ සම්බන්ධයෙන් අගමැති කාර්යාලයෙන් පූර්ව ප්‍රචාරයක් ලබා දී තිබුණේ නෑ.

14 දින ඩීකින් විශ්ව විද්‍යාලයේදී පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී එහි කුලපති මහාචාර්ය ජෝන් ස්ටැන්හොප් මහතා විසින් අගමැති වික්‍රමසිංහ මහතාට සම්මාන ආචාර්ය උපාධිය පිරිනැමුණු අතර ඒ සඳහා හේතු පාඨ දක්වමින් විශ්ව විද්‍යාලයේ උප කුලපතිනි මහාචාර්ය ජේන් ඩෙන් හොලැන්ඩර් මහත්මිය සඳහන් කළේ ශ්‍රි ලංකාවේ නාමය අන්තර් ජාතික වශයෙන් ඔසවා තැබීම, කොටි ත්‍රස්තවාදීන් සාකච්ජා මේසයට කැඳවා ගැනීමට පදනම සැකසීම, යහපාලනය ස්ථාපිත කරලීමට කැපවීම ආදී කරුණු ගණනාවක් මෙම සම්මානය පිරිනැමීමේදී සැලකිල්ලට ගත් බවයි.

මීට පෙර ඩීකින් විශ්ව විද්‍යාලය විසින් සම්මාන ආචාර්ය උපාධි පිරිනමා තිබුණේ විදේශිය අගමැතිවරුන් තිදෙනෙකුට පමණයි. ඒ මැල්කම් ‍ෆෙෂර්, කෙනත් කවුන්ඩා සහ ජුලියා ගිලාඩි යන අග්‍රාමාත්‍යවරුන් වෙතයි .

අගමැති වික්‍රමසිංහ මහතා වෙත

සම්මාන ආචාර්ය උපාධිය ලබා දීමට පෙර ශ්‍රි ලංකාවේ ජාතික ගීය වාදනය කෙරුණු අතර ඩීකින් විශ්ව විද්‍යාලයේ වෙනත් රටක ජාතික ගීයක් වාදනය කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.

සම්මාන ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසුව උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධම්ම පදයේ ගාථාවක් ඩීකින් සරසවියේදී ප්‍රතිරාවය කළාය. මනෝ පුබ්බංගමා ධම්මා-මනෝ සෙට්ඨා මනෝමයා ගාථාව ඔස්ට්‍රේලියානුවන් හමුවේ පැවසු වික්‍රමසිංහ මහතා එහි අදහසද සභාවට පැහැදිළි කළා.

උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා කැඳවූ අගමැති වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේ මෙම ගෞරව උපාධි නාමය කිසි විටෙක තමාගේ රාජකාරි හෝ පුද්ගලික කාර්යයන් සඳහා භාවිතා නොකළ යුතු බවයි.

1954 දී සර් ජෝන් කොතලාවල මහතා ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වූ පසු ශ්‍රි ලාංකික අගමැතිවරයකු ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි. අට දෙනෙකුගෙන් පමණක් සමන්විත වූ නියෝජිත පිරිසක් සමග ඔස්ට්‍රේලියාවට ගිය අගමැති වික්‍රමසිංහ මහතා නිල අවස්ථා ගණනාවකටම සහභාගි වුණා. කැන්බරාහි පිහිටි ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවේ අගමැති වික්‍රමසිංහ මහතා පිළිගැනීමේ අභිමානවත් උත්සවයක් සංවිධානය කර තිබුණු අතර දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිල වශයෙන් ආරම්භ වී වසර 70 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සමරු උළෙලක්ද ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේදි සංවිධානය කර තිබුණා.

ඔස්ට්‍රේලියානු අගමැති මැක්ලම් ටර්න්බුල් මහතා සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ජාවලින් පසු දෙදෙනාගේම සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණු අතර සංක්‍රමණික කඳවුරුවල රැඳී සිටින ශ්‍රි ලාංකිකයින්ට නැවත මව්බිමට පැමි‍ණෙන ලෙසද එහිදි අගමැති වික්‍රමසිංහ මහතා විවෘත ආරාධනාවක් කළා. එසේ පැමිණෙන අයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග නොගන්නා බවද ඔහු අවධාරණය කළා.

15 දා කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පෙරහුරු විස්සයි විස්ස තරඟය නැරඹීමට අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා සහභාගි වූ අතර කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවට එක් විම සඳහා දෙදෙනාම ක්‍රිඩා පිටියට පැමිණියා. තරඟයේ වාසිය උරගා බැලිමට භාවිතා වුයේ ශ්‍රි ලංකාවේ භාවිතා වන කාසියක්.

ඔස්ට්‍රේලියා අගමැතිවරයාගෙන් සමුගැනිමට පෙර ශ්‍රි ලංකාවේ නිල සංචාරයකට එක් වෙන ලෙසද අගමැති වික්‍රමසිංහ මහතා ටර්න්බුල් මහතාට ආරාධනා කළා.

ශ්‍රී ලංකාවේ ආයෝජනය සහ ව්‍යාපාර සඳහා සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යවසායකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසගේ හමුවක් ඔස්ට්‍රේලියාවේ වෙළඳ අමාත්‍ය ෆිලිප් ඩෙල‍ඩකිස් මහතා විසින් සංවිධානය කර තිබුණා. 16 දා දහවල පැවති මෙම හමුව පැවතුණේ දිවා භෝජනය අතරතුරයි.

ශ්‍රි ලංකාවේ ආයෝජනය කිරීමට දොර විවර කර ඇති බැවින් ලංකාවේ ආයෝජනය කිරීමට ඔස්ට්‍රේලියාවේ ආයෝජකයින් පෙළඹවීමට තමා පියවර ගන්නා බව මෙහිදි අමාත්‍ය ඩෙලඩකිස් මහතා අවධාරණය කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස අද (17) යළි මෙරටට පැමිණීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල ප්‍රීතියෙන් සිටින්නේ එතුමාගේ ලොකුම සිහිනය සැබෑ කර ගැනීමට ලැබීම නිසායි. එය නම් මොරගහකන්ද ජලාශය ඉදිකොට ගොවි ජනතාවට සෙත සැලසීමයි. ජනාධිපතිතුමාගේ අප්‍රතිහත ධෛර්යයෙන් ඉදිකළ ජලාශයට මේ දිනවල ජලය පිරෙමින් තිබෙනවා. ඒ ජලයෙන් කොටසක් දැනටමත් රජරට වැව් සඳහා මුදාහැර තිබෙනවා. එහි තවත් වැදගත් පියවරකට ජනාධිපතිතුමා පසුගිය සඳුදා සහභාගි වුණා.

මොරගහකන්ද ජලාශයේ ජලය වයඹ පළාතට ලබාදෙන ඇළ මාර්ගයේ කටයුතු ආරම්භ වූයේ පසුගිය සඳුදා ගලේවෙලදීයි. එහිදී වෑ මැඩිල්ල වැව බැලීමටද ජනාධිපතිතුමන් ගියා. පසුව උත්සවය පැවැත්වූයේ ගලේවෙල නගරයේදීයි.

ගලේවෙල නගරයේදී පැවැති උත්සවයේදී ජනාධිපතිතුමා අතීත රහසක් හෙළිදරව් කළා. 1994න් පසුව වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයාව සිටියදී වෑ මැඩිල්ල වැව බැලීමට පැමිණි ආකාරයත් තමන් ආරම්භ කළ දේවහුව ව්‍යාපාරයේ වැඩ කොන්ත්‍රාත් ප්‍රශ්නයක් මත නැවතී ඇතැයි දැනගන්නට ලැබුණු බවත් ජනාධිපතිතුමා කීවා.

ඉන් පසුව තමන් එම ප්‍රශ්නය ගැන සොයන්න කොන්ත්‍රාත්කරුවකු ලෙස ප්‍රදේශයට පැමිණ ගොවි ජනයා හමුවූ බවත් කොන්ත්‍රාත් ලබාගැනීම සඳහා ගොවි සංවිධාන සභාපති හමුවී කතාබහ කළ හැටිත් ජනාධිපතිතුමා හෙළිදරව් කළා. ගොවි සංවිධාන සභාපතිගේ මඟ පෙන්වීම යටතේ ප්‍රදේශයේ ඩී.ඕ. මහතා හමුවී කොන්ත්‍රාත් පිළිබඳ ගණන් හිලව් කතා කරගත් ආකාරයද එතුමා සභාවට පැහැදිලි කළා. සියලු තොරතුරු ගෙන කොළඹ ගිය මෛත්‍රීපාල සිරිසේන මහතා පසුව අදාළ නිලධාරින් කොළඹට කැඳවූ බවද කීවා.

මධ්‍යම පරිසර අධිකාරියේදී අඟහරුවාදා පැවැති තිරසර තක්සලාව වැඩසටහනේදීත් ජනාධිපතිතුමා ආන්දෝලනාත්මක කතාවක් කළා. අධ්‍යාපන නිලධාරීන් විශාල පිරිසක් එහි රැඳී සිටියා. ජනාධිපතිතුමා ප්‍රශ්න කළේ ඔවුන්ට පාසල්වල වැසිකිළි කැසිකිළි හා ඩෙස් පුටු ප්‍රශ්න විසඳන්නට බැරිවී ඇත්තේ ඇයි? යනුවෙනි. අධ්‍යාපනයට වෙන්කරන මුදල වැඩි බවත්, එම මුදල් වෙනත් අංශවලට දෙන ලෙසත් පළාත් මහ ඇමැතිවරුන් ඉල්ලීම් කරන බවද ජනාධිපතිතුමා පැවසුවා. එසේ තිබියදී පාසල් දහයකට ගියොත් අටකින්ම කියන්නේ වැසිකිළි කැසිකිළි ප්‍රශ්න හා ඩෙස් පුටු ප්‍රශ්න බව ජනාධිපතිතුමා කීවේ මුදල් තිබියදී ප්‍රශ්න නොවිසඳීම ගැන අප්‍රසාදයෙනි.

රටේ ඉහළම සංවර්ධනයක් ඇති කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රදේශයේ පාසලකදී තමන්ට දැනගන්නට ලැබුණු කරුණක් ජනාධිපතිතුමා හෙළි කළා. එම පාසලේ ගුරුවරියක් ජනාධිපතිතුමාට කීවේ එහි ළමයින් උදේ පාසල් පැමිණි විට සවස් වනතුරු වතුර නොබී සිටින බවයි. එයට හේතුව පාසලේ වැසිකිළි පහසුකම් නැතිකමයි. පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක පාසල්වලට ගොස් තමා ලැබූ අත්දැකීම් අනුව පාසල්වල ප්‍රශ්න ජනාධිපතිතුමා හොඳින් තේරුම්ගෙන සිටියා. එම ප්‍රශ්න නොවිසඳන්නේ ඇයි දැයි ජනාධිපතිතුමා විමසද්දී නිලධාරීන් විශ්මිතව මෙන් බලා සිටියා.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ඇරයුමින් රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ඉකුත් සඳුදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වුණා. “ජාත්‍යන්තර වරායවල්, ගුවන් තොටුපොළවල් හැදුවට රෝහල්වල අඩුපාඩු නම් තවමත් එහෙමමයි” සජිත් කීවා . දිස්ත්‍රික්කයේ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී රෝග නිර්ණය පහසු කර ගැනීම සඳහා එම්.ආර්.අයි.ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන ලෙස සජිත් කළ ඉල්ලීමට වහා ප්‍රතිචාර දක්වමින් රාජිත කීවේ “රුපියල් ලක්ෂ 3,000ක් වටිනා අලුත්ම එම්.ආර්.අයි.ස්කෑන් යන්ත්‍රයක් මම හම්බන්තොටට දෙන්නම්” කියායි. දිස්ත්‍රික්කයේ රෝහල්වල ප්‍රතිකාර කටයුතු මෙන්ම රෝග නිවාරණ කටයුතු ඉහළ නැංවීම සඳහා අරමුදලක් ස්ථාපනය කර එය නිරතුරුව අධීක්ෂණය කිරීමට සජිත්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ස්ථාපනය කෙරුණා.

වසර 2010 දී වියට්නාමයේ පැවති 14 වැනි කනිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 3,000 බාධක දිවීමේ ඉසව්වෙන් දෙවන ස්ථානය එනම්, රිදී පදක්කම දිනාගත් ඩබ්ලිව්. පී.ඊ.එල්. නිලක්ෂි ක්‍රීඩිකාව තිස්සමහාරාම, දෙබරවැව, රෝහණපුර අංක 255/1 ස්ථානයේ ඉදිකළ නව නිවස සජිත් අතින් විවෘත කෙරුණේද ඉකුත් සති අන්තයේදීයි. දෙබරවැව ජාතික පාසලට වසර 80ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සව මාලාවට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ නිලක්ෂි ක්‍රීඩිකාවද දෙබරවැව ජාතික පාසලේ ආදි සිසුවියක වීම හේතුවෙන්.

දෙබරවැව පශ්චිමාරාම රජමහා විහාරයේ වාර්ෂික රුහුණු නවම් මහ පෙරහර මහෝත්සවය මේ වසරේද උත්සවශ්‍රීයෙන් පවත්වනු ලබන අතර සජිත් ඊට ප්‍රමුඛ දායකත්වය ලබාදුන්නා. 12,13 සහ 14 තෙදින සර්වඥ ධාතු ප්‍රදර්ශනය හා 17 වැනි දින පෙරහැර මහෝත්සවය සංවිධානය කළා.

දෙබරවැව මැණික් රජමහා විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 16ක පමණ වියදමින් ඉදිකළ වාහල්කඩ විවෘත වුණේ 14 වැනිදා රාත්‍රියේයි. ඊට ජනාධිපති අරමුදලෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 5ට අමතරව විවිධ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් හිඟ මුදල් ප්‍රමාණය සොයාගැනීමට සජිත් ඉතා වෙහෙසකර උත්සාහයක නිරත වුණා. “අපි මෙච්චර කරන කොටයි. ආණ්ඩුව බුද්ධාගමට සලකන්නෙ නෑ කියලා සමහරු ජනතාව නොමඟ යවන්න හදන්නේ” සජිත් කීවාය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගිය සිකුරාදා රැස්වූයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ බරපතළ තීන්දුවක් ගැනීමටය. පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායමක් යෝජනා කළේ පක්ෂය දැන් ස්වාධීනව ක්‍රියා කළ යුතු බවයි. මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කළ යුතු බවත්, වමේ පක්ෂවල එකතුව වන සමාජවාදී ජනතා පෙරමුණද ක්‍රියාත්මක විය යුතු බවත් රාජා කොල්ලුරේ මහතා ඇතුළු කණ්ඩායමක් ප්‍රකාශ කළා. දේශපාලන මණ්ඩලයේ ඇතිවූ වාද විවාද වලින් පසුව අවසන් තීරණය ගැනීම පසුදින රැස්වන මධ්‍යම කාරක සභාවට පැවරීමට තීරණය වුණා.

සෙනසුරාදා පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී රටේ දේශපාලන පෙළ ගැසීම් ගැනත් ජාතිවාදය හිස ඔසවන ආකාරයත් ඩිව් පැහැදිලි කළා. එජාපයට විරුද්ධව විපක්ෂය ලෙස ක්‍රියාකළ යුතු බව කොල්ලුරේ ප්‍රකාශ කළා. දෙපාර්ශවය අතර උණුසුම් විවාද ඇතිවුණා.

ඊළඟට ප්‍රශ්නය සාකච්ඡා වුණේ මැයි දිනය පැවැත්වීම සම්බන්ධවයි. එහිදී ඩිව් ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායම යෝජනා කළේ මෙවර මැයි දිනය තනිවම පැවැත්විය යුතු බවයි. කොමියුනිස්ට් පක්ෂය මැයි දිනය සලකන්නේ ඉහළම වැදගත්කමක් ඇති සිදුවීමක් ලෙසයි. එහිදී ජාතිවාදීන් සමඟ එකට නොගොස් තම දේශපාලනය රැකගත යුතු බව ඩිව් ඇතුළු කණ්ඩායම කීවා. කොල්ලුරේ ඇතුළු පිරිස කීවේ මැයි දිනය වාමාංශික පක්ෂ එකතුවෙන් පැවැත්විය යුතු බවයි. එයට විරුද්ධ වූ කණ්ඩායම කීවේ වමේ පෙරමුණේ සිටින අනෙක් පක්ෂ මහින්ද ඉදිරියට දමාගෙන ක්‍රියාකරන බව හා මැයි දිනයේදී ඔවුන් එම සටන්පාඨ ඉදිරියට දැමුවහොත් පක්ෂය අපහසුතාවයට පත්වන බවයි. දීර්ඝ විවාදයකින් පසුව කොල්ලුරේ පාර්ශවය නිහඩ වූ අතර පක්ෂය තනිව මැයි දිනය පැවැත්වීමේ යෝජනාව ඒකමතිකව සම්මත වුණා.

ඔක්තෝබර් විප්ලවය සැමරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලැබුණු ආරාධනය ගැන ඩිව් ගුණසේකර මහතා මධ්‍යම කාරක සභාවට දැනුම් දුන්නා. ඔහු කීවේ මෙය රනිල්ගේ වුවමනාවකට වඩා වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ වුවමනාවක් විය හැකි බවයි. කෙසේ වෙතත් ඔක්තෝබර් විප්ලවය සැමරීමට තමන් කැමැති නමුත් එජාපය සමඟ එය කිරීමට පංති ප්‍රශ්නයක් ඇති බව කොපය වෙනුවෙන් තමන් දැනුම් දුන් බවත් ඩිව් කීවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදු කරන ඔක්තෝබර් විප්ලවය සැමරීමේ වැඩ සටහනට කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තීය සමිති දෙකක් එක්වී සිටීම මෙහිදී ප්‍රශ්නයට ලක්වුණා. ඩී. ඩබ්ලිව්. සුබසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයත්, උදේනි දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් රාජ්‍ය කළමනාකාර නිලධාරින්ගේ සංගමයත් එම වැඩපිළිවෙළට සම්බන්ධ වී සිටිනවා.

තනිව මැයි දිනය පැවැත්වීමේ තීරණය දැනුම්දීමට කොමියුනිස්ට් පක්ෂයේ දිස්ත්‍රික් ලේකම් වරු සියලු දෙනා ඉරිදා කැඳවා තිබුණා. ඔවුන් සියලු දෙනා පක්ෂයේ තීරණය ඒකමතිකව පිළිගත්තා.

මෙම තීරණයත් සමඟ සම සමාජ පක්ෂ හා වාසුදේවගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සමඟ කොමියුනිස්ට් පක්ෂය ගොඩ නගාගෙන තිබු වාමාංශික පක්ෂ එකමතුව බිඳ වැටීමක් සිදුවනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතික සම්මේලනය පසුගිය 12 දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා. එය අවසන් වූයේ මෙතෙක් මහලේකම් තනතුර දැරූ හසන් අලි මහතාට තනතුර අහිමිකරමින්. නව මහලේකම් වශයෙන් පත්වුණේ මන්සුර් ඒ.කාදර් මහතායි. ඔහු පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ හිතවතෙක්.

මුස්ලිම් කොන්ග්‍රසයේ ලේකම් තනතුර පිළිබඳ අවුල කාලයක් තිස්සේ පැවතුණා. එයට හේතු වූයේ පක්ෂයේ මහලේකම් තනතුරට අමතරව පක්ෂ ලේකම්වරයෙක් පත්කිරීමට පසුගිය සම්මේලනයේදී කටයුතුකොට තිබීමයි. මෙයින් ඇති වූ අවුලට මැතිවරණ කොමසාරිස්වරයාටද මැදිහත්වීමට සිදුවුණා. පක්ෂයේ නියම ලේකම්වරයා කවුදැයි මසක් ඇතුළත දන්වන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂයට දැනුම්දීමක් කළා.

ඒ අවස්ථාවේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය තුළ එකඟත්වය ඇතිවුණේ හසන් අලි මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීමටය. එය ඊට පෙරදී ද තිබූ පොරොන්දුවක්. එසේ වුවත් හසන් අලි මහතාට මන්ත්‍රීධුරය හිමිවූයේ නැහැ. එය ලබාදුන්නේ එම්.එච්.සල්මන් මහතාටයි.

මුස්ලිම් කොන්ග්‍රසයේ මෙම ගැටුම සම්බන්ධයෙන් සාම සාකච්ඡාවක්ද ජනවාරි මුලදී පැවැත්වුණා. යූ.අන්වර් මහතාගේ මැදිහත්වීමෙන් පැවැති එම සාකච්ඡාවට සහභාගී වූයේ හසන් අලි මහතා සහ පක්ෂ නායක රවුෆ් හකීම් මහතා පමණයි. හසන් අලි මහතාට මහලේකම් තනතුර මෙන්ම මන්ත්‍රීධුරයක් ලබාදීමට එහිදී පක්ෂ නායක රවුෆ් හකීම් මහතා එකඟ වුණා. එහෙත් සම්මේලනයේදී ඒ වෙනුවට සිදුවූයේ මහලේකම් තනතුරද හසන් අලි මහතාට අහිමිකිරීමයි.

පක්ෂයේ සභාපති තනතුර භාරගන්නැයි හසන් අලි මහතාට රවුෆ් හකීම් මහතාගෙන් යෝජනාවක් ඉදිරිපත් වුණා. එයට ඒ මහතා එකඟ වූයේ නැහැ. මෙලෙස රවු‍ෆ් හකීම් මහතා පක්ෂයේ බලය තහවුරු කර ගත්තා. සිදුවීම පිළිබඳව හසන් අලි මහතා අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතක්.

ගොසිප්ලන්තය

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *