| |

නිෂ්පාදන ආර්ථිකයට නව මගක් – මහාචාර්ය සේමසිංහ දිසානායක

වර්තමානයේ  ශ්‍රී ලංකාව මුහුණ දී ඇති  විවිධ ගැටලු‍ නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමෙන්  පමණක් විසඳාගත හැකි බව ඇතැම් දේශපාලනඥයන් සහ සමාජයේ විවිධ කොටස්  ප්‍රකාශ  කරන ආකාරයක් දැකිය හැක. මෙසේ  නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම යන්නෙන් ගම්‍ය වන මූලිකම අදහස වන්නේ ලංකාවේ දැනට පවතින්නේ නිෂ්පාදන ආර්ථිකයක් නොවන බවයි. ඒ අනුව යමින් තවත් සමහරෙක් ප්‍රකාශ කරන්නේ ලංකාවේ ඇත්තේ ගැනුම් සහ විකුණුම්  (buying & selling) පමණක් සිදු කරනු ලබන ආර්ථිකයක් හෝ සෑම දෙයක් ම පිටරටින් ආනයනය කරනු ලබන ආර්ථිකයක් හෝ  වන බවයි.

ආර්ථිකය පිළිබඳව පවත්නා ඉහතින් දක්වන ලද  දෘෂ්ටි නිෂ්පාදන ආර්ථිකයකට අදාළ වන්නේ ද නැද්ද  යන්න විමසා  බැලෙන අතර, ආර්ථිකයක  නිෂ්පාදනය පුළුල් කර ගත හැක්කේ කෙසේදැයි විමසා බැලීමක් මෙම ලිපියෙන්  සිදුකෙරේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ දැනටත් නිෂ්පාදන කටයුතු කෙරේ. එහි ප්‍රමාණය නැතහොත් මූර්ත දළ දේශීය  නිෂ්පාදිතය 2021 දී  ඇමරිකානු ඩොලර් බිලියන 88.1 ක් වූ අතර එය 2022 දී ඩොලර් බිලියන 77.1ක් විය. එය වෙනත්  රටවල වර්ධනය  සමඟ සංසන්දනය කිරීමේ දී සාපේක්ෂව දුර්වල බව පිළිගත යුතුය. සත්‍ය වශයෙන්ම දැන් පවතිනුයේ ආර්ථිකය සංකෝචනය වන පරිසරයකි. විශේෂයෙන්ම ඉහළ  බදු අනුපාත, ඉහළ විදුලිය ගාස්තු සහ ඉන්ධන මිල ගණන්, අරමුදල් සපයා ගැනීමේ අපහසුතා සහ  යෙදවුම් ලබාගැනීමේ දුෂ්කරතා  ආදී ගැටලු‍ නිසා පෙර නොවූ පරිදි රටේ සියලු‍  කර්මාන්ත  තර්ජනයකට ලක්ව ඇත. මේ තත්වය පිළිබිඹු කරමින්  2022 වසරේ ආර්ථිකය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 7.8 කින් සංකෝචනය විය.  ලෝක බැංකුව තක්සේරු කරන පරිදි 2023 වසරේ දී ආර්ථික වර්ධනය සියයට 3.8 කින් තව දුරටත් සංකෝචනය වී ඇතැයි දක්වයි.

නිෂ්පාදන සම්පත්  කාර්යක්ෂමව සංයෝග කිරීමෙන් නිෂ්පාදනය වැඩි කරගත හැකිවනවා සේ ම හුවමාරුව නැතහොත් වෙළෙඳාමට (ගැනුම්  සහ විකුණුම්) පිවිසීම මඟින් ද සමස්ත නිමැවුම ඉහළ යන බවත් ජනතාවගේ පරිභෝජන මට්ටම ඉහළ යන බවත් ආර්ථික විද්‍යාඥයෝ තර්ක කරති.

 

 

තමාට අවශ්‍ය සියලු‍ භාණ්ඩ හා සේවා තමාට ම නිෂ්පාදනය  කර ගත නොහැකි හෙයින්  අතිරික්ත වෙනත් අයට විකුණා වෙනත් අයගෙන් තමාට අවශ්‍ය දේවල් මිල දී ගැනීමෙන් මෙසේ නිමැවුම සහ පරිභෝජනය ඉහළ යයි. නැතහොත් ස්වයංපෝෂිත තත්වයට වඩා අන්‍යොන්‍ය රැඳියාව වඩා වැඩි වාසි අත්වෙන බව මින් අදහස් කෙරේ. මෙය රටක් තුළ වෙළෙඳාමට අදාළව මෙන්ම රටවල් අතර වෙළෙඳාමට ද අදාළය. David Ricado ට අනුව  රටවල් තමන්ට සාපේක්ෂ වාසි ඇති භාණ්ඩ පමණක් අතිරික්තව නිපදවා  සාපේක්ෂ වාසි අඩු භාණ්ඩ  අනෙක් රටවල් සමඟ හුවමාරු කර ගැනීමෙන් සෑම රටකම නිෂ්පාදනය ඉහළ යන බවත් එමඟින්  පරිභෝජනය උපරිම කර ගත හැකි බවත් සහ සමස්තයක් ලෙස ජනතාවගේ සුබසාධනය ඉහළ යන බවත් සඳහන් කරයි.

නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව අදහස් දක්වන ඇතැම් අය  ලංකාව අල්පෙනෙත්ති, වෙසක් කූඩු, බිත්තරවල  සිට ගුවන් යානා  දක්වා සෑම භාණ්ඩයක් ම  විදේශයන්ගෙන් ආනයන කරන බව දක්වති. එය සත්‍යයකි. ලංකාවේ ව්‍යාපාරිකයන් ක්ෂණික ලාබ ලබාගැනීමේ අරමුණින්  පැන්සල්,  පෑන්,  මකන, තීන්ත,  සරුංගල්,  සෙල්ලම් බඩු,  පනා,  කොහු ඉදල්,  වතුර බෝතල්,  කුඩ, හිස්වැසුම් ආදී දේශීයව නිපදවිය හැකි භාණ්ඩ පවා ආනයනය කරන ආකාරය දැකිය හැක.  මෙය ඔවුන්ගේ වරදක් නොව රට පාලනය කරන බලධාරීන්ගේ දැක්ම පිළිබඳ ගැටලු‍වකි. ආනයනය කළ යුත්තේ මොනව ද නොකළ යුත්තේ මොනවා ද යන්න  පිළිබඳව රජයට කිසිදු ප්‍රතිපත්තියක් නොමැති බව මින්  පැහැදිලි ය.

මේ අතර ලංකාවට අවශ්‍ය සෑම භාණ්ඩයක්ම පිටරටින් ගෙන්වන්නේය යන අදහස පසුපස ඇත්තේ එසේ සියලු‍ම දෑ ආනයනය නොකළ යුතු බවයි. ඒ අනුව නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ දී සෑම භාණ්ඩයක් ම ආනයනය කරනවා වෙනුවට ලංකාවේ නිපදවිය හැකි භාණ්ඩ දේශීයව නිෂ්පාදනය කිරීම වෙත යොමුවිය යුතු බව අදහස්  වේ. නැතහොත් මෙතෙක් ආනයනය කරන ලද භාණ්ඩ දේශීය වශයෙන් නිපදවනු ලබන ආනයන ආදේශන කර්මාන්ත වෙත යොමුවන බව ඉන් අදහස් කෙරේ. මෙහිදී ප්‍රථමයෙන් ම සඳහන් කළ යුතු වැදගත් කරුණක් ඇත. එනම් ආනයන ආදේශනය යෙදවුම් සියල්ල නිෂ්පාදනය සඳහා රට තුළින් ලබාගන්නා භාණ්ඩවලට සහ රටකට සාපේක්ෂ අවාසි සහිත භාණ්ඩ සම්බන්ධයෙන් යෝග්‍ය වුවත් රටකට අවශ්‍ය කරන සෑම භාණ්ඩයක් සඳහා ම සාර්ථක උපක්‍රමයක් නොවන බව 1950 සහ 1960 ගණන්වල ලෝක අත්දැකීම්වලින් උගත හැකි බව ය.

කෙසේ වෙතත් ආනයන සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කළ යුතු  වැදගත් කරුණු කීපයකි. ඇතැම්  පාරිභෝගික භාණ්ඩ (උදාහරණ වශයෙන්  එළවඵ,  පලතුරු, සීනි වැනි) ආනයනය  නැවැත්විම හෝ සීමාකිරීම පහසුවෙන් කළ හැකි වුවද  බොහෝ  අන්තර් භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ක්ෂණිකව  කෙටි කාලයක් තුළ ආනයනය නැවැත්වීම හෝ සීමා කිරීම හෝ කළ නොහැකිය. මක්නිසාද යත්  ඇතැම්  අන්තර් භාණ්ඩ  දේශීය භාණ්ඩ නිෂ්පාදනය සඳහා යෙදවුම්  වශයෙන් යොදා ගනු ලබන නිසාය. (උදා; රසායනික පොහොර, රෙදිපිළි)  තවත් ආනයන ප්‍රතිඅපනයන භාණ්ඩ සැකසීම සඳහා යොදා ගනී (උදා, දියමන්ති). ආයෝජන භාණ්ඩ දේශීය නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා අවශ්‍ය වේ (උදා: යන්ත්‍ර සූත්‍ර,  ප්‍රවාහන උපකරණ). ඒ අනුව එම භාණ්ඩවල ආනයන සීමා කිරීම සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලිය යුතු ය.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ (උදා: සරුංගල්,  සෙල්ලම් බඩු,  දුම්වැටි) සඳහා එසේ සීමා කිරීම සාධාරණීය කළ හැකි වුවත් අත්‍යවශ්‍ය භාණ්ඩ (උදා: බෙහෙත් හා ඖෂධීය නිෂ්පාදිත, විදුලි සංදේශ උපාංග වැනි) දේශීයව නිෂ්පාදනය කිරීම සහතික වනතෙක් ආනයනය සීමා  කිරීම හෝ ආනයනය නොකර සිටීම  යෝග්‍ය නොවේ. එසේම යම් භාණ්ඩයක් අත්‍යවශ්‍යද නැද්ද යන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර ඒ සම්බන්ධයෙන් පොදු  ප්‍රතිපත්තියක් සකසා ගත යුතු ය.

තව ද නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ දී විශේෂයෙන් පාරිභෝගික භාණ්ඩ ආනයනය සීමා කිරීමකට යොමු වන්නේ නම් ජනතාව දැනට හුරුවී ඇති පාරිභෝජන රටාවට බලපෑමක්  නොවන ලෙස  හෝ නැතහොත් අවම බලපෑමක් වන සේ  හෝ එය කළ යුතු ය. 1978 සිට ක්‍රියාත්මක වූ  විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමඟ රට තුළට ගලා ආ ආනයනික භාණ්ඩ පාරිභෝජනය හරහා  ජනතාව කිසියම් පාරිභෝජන රටාවකට හුරුව සිටිති. ඒ නිසා  එවැනි  ආනයන නැවැත්වීමක්  හෝ සීමා වීමක්  හෝ නිසා  ඇතිවිය හැකි පරිභෝජන රටාවේ වෙනසකට දැක්විය හැකි ප්‍රතිචාර ද සැලකිල්ලට ගනිමින් ආනයනික භාණ්ඩ සීමා කිරීම ගැන සලකා බැලිය යුතු ය.  මේ අතර  IMF වැනි ආයතන  ඔවුන්ගෙන් ණය සහන ලබාගැනීමට යාමේ දී මෙවැනි  ආනයන සීමාවලට සහයෝගය නොදෙන බව ද මෙහිලා සඳහන් කළ යුතු ය.

රටක සංවර්ධනයෙහිලා  අපනයනාභිමුඛ ප්‍රතිපත්තියක් අනුගමනය  කිරීම ආනයන ආදේශන ප්‍රතිපත්තියක සිටිනවාට වඩා  යෝග්‍ය බව  ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.  මෙහිදී ලංකාව කවර භාණ්ඩයක් නිපදවුවද ඒවා දේශීය වෙළෙඳපොළ සඳහා පමණක් නොව  විදේශීය වෙළෙඳපොළවල් සඳහා ද යොමු  කිරීම වැදගත්ය. එසේම අදාළ භාණ්ඩ දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ යන දෙකේම තරගකාරී භාණ්ඩවීම ඉතා වැදගත් ය. (මිල අඩු සහ ගුණත්වයෙන් වැඩි). එමඟින් වැඩියෙන්  රැකියා ජනිත වීම, මහා පරිමාණව නිපදවීම නිසා පිරිමැසුම් වාසි ලැබීම සහ රටට අවශ්‍ය වෙනත් භාණ්ඩ ආනයනය සඳහා විදේශ විනිමය ලැබීම සහතික කෙරේ.  විදේශ විනිමය භාණ්ඩ නිපදවීම සඳහා  යෙදවුම් මිලදී ගැනීමටත් නිෂ්පාදන කාර්යයට ආධාරක වශයෙන් විවිධ යන්ත්‍ර උපකරණ වැනි ආයෝජන භාණ්ඩ  මිලදී ගැනීමටත් අවශ්‍ය වේ. විනිමය උපයා ගත හැකි ප්‍රධානතම මාර්ගය අපනයන වේ.

තව ද අපනයනයේ දී  තේ, පොල්, රබර් නිෂ්පාදිතය, කුළුබඩු, එළවළු සහ පලතුරු යන භාණ්ඩවලට අමතරව  කාර්මික භාණ්ඩ අපනයනය කෙරෙහි වැඩි  අවධානයක් යොමුවිය යුතුය. මක්නිසාද යත් ලෝක වෙළෙඳපොළේ වැඩියෙන් ඉල්ලු‍ම  ඇත්තේ ප්‍රාථමික භාණ්ඩ සඳහා නොව කාර්මික භාණ්ඩ සඳහාය. ඒ අතරම මේවායේ කෘෂි නිෂ්පාදනවලට වඩා පරිමාණික පිරිමැසුම් වැඩි ය. මීටත් අමතරව යන්ත්‍ර සූත්‍ර හා යාන්ත්‍රික උපකරණ, සංකීර්ණ සහ ඉහළ  තාක්ෂණයෙන්  (Complex and high tech) යුතු  භාණ්ඩ, තොරතුරු තාක්ෂණය (IT) සහ    ව්‍යාපාර ක්‍රියාවලි  බාහිරින් ලබන ගන්නා (Business Process Outsourcing) ක්ෂේත්‍රවල  ලෝක වෙළෙඳපොළේ ඉහළ විභවතාවක්  පවතී. එබැවින් ඒ ක්ෂේත්‍රවල අපනයන  පුඵල් කිරීම පිළිබඳව ද සැලකිලිමත් විය යුතු ය. තව ද යම් භාණ්ඩයක් සම්පූර්ණයෙන් නිපදවනවා වෙනුවට  කොටසක් හෝ කීපයක් පමණක් හෝ නිපදවමින් ලෝක සැපයුම් ජාලවලට සම්බන්ධවෙමින් විශේෂීකරණයවීම වැදගත් ය. ආර්ථික වර්ධනය  සහ ජාත්‍යන්තර වෙළෙඳාම අතර සෘජු සම්බන්ධයක් පවත්නා බැවින්  ලංකාව ද ආර්ථික වර්ධනය වේගවත් කිරීම උදෙසා  අපනයන ප්‍රවර්ධනය කෙරෙන විවිධ උපක්‍රම සහ ක්‍රියාමාර්ගවලට යොමුවීම අත්‍යවශ්‍ය ය.

ඒ අනුව අපනයන විභවතා ඇති භාණ්ඩ හඳුනාගනිමින්, ලෝක සැපයුම් ජාලවලට සම්බන්ධවෙමින්, වෙනත් රටවල් සමඟ නිදහස් වෙළෙද ගිවිසුම්වලට ඇතුළත් වෙමින් අපනයන පුළුල් කරන ක්‍රියාමාර්ගවලට රටක් යා යුතු ය. ඒ අනුව නිෂ්පාදන ආර්ථිකයක් තුළ දේශීය වෙළෙඳාම මෙන්ම අපනයන සහ ආනයන වෙළෙඳාම ද අත්‍යවශ්‍ය අංග  වෙයි. නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව සාකච්ඡා කිරීමේ දී වඩාත් වැදගත් ම කාර්යය වන්නේ, නිෂ්පාදනය වැඩි කරගන්නේ කෙසේ ද යන්න ය. ඒ සඳහා ඇති  එක් ක්‍රමයක් වන්නේ භූමිය,  ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය ආදී සියලු‍ සම්පත් උපරිම සහ ප්‍රශස්ත අයුරින් උපයෝජනයට ගෙන නිෂ්පාදනයට යෙදීමයි. ඒ අනුව භාවිත නොකළ සියලු‍ ඉඩම්, පාවිච්චි නොකළ සමුද්‍රීය ප්‍රදේශ, භාවිතයට නොගත් ශ්‍රම සම්පත් භාවිතයට ගතයුතුය.  අඩු ධාරිතාවෙන් ක්‍රියාත්මක කරන කර්මාන්තශාලා උපරිම ධාරිතාවට පත් කිරීමත්,  නව කර්මාන්තශාලා ඇති කිරීමත් අවශ්‍ය ය. දේශීය ආයෝජන සහ විදේශීය ආයෝජන ප්‍රයෝජනයට ගනිමින් සහ ව්‍යවසායකත්ව හැකියාව  ඇතුළු සියලු‍ සම්පත් මුළුමනින් ම ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදන පරිමාව වැඩි කර ගත හැකි ය.

කෙසේ වෙතත් මෙලෙස කරන  නිෂ්පාදනය යම් අවස්ථාවකට පැමිණි පසු පුළුල් කළ නොහැකිය. උදාහරණ වශයෙන්  භූමිය පවත්නා ප්‍රමාණයට වඩා තවදුරටත් පුළුල් කළ නොහැකි ය. පුහුණු ශ්‍රමය ද යම් අවස්ථාවකට පැමිණි පසු එය ලබාගැනීම සීමා විය හැකි ය.  ප්‍රාග්ධනය ලබා ගැනීමේ දී ද  එවැනි සීමා පවතී. කර්මාන්තශාලා උපරිම ධාරිතාවට පැමිණි පසු යළි පුළුල් කළ නොහැකි විය හැකි ය.

නිෂ්පාදනය ප්‍රසාරණය කර ගැනීමේ අනෙක් සහ වඩා වැදගත්ම ක්‍රමය වන්නේ ඵලදායිතාව (Productivity) වැඩිකර ගැනීමෙන් නිෂ්පාදනය වැඩි කර ගැනීමයි. ඵලදායිතාව යනු යෙදවුම්වලට සාපේක්ෂව ලැබෙන නිමැවුම් ප්‍රමාණයයි. නැතහොත්  යෙදවුම්වලට අනුපාතිකව ලැබෙන නිමැවුම් ප්‍රමාණයයි. නිෂ්පාදන සාධක භාවිතය වැඩි නොකර නව අදහස්, පුහුණු ශ්‍රමය, උසස් තාක්ෂණික ක්‍රම සහ දියුණු කරන ලද ව්‍යාපාර ආකෘති (business models) වැනි දෑ ආධාරයෙන් සම්පත් වඩා හොඳින් සහ කාර්යක්ෂමව සම්මිශ්‍රණය කරමින් වඩා වැඩි නිමැවුමක් ලබාගැනීමක් ඵලදායීතාවේදී සිදුවේ. ඒ අනුව නවෝත්පාදන සහ නවීන තාක්ෂණය භාවිතය, කාර්යක්ෂමතාව වැඩි කිරීම,  මානව  ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම, සහ යටිතල පහසුකම් සංවර්ධනය යනාදියෙන් රටක  සාධකවල මුඵ ඵලදායිතාව වර්ධනය කර ඒ ඔස්සේ නිෂ්පාදනය ප්‍රසාරණය කර ගැනීමට කටයුතු කළ හැකිය.

මහාචාර්ය සේමසිංහ දිසානායක

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *