|

ලංවිම බිලියන 58 ක් ලාබ ලාබයි! – ඉකොනොමැට්ටා

ලංවිම බිලියන 58 ක් ලාබ ලාබයි!
පසුගිය (2023) වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් බිලියන 58.1ක ලාබයක් වාර්තා කර තිබෙනවා. මීට පෙර ලංවිම විසින් අවසන් වරට ලාබ ලැබුවේ 2015 වර්ෂයේදීයි. ඉන් පසුව, දිගින් දිගටම වසරින් වසර පාඩු වාර්තා වුනා. 2022 වසරේ අලාභය පමණක් රුපියල් බිලියන 309.2ක් වූ අතර, ඒ සමඟ ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 598.0 දක්වා ඉහළ ගියා. මෙය 2023 මාර්තු අවසානය වන විට ශ්රීලංකන් ගුවන් සේවයේ සමුච්ඡිත අලාභය වූ රුපියල් බිලියන 612.4ට ඉතා ආසන්න අගයක්. (ඩොලර් වලින්නම් බිලියන දෙකක් පමණ)
වසර ගණනක් තිස්සේ එකතු වී ඇති ඉහත සඳහන් විශාල සමුච්ඡිත අලාභය නිසා මෙම වසරේ ලැබූ ලාභයෙන් පසුවද ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 541.3ක්. මෙම සමුච්ඡිත අලාභය අනාගතයේදී විදුලි ගාස්තු ගෙවන්නන්ට හෝ බදු ගෙවන්නන්ට පොලියත් සමඟ ගෙවන්නට සිදු වන මුදලක්. එසේ ගෙවන දිනය කල් දැමිය හැකි වුවත් කවදා හෝ මෙම මුදල විදුලි ගාස්තු ගෙවන්නන්ට හෝ බදු ගෙවන්නන්ට පොලියත් සමඟ ගෙවන්නට සිදු වෙනවා. ශ්රීලංකන් ගුවන් සේවයේ සමුච්ඡිත අලාභය වගේම තමයි.
පසුගිය වසරේදී ලංවිම ලාබ ලැබුවේ කොහොමද?
මම හිතන්නේ ඉහත ප්රශ්නයට පිළිතුර කිසිවකුට රහසක් නොවෙයි. කාලයකට පසුව පසුගිය වසරේදී ලංවිම නැවත ලාබ ලැබුවේ විදුලි ගාස්තු එකවර විශාල ලෙස වැඩි කිරීම මගින්. මේ තර්කයේම දිගුවක් ලෙස, පෙර වසර වල ලංවිම පාඩු ලැබුවේ පිරිවැයට වඩා අඩුවෙන් විදුලිය අලෙවි කළ නිසා කියාත් කෙනෙකුට කියන්න පුළුවන්. එවැනි ප්රකාශයක වරදක් නැහැ.
පසුගිය වසරේදී ලංවිම ආදායම රුපියල් බිලියන 606.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට පෙර වසරේදී (2022) එම ආදායම රුපියල් බිලියන 308.5ක් පමණයි. මෙය වසරක් තුළ ලංවිම ආදායම් 97%කින් ඉහළ යාමක්. ලංවිම ආදායම් එසේ විශාල ලෙස ඉහළ ගියේ ලංවිම කාර්යක්ෂමතාවය විශාල ලෙස ඉහළ ගියා නිසා හෝ නිෂ්පාදන පිරිවැයද විශාල ලෙස ඉහළ ගිය නිසා නොවන බවද අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. මෙය සිදු වූ විදිහ ගැන කියවන සියල්ලන්ම මෙන් හොඳින් දන්නවා.
කියවන බොහෝ දෙනෙකු විසින් නොදන්නා දේවල් කිහිපයක් පමණක් සටහන් කරන්නම්.
පසුගිය (2023) වසරේදී ලංවිම විසින් තෙල් සංස්ථාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා රජය විසින් ලංවිම කොටස් ආයෝජන ලෙස රුපියල් 126.3ක මුදලක් ලබා දී තිබෙනවා. මෙය එම වසරේ ලංවිම ලාබය වූ රුපියල් බිලියන 58.1 මෙන් දෙගුණයකට වඩා වැඩි මුදලක්. මේවා බදු මුදල්.
මේ අයුරින්ම ඊට පෙර (2022) වසරේදී, ලංවිම විසින් තෙල් සංස්ථාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 80ක් සහ තවත් රුපියල් බිලියන 251.6ක ණය කපා හැරීමක් ලෙස රුපියල් බිලියන 331.6ක කොටස් ආයෝජන සිදු කර තිබෙනවා. ඊට අමතරව, පුත්තලම ගල් අඟුරු බලාගාර ව්යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන 120.5ක මුදලක් වැය කර තිබෙනවා. මේ සියල්ල බදු ගෙවන්නන් විසින් ගෙවා ඇති හෝ ඔවුන්ට අනාගතයේදී ගෙවන්නට සිදු වන මුදල්.
රජය මැදිහත් වී විදුලි බිල සුබසාධනය කළ යුතුද?
ඉහත ප්රශ්නය රටේ මහජනතාව විසින් තීරණය කළ යුතු දේශපාලනික කරුණක්. එවැන්නක් කිරීම සාධාරණීකරණය කළ හැකි විවිධ හේතු තිබෙන්නට පුළුවන්. කෙසේ වුවත්, රජය මැදිහත් වී විදුලි බිල සුබසාධනය කරනවා කියන්නේ එම පිරිවැය වෙනත් කවරෙකුගෙන් හෝ අය කරගන්නට සිදු වෙනවා යන්නයි.
රාජ්ය මැදිහත්වීමක් නොමැතිව ව්යාපාරික කටයුතු කරන ලංවිම වැනි රාජ්ය ආයතනයක් හෝ ලාබ ලැබීම ඉලක්ක නොකරන වෙනත් පෞද්ගලික ආයතනයක් ගැන සිතමු. එවැනි ආයතනයකට වුවද, සිය වියදම් පියවා ගැනීමට හා අනාගත ආයෝජන වෙනුවෙන් අරමුදල් සපයා ගන්නට වෙන්නේ ලාබ ලැබීම මගිනුයි. එවැනි ආයතනයකට එහි “ආර්ථික පිරිවැයට” වඩා අඩුවෙන් විදුලිය සැපයිය හැක්කේ බදු මුදල් යොදවා එවැනි ආයතනයක් සුබසාධනය කරන්නේනම් පමණයි. කෙටිකාලීනව ණය විය හැකි වුවත්, යම් දිනක එම ණය බදු ගෙවන්නන් මත පැටවෙනවා.
උදාහරණයක් විදිහට, රජය මැදිහත් වී සහන මිලකට විදුලි බලය සැපයීම මගින් අපනයන නිෂ්පාදන වල පිරිවැය අඩු කර විදේශ වෙළඳපොළෙහි එම අපනයන වල තරඟකාරිත්වය වැඩි කරන්න පුළුවන්. එහෙත්, ඒ සඳහා අවශ්ය අරමුදල් කවර අයෙකු මත හෝ බදු පනවා අය කර ගන්නට සිදු වෙනවා. එහි ප්රතිඵලය එම පිරිවැයෙහි බදු බර දරන ආයතන වල නිෂ්පාදන පිරිවැය ඉහළ යාමයි. මෙහිදී වෙන්නේ රජය මැදිහත් වී එක් අයෙකුගේ වියදමින් තවත් අයෙකු සුබසාධනය කිරීමක්. මෙවැන්නක් කිරීමෙන් ලැබිය හැකි කිසියම් ශුද්ධ වාසියක් ඇත්නම් එය නිර්ණය කළ හැක්කේ පුළුල් හා සංකීර්ණ අධ්යනයකින් පසුව පමණයි.
ලංවිම බිලියන 58 ක් ලාබ ලාබයි!

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *