සයිටම් නාටකය

සයිටම් නම් වූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධිත අර්බුදය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පමණක් නොව සමස්ත සමාජයේම අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය කර ඇති බව පෙනේ. සයිටමය වසා දැමිය යුතුද, පවත්වාගත යුතුද යන්න වෙනම කතිකාවකි. එහෙත් මේ හරහා නීතියේ ආධිපත්‍යය බලවත් ආකාරයෙන් කතාබහට ලක්ව ඇති ආකාරයක් පෙනේ. අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය බලවත්ය. එය සමාජයේ හෑල්ලූවන ආකාරයෙන් කතාබහට ලක්වී ඇති බව පැහැදිලිවම පෙනී යන කරුණකි.

මෙය රටක් තුළ ජනතාව ශිෂ්ටාචාර ගත කිරීමට මඟ පෙන්වන නීතිය බලවත් ලෙස හෑල්ලූවට ලක් වී ඇති අවධියක් ලෙස සැලකිය හැකිය. රටක අනාගත සංවර්ධනය දෙස බැලීමේදී මෙය එතරම් යහපත් නොවන තත්ත්වයක් බව පෙන්වා දිය යුතුය. විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂාවීම සඳහා  ඕනෑම අධිකරණයක විභාග වන නඩුවක් නිරීක්ෂණය කිරිමේ අයිතිය ජනතාවට හිමිව ඇත. (රාජ්‍ය ආරක්ෂාව, ලිංගිකත්වය කරුණු පෙරදැරි වූ නඩුවකදී හැර). එම අයිතිය රටක ජනතාවට ලබා දී ඇත්තේ වඩාත් ස්වාධීන වූ අපක්ෂපාතී නඩු විභාගයක් පවත්වන ආකාරය සහතිකවීම සඳහාය. මෙතරම් විනිවිදභාවයකින් කෙරෙන අධිකරණ කටයුතුවලින් පසුව ලබාදෙන නඩු තීන්දුව සියලූ දෙනාම පිළිගත යුතු වේ. එමෙන්ම එම නඩු තීන්දු විවේචනය කිරීම හෝ ඒවාට එරෙහිව විනිශ්චයකාරවරුන් සහ විනිශ්චය සභා අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු කිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකෙන අතරම ඒ වෙනුවෙන් පැනවූ දඬුවම් ද ලේඛනගත වී ඇත.

අධිකරණයේ ප‍්‍රතිරූපයත්, ස්වාධීනතාවයත් වඩාත් ශක්තිමත් කිරීම උදෙසා අධිකරණයට අපහාස කිරිමේ නීති සම්පාදනය වී ඇති බව ඉතා පැහැදිලිය. එහිදී අධිකරණයකින් විභාග වුණ නඩුවකින් ලබාදුන් තීරණයක් ශාස්ත‍්‍රීය ආකාරයෙන් පමණක් විවේචනය කළ හැකි අතර එසේ නොවන  ඕනෑම අවස්ථාවක් අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකේ. විශේෂයෙන්ම මෙම නීතිය පැනවීම පිළිබඳව සඳහන් වන්නේ ”එය අධිකරණයක විනිශ්චයකාරවරයන්ගේ යහපත පිණිස පැනවුවක් නොව ප‍්‍රජාවගේ ආරක්ෂාව උදෙසා පැනවූවක්” බවයි. එහෙත් මෑත කාලයේදී දේශපාලන අවශ්‍යතා මත සහ වෙනත් න්‍යාය පත‍්‍ර මත ඉතා තදබල ආකාරයකින් අධිකරණය විවේචනය කිරීම විලාසිතාවක් බවට පත්වී ඇත. සයිටමය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් නඩු තීන්දුවේදී මෙන්ම රවිරාජ්ගේ ඝාතනය සම්බන්ධිත විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කිරීම උදෙසා ලබාදුන් නඩු තීන්දුව ද අරබයා මෙවැනි ආකාරයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන බරපතළ විවේචන එල්ල කිරීමට යම් යම් පාර්ශ්ව කටයුතු කළ ආකාරයක් පෙනේ.

සයිටම් නඩු තීන්දුව සම්බන්ධිතව සමාජ වෙබ් අඩවි හරහා අධිකරණය සම්බන්ධිතව ගොඩනැඟීමට උත්සාහ දරන මතය සමාජයේ අනාගත පැවැත්ම උදෙසා බරපතල වූ අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය කර ඇත. එහිදී තීන්දුව පමණක් නොව තීන්දුව ලබාදීමට දායක වූ විනිශ්චයකාරවරුන් පවා නිර්දය විවේචනයකට විවිධ පාර්ශ්ව විසින් ලක්කර තිබීම ඉතාම ඛේදනීය තත්ත්වයකි. මේ සෑම දෙයකින්ම පිළිබිඹු කරවූයේ අධිකරණ ක‍්‍රියාදාමය පිළිබඳව සමාජයේ ඇති නොදැනුවත් භාවයයි. මෙහිදී දේශපාලනඥයාගේ පටන් වත්මන් තරුණ පරම්පරාවේ බහුතරයක් මෙම නීති විරෝධී කටයුත්තේ නියැලූණු බව කිවයුතුය. බොහෝවිට අධිකරණයට අපහාස කිරීමේ නීතිය නොදැන සිටීම මෙයට හේතුවක් වුවත් නීතිය පිළිබඳව නොදැනුවත්කම නීතියෙන් සම්මත දඬුවම් නොලබා සිටීමට හේතුවක් නොවන බව බොහෝ දැන උගත් වෘත්තිකයන්ගේ සංගම්ද දැනගත යුතුය.

කෙසේ වුවද සයිටමය අහෝසි කරන තුරු කෙරෙන වෛද්‍ය වෘත්තිකයන්ගේ වැඩ වැරුමක් පිළිබඳව මේ දිනවල මාධ්‍ය හරහා ප‍්‍රචාරය වේ. මෙය කෙතරම් ශීලාචාර කි‍්‍රයාවක්ද යන්න නැවත නැවතත් ඔවුන්ගේ සංගමයේ සාමාජිකයන් එක්වී කථාබහ කළ යුතුය. රෝගීන් සුවපත් කිරීම මූලික කාර්ය භාරය කරගත් සහ එම රෝගීන්ට විකල්ප අවස්ථා නොමැතිව තමන්ගේ භාරයේ සිටින අවස්ථාවක තමන්ට හිමි අධිකාරිමය බලය මත එවන් ම්ලේච්ඡ සහගත තත්ත්වයක් කරා යාමට වෛද්‍ය වෘත්තිකයන් කටයුතු කරන්නේ නම් මුළුමනින්ම ඔවුන් හිපොක‍්‍රටීස් නියමයන් පැහැර හරින්නන් බව කිවයුතුය. අනෙක් අතට මේ වනවිටත් වෛද්‍යවරුන්ගේ සමහර වර්ජන සම්බන්ධයෙන් සමාජයේ ඇත්තේ දැඩි කලකිරීමකි. පසුගියදා කෙරුණු ශිෂ්‍ය උද්ඝෝෂණවල පවා දැකිය හැකි වූයේ වෛද්‍යවරුන් වශයෙන් බිහිවීමට උත්සාහ දරන ඉදිරි පරම්පරාවල පවා ඇති වෙනම කුලක පිළිබඳව වූ මානසිකත්වයයි. කලා පීඨවල කළමනාකරණ පීඨවල ශිෂ්‍ය පරම්පරාව වෙනම කුලකයක් වශයෙන් හදවතින්ම සටනේ සිටින අතර වෛද්‍ය ශිෂ්‍ය කුලකය රෝගීන් පරීක්ෂා කරන විට තමන් වෛද්‍යවරයෙක්ය යන අනන්‍යතාව විදහා දැක්වීමට තිබෙන තමන්ගේ වෛද්‍ය ලෝගුව හැඳගෙන උද්ඝෝෂණයට සහභාගි වූයේ තමන්ට වෛද්‍ය පරම්පරාවෙන් උරුමවන බමුණුකුල මතවාදය කරපින්නාගෙන විය හැකිය. එය කෙතරම් සදාචාර සම්පන්නදැයි ඔවුන් ඔවුන්ගෙන්ම විමසා ගත යුතුය.

1980 දශකයේදී පවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර තුළ කලා පීඨවල, වෛද්‍ය පීඨවල සහ ඉංජිනේරු පීඨවල සිසුන් කල් ගෙවූයේ එකටමය. පීඨ වශයෙන් වූ බමුණු කුල ඔවුන් අතර නොවීය. එහෙත් පසුකාලීනව වෛද්‍ය පීඨ සිසුන්ට වෙනම නේවාසිකාගාර අවශ්‍ය විය. ඒ නිසාම ඔවුන් විශ්වවිද්‍යාල තුළම ගොඩනැඟුණේ ඉහළ පන්ති මානසිකත්වයකින් යුක්තවය. වෛද්‍ය ලෝගු පැළඳ පෙළපාළියේ යන්නාවුන්ද ප‍්‍රදර්ශනය කළේ මෙම පන්ති මානසිකත්වයයි. සයිටමයේ කථාව කෙසේ වුවත් මේවා පිළිබඳවද බැරුම් ලෙස විශ්වවිද්‍යාල තුළ කථා බහට ලක්විය යුතුය.

සමාජය තුළ වෙනම කොටසක් වශයෙන් ජීවත්වීමට දරන්නාවූ උත්සාහය නිසාම වෛද්‍ය වෘත්තිකයන්ගේ සටන් කොතරම් සාධාරණ වුවත් විශාල සමාජ මතයක් හෝ සමාජ සහයෝගීත්වයක් නොලැබේ. අද පවා දක්නට ලැබෙන්නේ එයයි. එම නිසාම වෛද්‍යවරුන් වර්ජනය කරනවා යයි කියන්නේ රෝගීන්ට ප‍්‍රතිකාර නොකරන බවයි. රෝගීන් ප‍්‍රතිකාර නොලබනවා යයි කියන්නේ ඔවුන්ට ජීවත්වීමේ අවස්ථාව අහිමිවන බවයි. එනම් මිය යාමට සැලැස්වෙන බවයි. සැබෑවටම වක‍්‍රාකාරයෙන් ගතහොත් මේ කියන්නේ සයිටමය අහෝසි නොකළහොත් රෝගීන්ට මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන බව නොවේද?

කෙසේ වුවද සයිටමය පැත්තෙන් මතුවූ අදහස්ද අප අමතක නොකළ යුතුය. ඔවුන් පවසන්නේ ඔවුන්ගේ වෛද්‍ය උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් කිසිදු අයකු හෝ උසස් පෙළ අසමත් වූවන් නොවන බවයි. එමෙන්ම ඔවුන් සයිටමයට බඳවා ගන්නා අවම සුදුසුකම උසස් පෙළ එස්2 සහ  සී1 ඇති අය බවයි. එය සත්‍යයක් නම් ඔවුන් උසස් පෙළ සම්බන්ධිත වි.වි. ප‍්‍රතිපාදන කොමිසමේ නිර්ණායක සපුරා ඇත. අනෙක් අතට අන්තරය ගෙන යන සටන් පාඨය වූ ”සියලූම උසස් පෙළ සමත් වූවන්ට සරසවි අධ්‍යාපනය දෙනු” යන සටන් පාඨයට මුළුමනින්ම එකඟය. දැන් ඇත්තේ ගුණාත්මක භාවය පිළිබඳව වූ ගැටලූවයි. සයිටම් අධ්‍යක්ෂ මණ්ඩල මාධ්‍ය හමුවේදී පැවැසුයේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් ශ්‍රේණිගත කිරීම සඳහා ලබාදෙන අවසන් ප‍්‍රශ්න පත‍්‍රය ඔවුන්ගේ ශිෂ්‍යයන් සඳහාද වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටියත් වෛද්‍ය සභාව ඒ පිළිබඳව ප‍්‍රතිචාර නොදැක්වූ බවයි.

එසේනම් වෛද්‍ය සභාව තමන්ගේ බලය ඉක්මවා සමාජයේ ජනපි‍්‍රයවීම සඳහා බාල ප‍්‍රචාරණයක් ගෙන යන්නේද යන්නා වූ සැකය සමාජයට මතුවේ. එම සිසුන් උසස් පෙළ සමත් නම් ඔවුන් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තේ නම් සහ සයිටමය කියන පරිදි ඔවුන්ගේ දැනුම පරීක්ෂා කිරීමට ඉල්ලා සිටියේ නම් එය පැහැර හරින්නේ ඇයිද යන්න පිළිබඳව දැන ගැනීමට අයිතියක් සමාජයට ඇත.

දැනටමත් ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් විදේශ රටවල් තුළ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටිති. මේ වනවිටත් චීනයේ කියැංජි විශ්වවිද්‍යාලයේ පමණක් වෛද්‍ය  අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ගේ ප‍්‍රමාණය අසූවකට ආසන්න වේ. ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයේ සිසුන් තිහකට ආසන්න ප‍්‍රමාණයක්  අධ්‍යාපනය ලබති. මේ දැනට සොයාගත් සංඛ්‍යා ලේඛන පමණකි. මෙයට අමතරව ලෝකයේ බොහෝ රටවල්වල වෛද්‍ය අධ්‍යාපනය  ලබන ශ්‍රී ලාංකික සිසුන් ප‍්‍රමාණය ඉතා ඉහළ අගයක් ගනී.

මෙම විශ්වවිද්‍යාල තුළ අධිකරණ වෛද්‍ය විද්‍යාව කෙරෙනවාද, ප‍්‍රජා වෛද්‍ය විද්‍යාව කෙරෙනවාද, එක් ශිෂ්‍යයෙක් කෙතරම් රෝගීන් ප‍්‍රමාණයක් තම අධ්‍යයන කාලය තුළ සායනික පරීක්ෂාවන්ට ලක්කර තිබේද යන්න ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව හෝ ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සමිති සමාගම් නොදනී. එම වෛද්‍ය සිසුන්ට ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තියට පිවිසීමට අවසර ලබාදීමට තරම් ගුණාත්මක භාවයක් ලබා ඇතැයි යන්න පරීක්ෂා කිරීමට ඇති එකම නිර්ණායකය වනුයේ  ඒසීසීටී 16 විභාගය පමණි. එසේනම් එයට සමාන වූ  අයිතියක් සයිටමයට ලබාදීමට වෛද්‍ය සභාව මැලිවන්නේ කුමන කරුණක් නිසාද යන්න සමාජයට පැහැදිලි කළ යුතුය.

මෑතක සිට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හැඟීමකින් දැනීමකින් තොරව තැන නොතැන බලා ලබා දෙන්නා වූ වොයිස් කට් ඔහු පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයද බලවත් අර්බුදයක් කරා රැගෙන යන බව පැහැදිලිය. ඔහුගේ යුගයේදී ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මිලියන හයසියයක ණය මුදලක් පවා ලබාදෙමින් ආරම්භ කරන ලද සයිටමය මෙම  ආණ්ඩුවේ ව්‍යාපෘතියක් ලෙස පෙන්වීමට ඔහු අසාර්ථක උත්සාහයක නියැළෙමින් සිටී.

පසුගියදා පැවැත්වූ සයිටම් අධ්‍යක්ෂ මණ්ඩල මාධ්‍ය හමුවේදී එහි සාමාජිකාවක් ප‍්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ ඔහුගේ යුගයේදී ඔහුගේ ඉල්ලීම මත ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනකුට ශිෂ්‍යත්ව වරප‍්‍රසාද එම ආයතනය තුළ ලබාදුන් බවයි. සමාජයේ බරපතළ ප‍්‍රශ්න කෙරෙහි මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කිරීමේදී මෙයට වඩා තුලනාත්මක වූ දෘෂ්ටියකින් ඒ දෙස බැලිය යුතු බව මහින්ද තේරුම් ගත යුතුය. ඔහු වටා සිටින්නේද මේවා පිළිබඳව කිසිදු සවිඥානික බවක් නැති පිරිසක් දැයි මේවා දකින විට සිතේ. දේශපාලන බලය අද නැත්නම් හෙට ලැබේදැයි සුසුම් ලමින් සිටින පිරිස් පමණක් නොව එම සමාජ කියවීම් ඇති සමාජ සවිඥානික බවක් ඇති පිරිස් එකෙකු දෙන්නෙකු හෝ තමන්ගේ සමීප සගයන් අතර සිටිය යුතු බව මහින්ද තේරුම් ගත යුතුය.

යස් සර්,  ඕකේ සර් යන්නා වූ එහෙයියන් නිසා අවුරුදු  දෙකකට පෙර ඉල්ලන් කාපු කෑම ගැන මෙයට වඩා ඔහු අවබෝධ කරගත යුතුය. පසුගියදා රජය ගෙන ආ ගබ්සා නීතිය ලිහිල් කිරීමේ පනත පිළිබඳව වුවද ඔහු ඉදිරිපත් කරන ලද මතය දීර්ඝ අධ්‍යයනයකින් පසුව ඉදිරිපත් කරන ලද්දක් නොව දේශපාලන වාසි ලබාගැනීම උදෙසා මතුපිටින් ඉදිරිපත් කරන ලද්දක් බව පැහැදිලිය. ගබ්සා කිරීමේ නීතිය පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ ආගමික මතිමතාන්තර පෙරදැරිව හෝ සංස්කෘතික ගුණාංග හිසමත තබාගෙන නොවේ. එහි ඇති සමාජමය තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වෙමිනි. පළමුව පියෙකු නැති දරුවකුට හෝ මවගේ අවශ්‍යතාව පෙරදැරිව ඉපදෙන්නේ නැති දරුවකුට අප සමාජයේ ඇති රැකවරණය පිළිබඳව ඔහු අවබෝධ කරගත යුතුය. මාපියන්ගේ රැකවරණ ඇතුව හැදෙන දරුවන් වුවද අප සමාජයේ කෙතරම් අනාරක්ෂිත දැයි අප පළමුව වටහා ගතයුතුය. ගබ්සා නීතිය පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ ඉන් පසුවය.

කෙසේ වුවද සයිටමය වසා දමනවාද, ප‍්‍රමිතිගත කරනවාද යන්න මෙයට වඩා විවෘත මනසකින් අප අධ්‍යයන කළ යුතුය. මේ හැම කරුණකින්ම විද්‍යමාන  වන්නේ අපගේ සමාජයේ ඇති අධ්‍යාපන අර්බුදයයි. කවුරු කවුරුත් උත්සාහ කරන්නේ අනෙකාට වැඩිය කීයක් හෝ වැඩිපුර හම්බ කර ගනිමින් සමාජයේ වරප‍්‍රසාදිත   පුද්ගලයකු වීමට මිස ඔද්දල් වී ඇති සමාජය සුවපත් කිරීමට නොවන බව මේවායේ ඇති පරම සත්‍යයයි.

 ලංකාදීප

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *