විකුණන බයිලා – සී. ජේ. අමරතුංග


 

රාජ්‍ය ආයතන පාඩු ලැබීම, අකාර්යක්ෂමතාවය ඒවායේ දූෂණ හා වංචා දැන් බරපතළ ප්‍රශ්න බවට පත්ව ඇත. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් ‘කෝප්’ කමිටුව පසුගියදා වාර්තා කළේ රාජ්‍ය ආයතන පහළවක් කෝටි එකොළොස් දහසක් පාඩු ලබා ඇති බවයි. ඒ පසුගිය වසර කිහිපයකදීය. මුදල් ඇමැති රවි කරුණානායක මහතා කීවේ මෙම පාඩු සිදුව ඇත්තේ පසුගිය සමයේ බව හා දැන් ඒ සියල්ල ලාභ ලබන බවය. එනම් පසුගිය රජය සමයේ අකාර්යක්ෂම ලෙස පවත්වාගෙන ගිය එම ආයතන කාර්යක්ෂම තත්ත්වයට පත්කොට ඇති බවයි.

මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගියදා ප්‍රකාශ කළේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණා දැමීම අවශ්‍ය බවයි. රට මුහුණ දී සිටින ණය උගුලෙන් ගැලවීමට එබඳු පියවරක් වැදගත් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

විකුණා දැමීම කෙසේ වෙතත් ඇතැම් ව්‍යාපාර සඳහා පෞද්ගලික අංශය සහභාගී කරගෙන රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර ගොඩ නගන්නට රජය කටයුතු කරමින් සිටියි. හම්බන්තොට වරාය,මත්තල ගුවන් ‍තොටුපළ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආදී ආයතන ගණනාවක් ඒ අනුව ව්‍යාපාරික සැලසුම් යටතේ සංවර්ධනය කිරීමට නියමිතය. තවත් ආයතන කිහිපයක රජය සතු කොටස් විකිණීමට කොටස් වෙළෙඳපොළට යොමුකරන බවද රජය ප්‍රකාශකොට ඇත.

ඒකාබද්ධ විපක්ෂය කියන්නේ ආණ්ඩුව රාජ්‍ය ආයතන විකුණමින් සිටින බවයි. ඔවුන් කියන්නේ ඒවා ජාතික සම්පත් බවයි. ජාතික සම්පත් නොවිකිණිය යුතු බව ඔවුහු කියති. ඒ එක්තරා නොමග යැවීමක්ද සමගය. ඇත්ත වශයෙන්ම කිසිදු ආයතනයක් විකිණීමට රජය කටයුතුකොට නැතත් විපක්ෂය කියන්නේ සියල්ල විකුණන බවයි.

හෙන්චයියන් කරණය

මහින්ද රාජපක්ෂ රජය සමයේ මහා ආඩම්බරයෙන් කීවේ රාජ්‍ය දේපළ නොවිකුණන බවයි. එසේ කියා රජයේ ආයතනවලට තම ඥාතීන් හෙන්චයියන් පත්කොට ඒවා කාබාසිනියා කරමින් ඔවුනට ධනවත් වීමට එම ආණ්ඩුව අවස්ථාව සලසා තිබිණි. ඒවායේ සිදුවූ වංචා දූෂණ තරමක් හෝ එළියට ඇදෙන්නෙ දැන්ය. මේ සියලු පාඩු පියවා ගත්තේ මහජනයාගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට බදු පනවමිනි. ඛනිජ තෙල් ආදී ජන ජීවිතයට බලපාන භාණ්ඩවලට අධික මිලක් අය කරමිනි.

එම ආණ්ඩුව සංවර්ධන වැඩ කියමින් පම්පෝරි ගසන ආයතන ගැනද තත්ත්වය එසේමය. හම්බන්තොට වරායට වියදම් කළා යැයි කියන මුදලින් කළ දෙයක් නැත. ඔවුන් කියන්නේ එතරම් වියදම් නොකළ බවයි. එහෙත් පොත්වල තිබෙන හැටියට විශාල ණයක් ගෙන ඇත. එයින් කොටසක් කාගේ කාගේ හෝ සාක්කුවලට නැතහොත් බැංකු ගිණුම්වලට ගිය බව මහජනයා දනිති. සංවර්ධන වැඩ නමින් කළ බොහෝ ව්‍යාපෘතිවල තත්ත්වය ඒකකය.

එබදු තවත් ව්‍යාපෘතියක් ගැන කෝප් කමිටුව ඊයේ පෙරේදා හෙළි දරව් කළේය. ඒ ඔලුවිල් වරායයි. ඒ සඳහා කෝටි අටසියයකට වැඩි මුදලක් වියදම් කර ඇති නමුත් ශතයක ආදායමක් ලබා නැත. එයට ගත් ණය හා පොලී ගෙවීමට රජයට සිදුවී ඇත. සූරිය වැව ක්‍රීඩාංගණය වැනි තවත් ව්‍යාපෘති ගණනාවක තත්ත්වය ඒකය. මේවා ජාතික සම්පත් වෙන්නේ කොහොමද කියන එක ගැටලුවකි. කෙසේ වෙතත් දැන් කරන්නට තියෙන්නේ මේවා සම්පත් බවට පත් කර ගන්නා ක්‍රම සහ විධි සෙවීමය. ජාතික සම්පත් විකුණනවා යැයි කියමින් බොරු ඝෝෂා දමන්නට විපක්ෂය ඉදිරිපත් වී සිටින්නේ ආණ්ඩුව එය කරන්නට යනවිටය. පසුගිය කාලයේ පාඩු ලැබූ ආයතන දැන් ලාභ ලබනවා යැයි කියන විටද තවත් කරුණක් හෙළි වෙයි. එනම් මේවා මගින් කරගෙන ගිය දූෂණ වංචා යම් පමණකට හෝ සීමාවී ඇති බවයි. මහජන මුදල් කාබාසිනියා කිරීම නැවතී ඇති බවයි.

ගුවන් ටිකට්පත් ලබාගෙන සිටි මගීන් බස්සවා තමන් සමග සිටි අනූ ගණනක් රැගෙන ඒමට එමිරේට්ස් පාලනය අකමැතිවීම නිසා එම සමාගම එළවා ශ්‍රී ලන්කන් එයාර් සමාගම පවරා ගැනීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය මෙරට ජනතාවට අමතක නැත. ඉන් පසුව මස්සිනාකරණය වූ සමාගම පාඩු ලැබුවේ බිලියන ගණනකි. එහි වාර්ෂික පාඩුව වර්ෂ දෙක තුනක් සමෘද්ධිය දෙන්නට ප්‍රමාණවත්ය. ගුවන් යානා මිලට ගෙන ඇත්තේ වෙළෙඳපොළ මිලට වඩා සියයට තිහ හතළිහක අධික මිලකටය. එයින් කාගේ හෝ රහස් බැංකු ගිණුම් කරවන්නට ඇති බව සිතා ගැනීමට අපහසු නැත. දැන් ඒවා ගැන පරීක්ෂණ පැවැත්වෙයි. රාජ්‍ය සම්පත්, ජාතික සම්පත් ගැන කියමින් ජනතාව අවුස්සන්නට හදන්නේ පරීකෂණ නවත්වන්නට පොටක් හදා ගන්නටය. ඒත් දැන් එය ලෙහෙසි වන පාටක් පෙනෙන්නට නැත.

පසුගිය සමයේ විනාශ කර තිබූ ආර්ථිකය යන්තම් ගොඩ ගන්නට මේ වනවිට ආණ්ඩුවට හැකි වී ඇත. මුදල් ඇමැති කියන පරිදි පසුගිය වසර කිහිපයේ රජයට කෝටි එකොළොස් දහසක් පාඩු කළ ආයතන සියල්ල ලාභ ලබන තත්ත්වයට පත්ව ඇත. එය සියයට සියයක් හරිදැයි අපි නොදනිමු. කෙසේ වෙතත් ධීවර සංස්ථාව වැනි ඇතැම් ආයතනවලින් ලැබෙන තොරතුරු අනුව දැන් තත්ත්වය සතුටුදායකය. පෞද්ගලික පාර්ශ්වයක් සම්බන්ධ කර ගන්නට පෙර අද වනවිටත් එයාර් ලංකා පාඩුව අඩුවී ඇති බව වාර්තා විය.

මේ කියන්නේ හෙමින් නමුත් රාජ්‍ය ආයතන ගොඩ යන බවයි. ආර්ථිකය ද ගොඩයන බවයි.

රටේ ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ වැදගත් ඇගයීමක් පසුගිය සතියේ ලැබිණි. ‘ෆිච්ට් රේටින්’ ලෙස හඳුන්වන ජාත්‍යන්තර ෙශ්‍ර්ණිගත කිරීෙම් සමාගම මෙතෙක් අයහපත් නැතහොත් ‘නෙගටිව්’ ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයට ලබාදී තිබූ තත්ත්ව සහතිකය වෙනුවට ආර්ථිකය ස්ථාවර බවට සහතිකයක් ලබා දී ඇත. එය ආර්ථිකයේ තත්ත්වය ගැන උසස් පිළිගැනීමකි. එයින් පෙනෙන්නේ ආණ්ඩුව ආර්ථිකය ගොඩගැනීම ආරම්භකොට ඇති බවයි. දැඩි සත්කාර ඒකකයේ සිට වාට්ටුවට ගෙනා ආර්ථිකය නම් ලෙඩාගේ තත්ත්වය යහපත් බව මෙම ඇගැයීමෙන් තහවුරු වෙයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළෙන්ද අසන්නට ලැබුණේ එබඳුම ආරංචියකි. පසුගිය කාලයේ ඉහළ පහළ යමින් තිබූ කොටස් මිල ස්ථාවරව හා වර්ධනය වන තත්ත්වයක් වාර්තා වී ඇත. කොටස් වෙළෙඳ පොළ සමාගමක් ප්‍රකාශකොට තිබුණේ මෙය ආයෝජනයට හොඳ අවස්ථාවක් බවයි.

එසේ වුවද ඇත්තටම ආර්ථිකය ගොඩගන්නට නම් තවත් කළ යුතු ප්‍රතිසංස්කරණ බොහොමයකි. විදේශ ආයෝජන ගෙන්වාගෙන ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගැනීමට නම් එම ප්‍රතිසංස්කරණ අවශ්‍යය. ආර්ථික විද්‍යාඥයන් කියන්නේ ඒවා දැනටමත් ප්‍රමාද බවයි. එමෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන විවිධ සංඥා නිකුත්වීමද ප්‍රශ්නයකි. දැන් තිබෙන්නේ ඒවාට මුහුණ දී ඉදිරි ආර්ථික ක්‍රියාමාර්ග ගැනීමටය. මහින්ද රාජපක්ෂ නඩයේ බංකොළොත් පච ප්‍රචාරවලට මුහුණ දී ඉදිරියට යාම එහිදී වැදගත් ය.

මුදල් ඇමැතිතුමා කියන්නේ රාජ්‍ය ආයතන ලාභ ලබන බවයි. එය ඇත්ත නම් ඊළඟට මතුවිය හැකි තර්කය වන්නේ එසේනම් මේවාට පෞද්ගලික අංශය අවශ්‍ය නැති බවයි. විකිණීම හෝ හවුල් ගිවිසුම් අනවශ්‍ය බවයි. එක අතෙකින් රජයේ සියලු ආයතන අත්‍යවශ්‍ය ලෙසම ලාභ ලැබිය යුතු නැත. ප්‍රාථමික, ද්විතීයික අධ්‍යාපනය සෞඛ්‍ය සේවාව හා ආරක්ෂක සේවා අංශයන් රජය විසින් පවත්වාගෙන යා යුතුය. ඒ සමාජයීය අවශ්‍යතාවයයි. ඇතැම් වාණිජ ආයතන සම්බන්ධයෙන්ද එබඳු ප්‍රශ්න ඇත. ඒවා රජයෙන් පවත්වාගෙන යාම උපායමාර්ගික වශයෙන් වැදගත්ය. එහි ලාභය සමාජයට ලැබෙන්නේ වෙනත් ආකාරයකිනි.

විදුලි දුම්රිය සේවා ඇරඹීමේ ව්‍යාපෘතියක් දැන් ක්‍රියාත්මකය. පළමුව පානදුර සිට වේයන්ගොඩටත් පසුව අනෙක් ප්‍රදේශවලටත් එම සේවය ව්‍යාප්ත කිරීමට නියමිතය. ඇතැම් වෘත්තීය සමිති මෙයට විරුද්ධ වී ඇත්තේ එය රටට දරාගත නොහැකි ආයෝජනයක් බව කියමිනි. එයින් විශාල ආදායම් නොලැබෙන බව කියමිනි.

එසේ වුවද ප්‍රවාහන ‍ක්ෂේත්‍රයේ විශේෂඥයන් කියන්නේ මෙය රජය විසින් ක්‍රියාත්මක කළ යුතු උපායමාර්ගික වශයෙන් වැදගත් ව්‍යාපෘතියක් බවයි. එයට වියදම් වන්නේ නොරච්චෝල බලාගාරයේ පළමු අදියර ඉදිකිරීමට ගිය වියදමෙන් සියයට හැටක තරම් වියදමකි. එම මුදල ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන්නේ වසර හතළිහකින් ගෙවන සහන ණයක් ලෙස ඉතා අඩු පොලියකටය. ඒ මෙය රටට උපායමාර්ගික ලෙස වැදගත් වන නිසාය. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය කියන පරිදි මෙම ව්‍යාපෘතියෙන් පමණක් දුම්රිය සේවය ලාභ ලබන තත්ත්යට පත්කළ නොහැකිය. එසේ වුවද එහි ලාභය තිබෙන්නේ වෙන තැනකය. පානදුරේ සිට නැතහොත් වේයන්ගොඩ සිට පැය එකහමාරක්දෙකක් තිස්සේ කොළඹට ඒමට රස්තියාදු වන සේවකයන් එම ගමන විනාඩි විස්සකින් යනවිට රටට ඉතිරිවන ශ්‍රම පැය ගණන අති විශාලය. ඔවුන් එලෙස දුම්රියෙන් එනවිට අඩුවන මාර්ග තදබදය නිසා ඉතිරිවන ශ්‍රම කාලයද සැලකිල්ලට ගත යුතුය. මෙයින් ඇත්තටම සිදුවන්නේ සමස්තයක් ලෙස රටේ ආර්ථිකය කාර්යක්ෂම වීමයි. රජය මැදිහත්විය යුත්තේ මෙවැනිදේ කරන්නටය.

හෝටල් පවත්වාගෙන යාම මෙරට හා පිටරට ආයෝජකයන් විසින් හොඳින් කරගෙන යන ව්‍යාපාරයකි. රජය හෝටල් පවත්වාගෙන යාමේ උපායමාර්ගික අවශ්‍යතාවයක් නැත. එබඳු ව්‍යාපාර විකුණා දැමීමද රටට යහපතකි. මේ ඇතැම් ව්‍යාපාර ලාභ ලබනවා කියා විකුණන්නට එපා කීමේ ප්‍රවණතාවයක්ද ඇත. එසේ වුවද එහිද එක්තරා මිත්‍යාවක් ඇත. මේ ලාභ ලබනවා කියන්නේ වියදමට වඩා ආදායමක් ලබන බව පමණකි. එය ඇත්ත වශයෙන්ම ලාභයක්ද යන්න ප්‍රශ්නයකි. එම ආදායම ලබන්නේ බදු සහන හා වෙනත් ආධාර මගින් විය හැකිවීම එක් කාරණයකි. අනෙක නම් මේවාට යොදා ඇති මහජන මුදලට සාධාරණයක් ඉටු නොවීමයි.

ආණ්ඩුවේ ව්‍යාපාරික සැලැස්ම

සරලම ආර්ථික විද්‍යා මූලධර්මයකට අනුව කියන්නේ නිෂ්පාදනයට යොදන සාධක සියල්ලට ගෙවීමක් ඇති බවයි.  ශ්‍රමයට වැටුපක්, භූමියට කුලියක්, ප්‍රාග්ධනයට පොලියක් හා ව්‍යවසායට ලාභයක් වශයෙනි. ඒ අනුව ගණන් බලන්නේ නම් ලාභය ලෙස සැලකිය යුත්තේ මෙම ආයතන සඳහා යොදවා ඇති මුදලට සාධාරණ පොලියක් අයින් කිරීමෙන් පසුවය. එවිට මෙම බොහෝ ආයතනවල ඇත්ත ලාභයක් නැති බව පැහැදිලිය. එබදු ලාභයක් තිබුණද ඊළඟට බැලිය යුත්තේ ලාභ අනුපාතය ගැනය. එනම් එම මුදල් වෙනත් ව්‍යවසායක යෙදවූයේ නම් ලබාගත හැකි ලාභ අනුපාතය ලැබී තිබේද යනුවෙනි. රජයක් කටයුතු කළ යුතු වන්නේ මහජනයාගේ මුදලට සාධාරණයක් වන ආකාරයටය. එනම් එම මුදලට ප්‍රමාණවත් සේවයක් නැතහොත් සාධාරණ ලාභයක් ලැබිය යුතුය. නැතහොත් ඒවා විකුණා දමා එම මහජන මුදල් වැදගත් කාර්‍යයකට යෙදවිය යුතුය. රටට වෛද්‍ය විද්‍යාල අවශ්‍යය. විශ්වවිද්‍යාල අවශ්‍යය. මහ නගර ඉදිකිරීම් අවශ්‍යය. ප්‍රමුඛත්වය දිය යුත්තේ ඒවාටය.

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොට උපායමාර්ගික වශයෙන් වැදගත්ය. රජය ඒවා විකුණනවාය කියන්නේ බොරුවකි. කරන්නේ ව්‍යාපාරික සැලැස්මකි. එහි ප්‍රතිලාභ ලැබෙන්නේ රටේ කර්මාන්ත ඇරඹීමෙනි. මෙලෙස ආර්ථිකය ගොඩ දමන්නට හදද්දී ජාතික සම්පත් විකුණනවා යැයි කියමින් වැල් බයිලා ගහන්නට ඉදිරිපත් වී සිටින්නේ රටත් ආර්ථිකයත් කාබාසිනියා කළ පිරිසකි. මොවුන් දැන් කතා කරන්නේ මැරිලා ඉපදුනා වගේය. තමන්ගේ කාලයේ හම්බන්තොට මත්තල ලාභ ලැබුවා කියන්නේ ඒකටය. මේවාට මෙරට ජනයා හිනාවෙන්නේ කොයි පැත්තෙන්ද කියා සිතාගත නොහැකිය. කෙසේ වෙතත් රට ඉදිරියට ගෙන යන්නට නම් මෙම නඩයේ පච ප්‍රචාර තුට්ටුවකට මායිම් නොකර පරාජයට පත්කළ යුතුය. විනාශකාරී පාලනයක් පන්නා දමා මහජනයා තමන්ගේම නව ආණ්ඩුවක් ගොඩනගා ගත්තේ ඒකටය. එම ජනයා තවමත් අවදියෙනි. ශක්තිමත්ය.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *