රනිල්ගෙන් දුරේඅප්පාට ආරාධනයක් මහින්දගෙන් ගෝඨාභයට කැපිල්ලක්


* ජනාධිපතිතුමා කීවේ “අපි පුංචි කාලේ මේ වැටවල්වල තිබුණේ කතුරු මුරුංගා වැනි කන බොන ජාති. එහෙම නැතිනම් ප්‍රයෝජනයක් ගත හැකි ගස්. දැන් මේවා කොන්ක්‍රීට් වනාන්තර වෙලා” කියායි.
* අගමැතිවරයා යාපනයෙන් පැමිණ සිටි පිත්තල ව්‍යාපාරයක් පවත්වා ගෙන යන දුරේ අප්පාට පැවසුවේ පිත්තල බුදු පිළිම නිර්මාණය කරන ලෙසයි. දුරේ අප්පා අගමැතිවරයාගේ ඉල්ලීම පිළිගෙන එසේ කරන බව පැවසුවා
* ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවරය වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය සමඟ ජාතිවාදී මඟක යාමට සූදානම් නැති බවයි. පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායමක් පක්ෂය තනිවම ඉදිරියට යා යුතු බව කියනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 03 දා හෝමාගම හබරකඩ රණාල ප්‍රදේශයේ පිරිසිදු ජල නළ සැපයුම වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වුණා. එහිදි උත්සව සභාව අමතමින් අගමැතිවරයා තමාට තරුණ කාලයේ බාබර් සාප්පුවට ගොස් කොණ්ඩේ කපන්න වියදම් වුණේ රුපියල් දෙකයි පනහක් පමණක් බව ප්‍රකාශ කළා. දැන් කියන්නේ කොණ්ඩේ කපනවා කියා නෙවෙයි නේද කියා අගමැතිවරයා ඉදිරිපස සිටි තරුණයින්ගෙන් විමසා සිටියා. නැහැ. කොණ්ඩේ සෙට් කරනවා යැයි තරුණයකු පිළිතුරු දුන්නා. කොණ්ඩේ සෙට් කරන්න කීයක් ගන්නවාද කියා අගමැතිවරයා විමසුවා. රුපියල් දාහක් පමණ ගන්නවා කියා තරුණයා පිළිතුරු දුන්නා. ඒවා කරන්න ඕනා. කොණ්ඩේ බූ ගාන්න කියා අපිට කියන්න බැහැනේ.‍ තරුණ තරුණියන්ට මේවාට සල්ලි හොයන්න ඕනෑ. කොණ්ඩේ සෙට් කරන්න, යහළු යෙහෙළියන්ට දුරකථන ඇමතුම් ගන්න, ෆේස් බුක් යන්න, ට්විටර් කරන්න, පින්තුර අරගෙන වයිබර් එකෙන් යවන්න, මේවාට ජංගම දුරකථන බිල් ගෙවන්න, අලුත් විලාසිතා කරන්න, අපි ඔවුන්ට ආදායම් මාර්ග සොයා දිය යුතුයි යැයිද අගමැතිවරයා පැවසුවා. අගමැතිවරයාගේ මේ කතාවට තරුණ පිරිස ප්‍රීතියට පත් වුණා.

රජ‍ය පසුගිය අයවැයෙන් යෝජනා කළ කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයින් සඳහා වන ස්වශක්ති ණය‍ යෝජනා ක්‍රමයේ සමාරම්භය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදි 08 දා සිදු කෙරුණා. ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව දියත් කරන මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ඉතා චාම්ව මෙන්ම ආකර්ශනීය අයුරින් පැවැත්වුණේ අරලිය ගහ මන්දිරයේ ගෙවත්තේ.මේ අවස්ථාවට අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් ඇතුළු සුළු පිරිසක් සහභාගි වී සිටියා.

කුඩා සහ මධ්‍යම පරිමාණයේ ග්‍රාමීය ව්‍යවසායකයින් බිහි කිරිමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මෙම ණය යෝජනා ක්‍රමය දියත් කෙරුණු එම අවස්ථාවේ කුඩා ප්‍රමාණයෙන් පටන් ගෙන දියුණු වී සිටින ව්‍යවසායකින් හතර දෙනකු සභාව ආමන්ත්‍රණය කළා‍‍. ඒ සිව් දෙනාම ප්‍රකාශ කළේ වසර ගණනාවකට පෙර කුඩාවට ව්‍යාපාරය පටන් ගත් අවස්ථාවේ තමන්ට අත දීමට රජය හෝ කිසිවකු නොසිටි බවයි.

අලුතින් කුඩා ව්‍යාපාර ආරම්භ කරන අයට ප්‍රාග්ධනය ලබා දීමට රජය ක්‍රියාත්මක කරන මෙම ණය ව්‍යාපාතිය ගැන සිව් දෙනාම ප්‍රශංසා කළා. අගමැතිවරයා සාවධානව මේ සියලුම කතා අහගෙන හිටියා. උත්සවය අවසන් වු විට අගමැති වික්‍රමසිංහ මහතා සියලු දෙනාටම තේ පැන් සංග්‍රහයකට ආරාධනා කළා. තේ කෝප්පයක් තොළ ගාමින් පිරිස අතර ගැවසුණු අගමැතිවරයා යාපනයෙන් පැමිණ සිටි පිත්තල ව්‍යාපාරයක් පවත්වා ගෙන යන දුරේ අප්පාට පැවසුවේ පිත්තල බුදු පිළිම නිර්මාණය කරන ලෙසයි. දුරේ අප්පා අගමැතිවරයාගේ ඉල්ලීම පිළිගෙන එසේ කරන බව පැවසුවා.

කුඩාවට පටන් ගෙන දැන් ලොව පුරා ප්‍රචලිත music.lk වෙබ් අඩවියේ නිර්මාතෘ නුවන් චින්තකද උත්සවය ඇමතු එක් ව්‍යවසායකයෙක්. නුවන් දෙස ජනාධිපතිතුමා පසුගිය සතියේ පොළොන්නරුවේ තමන් හැ දී වැඩුණු ගම් පෙදෙසේ සංචාරයක නිරත වුණා. එහි දී එතුමා තමන් කුඩා කළ සිටි නිවස පිහිටි ස්ථානයකටත්, කුඩා කළ ආගිය තැන්වලටත් ගියා. එම බොහෝ තැන්වල මේ වනවිට විශාල ගෙවල් ඉදිවී කොන්ක්‍රීට් තාප්පද ඉදිවී තිබුණා. ඒවා බලා ජනාධිපතිතුමා කීවේ “අපි පුංචි කාලේ මේ වැටවල්වල තිබුණේ කතුරු මුරුංගා වැනි කන බොන ජාති. එහෙම නැතිනම් ප්‍රයෝජනයක් ගත හැකි ගස්. දැන් මේවා කොන්ක්‍රීට් වනාන්තර වෙලා කියායි.

තමන්ගේ නිවස අසල තිබූ ඇළක් බැලීමට ගිය ජනාධිපතිතුමා කීවේ “මේ ඇළේ ඒ දවස්වල මාළු හිටියා. අපි මාළු ඇල්ලුවා. දැන් මේවායේ මොකෙක්වත් නෑ” කියායි.

නිදහස් දිනයට හිටපු ජනාධිපතිතුමා සහභාගී වීම ගැන බොහෝ දෙනා කතා බහ කළා. එතුමාට ඒ සඳහා ආරාධනයක් කර තුබු අතර එය පිළිගත් බවත් නොවරදවා පැමිණෙන බවත් රාජපක්ෂ මහතා දැනුම් දී තිබුණා. එසේ වුවත් නිදහස් දිනයට පෙර දින රාජපක්ෂ මහතා දැනුම් දුන්නේ තමන්ට පැමිණිය නොහැකි වන බවයි. ජනාධිපති මන්දිරයෙන් ඒ ගැන සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියටත් මහින්ද රාජපක්ෂ මහතාටත් එක ළඟ අසුන් පනවා තිබූ නිසා රාජපක්ෂ මහතා නොපැමිණීමට තීරණය කර ඇති බවයි.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාද නිදහස් දිනයට සහභාගී වුයේ නැහැ. ඒ ගැන ද නොයෙක් කතාබහ ඇතිවුවත් එදින සහභාගී විය නොහැකි බව සම්බන්ධන් මහතා කල් ඇතිවම දැනුම් දී තිබුණා. එයට හේතු වූයේ ත්‍රිකුණාමලයේ එතුමා පූජාවන් කරන කෝවිලේ වාර්ෂික මංගල්‍යය එදිනට යෙදි ඇති බව හා එයට සම්බන්ධන් මහතා අනිවාර්යයෙන් සහභාගී විය යුතු බවයි. සම්බන්ධන් මහතා මෙම තත්ත්වය ජනාධිපති වරයාට දැනුම් දී තිබුණා.

ආණ්ඩුවේ වැඩ කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා ප්‍රධාන පක්ෂ දෙකේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. පසුගිය සිකුරාදා එම කමිටුව රැස්වුයේ ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ප්‍රධානත්වයෙන්. එහි දී මතුවූ ප්‍රධාන කාරණයක් නම් දූෂණ මර්දනය සඳහා රජය ගන්නා පියවර ශක්තිමත් නොවන බවට ජනතාවගේ මැසිවිල්ලක් ඇති බවයි. ඒ ගැන වහාම දැඩි පියවරක් ගැනීමට තමන්ට සිදුවන බව ජනාධිපතිතුමා කීවා. ඇතැම් මැති ඇමැතිවරුන් සිතුවේ ජනාධිපතිවරයා වහාම ඇමැති මණ්ඩල සංශෝධනයක් කරනු ඇතැයි කියාය. හදිසියේ ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු නොකරන බව පසුව ප්‍රකාශ වුණා.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්ද පසුගිය සඳුදා පැවැත්වුණේ ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ප්‍රධානත්වයෙන්. එහි දී ආණ්ඩුව ඇතුළේ මතුව තිබෙන විවිධ ගැටුම් ගැන සාකච්ඡා වුණා. එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු චෝදනා කළේ යහපාලන ආණ්ඩුවට දෙපාර්ශ්වය එකඟවී වැඩ කරගෙන ගියත් පළාත් සභා මට්ටමේ දී ශ්‍රීලනිපය සියලු දේ තමන්ටම බෙදාගන්නා තත්ත්වයක් පවතින බවයි. ජනාධිපතිතුමා එයට අවධානය යොමු කරන බව ප්‍රකාශ කළා.

අමාත්‍යංශවල කටයුතුවල දී මතුව තිබෙන නොයෙක් ප්‍රශ්න පිළිබඳවද මෙම හමුවේ දී සාකච්ඡා කළා. එම ප්‍රශ්න විසඳාගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කොට බරපතළ ගැටලු සම්බන්ධයෙන් තීරණ ගැනීමට කමිටු පත්කර ගත්තා.

ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර මතුව තිබෙන තත්ත්වය විසඳා ගැනීමට මෙම සාකච්ඡාව වැදගත් වූ බව එයට සහභාගී වූ මැති ඇමැතිවරුන්ගේ අදහස වුණා.

ජනතා අයිතියට පැවරුණු 18 වැනි උදා ගම්මානය වන සූරියවැව, වැලිවැව “සඳරිවිගම” උත්සවශ්‍රීයෙන් විවෘත කිරීමේ උත්සවය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවතියේ පසුගිය 03වැනිදා. කවදත් සිය පුතණුවන්ගේ වැඩ කටයුතු පිළිබඳව සොයාබලමින් අතහිත දෙන සජිත්ගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස ආර්යාවද මෙම අවස්ථාවට පැමිණ සිටීම විශේෂත්වයක් වුණා. උත්සවයේ දී ප්‍රතිලාභී නිවාසලාභීන්ට හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට අමතරව පවුල් 1, 800කට ප්‍රතිලාභ අත්වන විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබුණා. සිය නිවෙස් කපරාරු කර ගැනීම සඳහා ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීපවුල් 656 කට රුපියල් ලක්ෂ 59ක වියදමින් සිමෙන්ති ලබා දීම, “ශිල්ප සවිය” යටතේ ඉදිකිරීම් පුහුණුව සඳහා තෝරාගත් ප්‍රදේශවාසී තරුණ- තරුණියන් 450 දෙනෙකුට රුපියල් ලක්ෂ 173 ක වියදමින් වෘත්තීය පුහුණු කට්ටල් ලබා දීම, ප්‍රදේශයේ පෙර පාසල් 33කට රුපියල් 170, 000/-ක වියදමින් ජල පෙරණ ලබා දීම, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් රුපියල් 384, 000/- ක වියදමින් පුද්ගලයන් 450 දෙනෙකුට නොමිලයේ ඇස් කණ්ණාඩි ලබා දීම, ‘යුනි ලීවර්’ සමාගමේ ‘සෞභාග්‍යා’ස්වයං රැකියා වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 50 දෙනෙකුට පොළී රහිත ණය මුදල් ලබා දීම ඇතුළු සේවාවන් රැසක් ඊට ඇතුළත් වුණා.

පසුවදා එනම්, 69 වැනි නිදහස් දා සැමරුම සූරියවැව, කරුවලගස්වැව දී පැවතුණේ “ඩී.එස්.සේනානායක ගම” සඳහා මුල්ගල් තැබීමේ උත්සවයයි. නිවාස 70 කින් සමන්විත මෙම ගම්මානය ලබන වසරේ දී එළැඹෙන 70 වැනි නිදහස් සමරු උළෙලේ දී ජනතා අයිතියට පැවරීමට නියමිතයි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් පත් කළ නිවාස විෂයය පිළිබඳව විද්වත් ජාතික උපදේශක සභාවේ ප්‍රථම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වුණේ ඉකුත් බදාදා පෙරවරුවේ දී ය. ඩබ්ලියු. ඩී.අයිලප්පෙරුම, සුසිල් සිරිවර්ධන ඇතුළු මෙරට නිවාස සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රවීණ අත්දැකීම් සහිත විද්වතුන් 19 දෙනෙකුට ඊට ඇරයුම් කර තිබුණු අතර ඉන් 18 දෙනෙකුම පැමිණ සිටියා. එහි දී නාගරිකරණය වෙමින් පවතින යුගයක ඇතිවිය යුතු නිවාසකරණය පිළිබඳ නව දැක්ම; ජනාවාස නිර්මාණයේ දී භූගෝලීය හා ආර්ථික ප්‍රවණතාවන් මත පදනම්ව වැඩසටහන් සම්පාදනය; විදෙස් රටවල උසස් තාක්ෂණය මෙරටට උචිත පරිදි යොදා ගැනීම; යල් පැන ගිය තාක්ෂණය වෙනුවට ජනතාවද අනුමත කරන උචිත තාක්ෂණ ක්‍රමවේදයන් වෙත යොමු වීම හා ඉඩම් සම්පත සකසුරුවම් ලෙස භාවිත කළ හැකි වන පරිදි සහාධිපත්‍ය නිවාස ක්‍රම නගරයෙන් බැහැරටද රැගෙන යාම වැනි ඉතා වැදගත් කරුණු රැසක් මෙහි දී සාකච්ඡා වුණා.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නඩු තීන්දුවක් ලබාදීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අධිකරණයේ තීන්දු දීමේ අයිතියට ගරු කරන අතර තීන්දුවේ හරයට තම පක්ෂය එකඟ නොවන බවත් සයිටම් ආයතනය අහෝසි කරන තුරු සටනක් දියත් කරන බවත්ය. එමෙන්ම මේ පිළිබදව සියලූම සංවිධාන සමඟ සාකච්ඡා කිරීමටද කටයුතු කරන බව ද ජවිපෙ කියා සිටියා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව පසුගිය හයවෙනිදා ජවිපෙ නායක අනුර දිසානායක සහ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී වෛද්‍ය සංගමයේ නියෝජිතයින් හමුවූණා. මීට පෙර වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය සම්බන්ධයෙන් තම සංගමය මැදිහත්වූ බව ද ඇතැම් අවස්ථාවල දී නඩුවලට පවා පෙනී සිටි බව ද වෛද්‍ය සංගමයේ නියෝජිතයෝ පෙන්වා දුන්නා. ”අභියාචනාධිකරණයේ තීන්දුව අභියෝගයට ලක්කරන්න පෙත්සමක් ගොනු කළ යුතුව තිබෙනවා. අපිට දැනගන්න තියෙන විදියට බොහෝ නීතිඥයින්ට සයිටම් ආයතනයෙන් මුදල් ලැබිලා තියෙනවා මේ නඩුවට පෙනී ඉන්න එපා කියලා” වෛද්‍ය සංගමයේ නියෝජිතයෙක් කියා සිටියා. කෙසේ වෙතත් දෙපාර්ශවයම ඒකාබද්ධව කරන අරගලයක් සඳහා ඉදිරියේ දී සාකච්ඡා කිරීමට එකඟව එදින සාකච්ඡාව අවසන් වුණා.

මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක්ද පසුගිය 07වෙනිදා ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක හමුවී සයිටම් ආයතනය සම්බන්ධයෙන් විරෝධතා ක්‍රියාමාර්ගවලට එක්වන බව දන්වා සිටියා. ”ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු 1600ක් පමණ ඉන්නවා. එයින් 1100ක් පමණ අපේ සංගමය නියෝජනය කරනවා. ඇත්තටම අපි ඉතාම කම්පනයට පත්වුණා, වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැන තීරණය කරන වෛද්‍ය සභාවේ මතය ආණ්ඩුව පිළිගන්නේ නැත්නම් අපේ රටේ තත්ත්වය මොකක්ද?” විශේෂඥ වෛද්‍යවරයෙක් කියා සිටියා. මිනිස්සුන්ගේ ජීවිතවල වගකීම පැවරිලා තියෙන්නේ ඔබතුමාලට. ඒ නිසා වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය ගැන අරගලයක් කරන්න ඔබතුමාලා පෙනී ඉන්න ඕනැ. අපි සතුටු වෙනවා, ඔබතුමාලා අපිත් එක්ක මේ ගැන සාකච්ඡා කරන එකටයි එක සටනකට එකතු වෙන එකටයි.” බිමල් රත්නායක කීවා.

මේ අතර පසුගිය අටවෙනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් හමුවුණා. මේ අවස්ථාවට අ.වි.ශි.බ.ම. වැඩබලන කැඳවුම්කරු හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් විසිදෙනෙකුට වැඩි පිරිසක් සහභාගි වී සිටියා. මෙම සාකච්ඡාවේ දී ශිෂ්‍ය සංගම් තමන් ඉදිරියේ දී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් දැනුවත් කළා, එම අරගලයට සහාය දක්වන ලෙසද ඉල්ලා සිටියා. තම පක්ෂය මුල සිටම සයිටම් විරෝධී අරගලය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් නියෝජනය කළ බවත් ඉදිරියේ සියලූම ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන, වෛද්‍ය සංගම්, වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධ අරගලයකට සූදානම් බවත් ජවිපෙ ශිෂ්‍ය සංගම් නායකයින්ට දැනුම් දුන්නා.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පසුගියදා බත්තරමුල්ලේ දී පැවැත්වුණා. නුගේගොඩ රැස්වීමට ආණ්ඩුවෙන් කිසිවකුත් ගෙන්වා ගැනීමට නොහැකිවීම ගැන එහිදී කතාබහ වුණා. නායකයන්ගේ මතය වූයේ ආණ්ඩුවේ කලකිරී සිටින පිරිස ඉවත් කර ගත හැකිවන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමත් සමඟ බවයි. එතෙක් පෙරැළියක ඇරඹුම රැස්වීම් රට වටා පැවැත්වීමටත්, මීළඟ රැස්වීම මාර්තු පළමුවැනිදා ගාල්ලේ පැවැත්වීමටත් එහිදී තීරණය වුණා.

මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ නායකයා තමන් බවත්, ඉදිරි මැතිවරණයකට වෙනම තරග කරන බවත් ප්‍රකාශ කළා. එම ප්‍රකාශයට එක් හේතුවක් වූයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාත්, විදුර වික්‍රමනායක මහතාත් වෙන වෙනම රාජපක්ෂ මහතා හමුවී කරන ලද ඉල්ලීමක්. දෙවරක දී හමුවුවද ඔවුන් දෙදෙනාම ඉල්ලා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වය ගොඨාභය රාජපක්ෂ මහතාට පවරා මහින්ද රාජපක්ෂ මහතා ඉවත්විය යුතු බවයි. එසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා කීවේ ජනතාව ඉල්ලන්නේ තමාව මිස ගෝඨාභය නොවන බවයි.

මේ අතර ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළා. ඔවුන් පෙන්වා දුන්නේ ශ්‍රීලනිපයේ බෙදීම නිසා එජාපය ශක්තිමත් වන බවයි. එබැවින් ජනාධිපතිතුමා සමඟ ප්‍රශ්න විසඳාගෙන සමඟි වන ලෙස ඔවුහු ඉල්ලා සිටියා. එසේ වුවද හිටපු ජනාධිපතිවරයා එයට ද එකඟ වූයේ නෑ.

ලංකා සමසමාජ පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් ඉදිරි සති‍යේ පැවැත්වීමට නියමිතයි. පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වන්නේ ඉදිරි උපාය මාර්ග පිළිබඳව තීරණය කිරීමටයි. එහි නායකයන් පවසන්නේ එක්සත් ජනතා නිදහස් සන්ථානයෙන් නිල වශයෙන්ම ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයට එකතුවීමට මෙම රැස්වීමේ දී තීරණය විය හැකි බවයි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවරය වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය සමඟ ජාතිවාදී මඟක යාමට සූදානම් නැති බවයි. පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායමක් පක්ෂය තනිවම ඉදිරියට යා යුතු බව කියනවා. නමුත් රාජා කොල්ලුරේ මහතා ඇතුළු පිරිසක් කියන්නේ ඒකාබද්ධ විපක්ෂය සමඟ යා යුතු බවයි. ඒ පිළිබඳව තීරණ ගැනීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය නවවැනි සිකුරාදා (අද) රැස්වීමට නියමිතව තිබෙනවා. එයින් ද ප්‍රශ්නය නොවිසඳුනහොත් ප්‍රශ්නය හෙට පැවැත්වෙන මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා තීරණය කොට තිබෙනවා. කෙසේ වෙතත් පක්ෂය තුළ පවතින්නේ බරපතළ ගැටුම්කාරී තත්ත්වයක්.

ඔක්තෝබර් විප්ලවය සැමරීමට අගමැතිවරයාගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට මේ දිනවල ලහි ලහියේ කටයුතු සිදුවෙමින් පවතිනවා. ගාමිණී වියන්ගොඩ, චන්ද්‍රගුප්ත තේනුවර, ධර්මසිරි බණ්ඩාරනායක ආදීන් එහි පෙරමුණ ගෙන සිටිනවා. මාස ගණනක් පවත්වන වැඩසටහනක් ආරම්භය ලබන මාර්තු 10 දා සිදුකරනු ලබන්නේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාගේ දේශනයකිනි. චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු පිරිසක් සකස් කරන ප්‍රදර්ශනයක් ද එදින පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා. එය පසුව රට වටා ගෙන යනු ඇත. රවිබන්දු විද්‍යාපතිගේ බැලේ නාට්‍ය දර්ශනයක් ද, ගයත්‍රී කේමදාසගේ සංගීත සංධ්වනියක් ද එදිනට වේදිකා ගතකිරීමට සැලසුම් කරමින් තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *