|

වැඩියෙන් සහන ගන්න ආර්ථික වර්ධනය අඩුවෙන් පෙන්නලා ! – ණය හිමියන්ගෙන් දෝස්මුරයක් !!

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී වැඩි සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ  ආර්ථික වර්ධනය පිළිබඳ ඉලක්ක අඩුවෙන් දක්වා ඇති බවට ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන් චෝදනා කරන බව එම සාකච්ඡා පිළිබඳ තතු දත් ආරංචි මාර්ග වාර්තා කර ඇත.

ණය හිමියන්ගේ අදහස වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහනේ පෙන්වා ඇති ආර්ථික වර්ධනය පිළිබඳ පුරෝකථන ඉතා අශුභවාදී බව යි. එම සංඛ්‍යාවල දැක්වෙනවාට වඩා වැඩි ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව ණය හිමියන්ගේ මතය වී ඇතැයි කියති.

2024 වසර සඳහා ආර්ථික වර්ධන පුරෝකථනය සියයට 1.8 ක් වුව ද, රටට ලබාගත හැකි සත්‍ය වර්ධනය සියයට 3 ක් ඉක්මවනු ඇති බව ඔවුන්ගේ මතය වී ඇත. ඉදිරි වසර වල දී සියයට 5 ඉක්මවූ ආර්ථික වර්ධනයක් මෙරටට  ලබාගත හැකිවන බව ඔවුහු ප්‍රකාශ කරන බව කියති.

මෙලෙස ආර්ථික වර්ධනය අඩුවෙන් පුරෝකථනය කිරීම මගින් ණය ගෙවීමේ හැකියාව අඩුවෙන් පෙන්වා වැඩි සහනයක් ලබා ගැනීමට උත්සහ දැරීමක් සිදුකොට ඇති බව එම ණය හිමියන්ගේ අදහස වී තිබේ.

මෙම තත්ත්වය තුළ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන් රජයට ඉදිරිපත් කොට ඇති යෝජනාවක සඳහන් වන්නේ ආර්ථික වර්ධනයට සම්බන්ධ කළ බැඳුම්කර නිකුතුවක් මගින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ය. එනම් ආර්ථික වර්ධනය අඩු නම් අඩු ප්‍රතිලාභ හිමිවන නමුත් වැඩි ආර්ථික වර්ධනයක දී වැඩි ප්‍රතිලාභ හිමිවන නව බැඳුම්කර නිකුතුවක් මගින් පැරණි බැඳුම්කර ඉවත් කිරීම යි.

එහි දී සියයට 20 ක ණය කැපීමකට එකඟ බවත්, පුරෝකථන වල  සඳහන් අඩු ආර්ථික වර්ධනය සත්‍ය වර්ධනය විවහොත් පමණක් එම අවස්ථවේ දී ඊට වැඩි ණය කැපීමකට එකඟ බවත්, ණය හිමියන්ගේ ස්ථාවරය වී ඇති බව දැනගන්නට ඇත.

ණය හිමියන්ගේ එම යෝජනාව ප්‍රතික්ෂේප කොට ඇති රජය එයට විකල්ප යෝජනාවක් ණය හිමියන්ට ඉදිරිපත් කොට තිබේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ මැදිහත්කරු වන ලශාඩ් සමගම මගින් එම නව යෝජනාව ණය හිමියන් වෙත බාර දී ඇති අතර ඒ පිළිබඳ සාකච්ඡා ඉදිරි දිනක දී ලන්ඩන් නුවර දී සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *