විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් යයි

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

ඒ මහතා පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහු පසුව සිය කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කළේය.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නොයෙල් ප්‍රියන්ත මහතා ඉල්ලා අස්වූ බව නිවේදනය කර තිබුණි.

දරුවන්ට පාඩම් කිරීමට කුප්පි ලාම්පු එළිය ප්‍රමාණවත් බවට ඔහු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම ආන්දෝලනාත්මක තත්ත්වය ඇතිවිය.

මේ අතර, විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය ගැන සොයා බලා විනය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.

වතු කම්කරු නායකයන් සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ගයන්ට රජය කිසිදු හානියක් හෝ අපහාසයක් නොකරන බව ද ඔහු අවධාරණය කළේ ය.

කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව මත නිලධාරියාට එරෙහි ව විනය පියවර ගන්නා බව කියා සිටි අග්‍රාමාත්‍යවරයා, මෙම ප්‍රශ්නය මතුකිරීම ගැන විපක්ෂ නායකවරයාට ද සිය ස්තූතිය පළ කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,

”ගරු කතානායකතුමනි, විරුද්ධ පක්ෂයේ නායකතුමා නඟන මේ ප්‍රශ්නයට අපි මේ වන විටත් ඒ නිලධාරියා කර තිබෙන ප්‍රකාශයේ සත්‍ය හා අසත්‍යතාව මත අවශ්‍ය විනය පියවර ගැනීමට උපදෙස් දීලා තියෙනවා. මම ස්තූතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමාටත් මේක නැඟීම ගැන. ඒ වාගේම, රාධක්‍රි‍ෂ්ණන් වතු කම්කරු නායකතුමා මෙතන ඉන්නවා, ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාලා, තොණ්ඩමන් මහත්තයලා ඉන්නවා. අපි සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ගයට රජය කිසිම හානියක් හෝ අපහාසයක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ”

අද දෙරණ 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *