මේ අරාජිකත්වය අවසන් කළ යුතු ය – අජිත් පැරකුම් ජයසිංහ

රට වේගයෙන් අරාජිකත්වයක් වෙත තල්ලු වෙමින් තිබේ. එය නිරූපණය වන පැති කීපයක් තිබේ.

රටේ පැහැදිලි දේශපාලන නායකත්වයක් නැත. ජනාධිපතිවරයා හා අගමැතිවරයා කටයුතු කරන්නේ ඒකීය ධාරණාවකින් නො වන බව පැහැදිලි ය. ඔවුන් අතර සාකච්ඡා, අවබෝධතා හා සම්මුති ඇති බවක් නො පෙනේ.

විශේෂයෙන් ම අගමැතිවරයාගේ ගජමිතුරු කල්ලිය කටයුතු කරන ආකාරය ගැන දැඩි විවේචනයක් තිබේ. එය වනාහි රට හෝ ආණ්ඩුව හෝ තමන්ගේ පක්ෂය හෝ ගැන සිතා කටයුතු කිරීමක් නො වේ. ඒ වෙනුවට මෙම ගජමිතුරු කල්ලිය සිටින්නේ මනෝ රාජ්‍යයක ය. බලය රැක ගැනීමේ හෝ උවමනාවක් ඔවුන්ට ඇති බවක් නො පෙනෙන අතර කටයුතු කරන්නේ සිහිනෙන් ඇවිදින්නන් සේ ය.

අගමැතිවරයාගේ මූලිකත්වයෙන් දියත් කර ඇති ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය රජය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා මේ මොහොතේ අවශ්‍ය ඒවා ය. එහෙත්, තමන් කරන්නේ කුමක් ද යන්න පිළිබඳව මුලින් තමන්ගේ පක්ෂය සමග ද, දෙවනුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂය සමග ද සාකච්ඡා කළ යුතු ය. ඉන් පසු ඒ පිළිබඳ ජනතාව අතර යහපත් සංවාදයක් ඇති කර ගත යුතු ය. ඒ කිසිවක් කිරීමේ උවමනාවක්වත්, හැකියාවක්වත් අගමැති වටා සිටින පිරිසට නැත.

ජනාධිපතිවරයාගේ මූලික ගැටලුව වන්නේ දෘෂ්ටියක් නැතිකමයි. තමන් කවුරුද, තමන් ජනාධිපති පදවියට පත් වුණේ කුමන සංදර්භයක් තුළ ද, රට තමන්ගෙන් අපේක්ෂා කරන නායකත්වය කුමක් ද, රට දැනට තිබෙන තැනින් කුමන තැනකට යොමු කළ යුතු ද යන කරුණු පිළිබඳව ඔහුට හෝ ඔහු වටා සිටින පිරිසට හෝ අදහසක් ඇති බවක් නො පෙනේ. ඒ වෙනුවට එතුමා ගෙදරින් ගෙනා බත් මුල කන්තෝරුවේදී කා, උත්සව තිබුණොත් එහි ගොස් ඇට්ටි හැලෙන කතාවක් පවත්වා එයි. ඔහු හිතන්නේ ජනාධිපතිකම එය ය කියා විය හැකි ය.

එහෙම අයට පාලනය කරන්නට පුළුවන් රටවලුත් තිබිය හැකි ය. එහෙත්, පල් හොරුන් හා බොරුකාරයන් රැළක් වන සකලවිධ දේශපාලකයනුත්, නියම අංකූරන්ගෙන් කුසැදි දැවැන්ත අකාර්යක්ෂම රාජ්‍ය සේවා පිල්ලුවත්, රටට ම ගැලපෙන නල්ල මලේ ජනතාවත් එක්ක ඔය වගේ නායකයන්ට වන්නේ දෙයියන් විෂ දෙන්නට පෙර කාලේ සර්පයන්ට වෙච්ච දේ ය. දරට ගිය අය දරමිටි බඳින්නට සර්පයන් ගත්තා සේ මේ නායකයන්වත් ලණුවට, දරණුවට ගන්නා තත්වයට ගොස් තිබේ.

ලංකාවේ ජනතාව වනාහි ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස භාවිතා කළ යුතු විනයක් ඇති පිරිසක් නො වන බව නැවතත් ඔප්පු කරමින් තිබේ. දැන් අපට ප්‍රජාතන්ත්‍රවාදය එපා යයි විප්ලවවාදියෝ පවා කියති.

කෙසේ හෝ මේ වනාහි ආණ්ඩුව රට පාලනය ගැන ගැඹුරින් සිතිය යුතු මොහොතකි. ජනාධිපති හා අගමැති අතර යහපත් සංවාදයක් ඇති විය යුුතු ය. පාලක සන්ධානයේ නායකයන් අතර තමන් කරන දේ ගැන අවබෝධයක් තිබිය යුතු ය. දේශපාලන නායකත්වය හා රජයේ නිලධාරින් අතර මනා සම්බන්ධීකරණයක් තිබිය යුතු ය. දේශපාලකයන් දුර්වල වී තිබෙන මෙම මොහොතේ රජයේ නිලධාරීන් හෝ නායකත්වයට වගකිව යුතු ය.

පුරවැසි ව්‍යාපාර මෙම තත්වය ගැන ගැඹුරින් කල්පනා කළ යුතු ය. තව දුරටත් පීඩන කණ්ඩායම් දේශපාලනයෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි තත්වයක් නැත. පුනරුද ව්‍යාපාරයේ අදහස වන ජනතාව දියුණු වුණොත් පාලකයන් දියුණු වේ යයි සිතා වැඩ කරන්නට තරම් අවිහිංසාවාදී දේශපාලනයක් ද ලංකාවේ නැත. මහජනතාව දේශපාලන බලය ගැන බැරෑරුම්ව සිතිය යුතු ය.

දේශපාලකයන් දේශපාලනය කරන්නේ නැතිනම් මෙය කියවන ඔබ හෝ දේශපාලනය කළ යුතු ය. ඔබේ අදහස් පළ කරන්න.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *