සයිටම් අර්බුදය – වසන්ත ප්‍රිය රාමනායක

 

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කුහකත්වයෙන් තොරව පමණක් නොව ළිං මැඩි මානසිකත්වයෙන් තොරව කල්පනා කිරීමේ වැදගත්කමක් තිබේ. රජයේ වෛද්‍ය සභාව පසුගිය රාජ්‍ය සමයේ කල්පනා කළේ අඩුපාඩු සකස්කර ගැනීමේ පදනම යටතේ තාවකාලිකව හෝ සයිටම් ආයතනයකට අවසර දීමේ පිළිවෙතකි. ඒ බව එහි සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ප්‍රකාශවලින්ම පැහැදිලි වුණි.

නිදහස් අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනයේ නිදහසද ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත් වේ. අධ්‍යාපනයේ නිදහස යන්නෙන් අදහස් කරන්නේ ඕනෑම කෙනෙකුට තමන් කැමැති විදිහට කැමැති තැනකින් අධ්‍යාපනය ලැබීමට තිබෙන නිදහස යි. අද ලොව පුරා දක්නට ලැබෙන අධ්‍යාපනයේ නිදහස එයයි.

අධ්‍යාපනික වශයෙන් මූලික සුදුසුකම් සපුරා නැති කෙනෙකුට හෝ වුවද පසු කලෙක අවශ්‍ය වුවහොත්, තම අත්දැකීම් ඇසුරෙන් පශ්චාත් උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව සැලසීම ද අධ්‍යාපනයේ නිදහසට අයත් වේ. තමා එය (පශ්චාත් උපාධිය) ලබා ගන්නේ කොතැනින් ද යන්න තීරණය කරන්නේ ඔහු විසිනි. වත්මන් ලෝකය ගමන් කරමින් සිටින්නේ මෙවන් ප්‍රගතිශීලි තැනකට බව පෙනේ. ඒ සඳහා අය කරනු ලබන මුදලක් වෙත් නම්, ඊට තමන් එකඟ නම්, ඊට ඉඩක් ලැබෙන අයුරින් පරිසරයක් සකස් වීමට ඉඩ හැරීම රටක ආණ්ඩුවක වගකීමකි.

මෙහි දී රජය මැදිහත් විය යුත්තේ ඒවායේ ප්‍රමිතිය ආරක්ෂා වන පැත්තෙනි. ඊට හේතුව ඒවා මුදල් ප්‍රමුඛත්වයට ගෙන ජාවාරම්කරුවන්ට අවැසි ලෙස පිහිටුවා ගන්නා ලද හොර උපාධි කඩ නොවීම උදෙසාය. ශ්‍රී ලංකාව තුළ පළමු වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල උපාධිය දක්වාම අධ්‍යාපනය සැපයෙන්නේ නොමිලේ ය. මෙය වෙනත් කිසිම රටක නොමැති මට්ටමින් රටක ජනතාවට ලැබී ඇති සුබසාධන වරප්‍රාසාදයකි. මේ වරප්‍රසාදය වෙනත් රටකට ලැබී තිබේ නම් එය ඉතා සීමිත අතලොස්සකට බව පෙනේ.

බොහෝ රටවල නිදහස් අධ්‍යාපනය උසස් අධ්‍යාපනය සඳහා නොමැත. සමහර රටවල එය ප්‍රාථමික අධ්‍යාපනයට සීමා වේ. කියුබාව වැනි රටක් හැරෙන්නට සමාජවාදී රටවල වුවද උපාධිය දක්වා ම නිදහස් අධ්‍යාපන වරම් දක්නට නොලැබේ. එ් අනුව ශ්‍රී ලංකාවේ සෑම රජයක්ම පොදුවේ මෙම සුවිශේෂී අධ්‍යාපන වරම සුරක්ෂිත වන අයුරින් කටයුතු කර තිබේ.

නිදහස් අධ්‍යාපනය

මේ වන විට නොමිලේ පාසල් පොත් හා නොමිලේ නිල ඇඳුම් ලබාදීම දක්වාම එම අවස්ථාව පුළුල්කර ඇත. සමහර දුෂ්කර පාසල් සඳහා නොමිලේ පාසල් දිවා ආහාරය සැපීමට ද රජය මගින් පහසුකම් සලසා ඇත. මේ අතර වත්මන් රජය පළමු වසරේ සිට දහතුන් වැනි වසර දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට කටයුතු කරමින් සිටී.

එහෙත් විශ්වවිද්‍යාල වරම් ලබන සියල්ලටම නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමේ හැකියාවක් රජයට නොමැත. එය ලෝකයේ කිසිම රටක ක්‍රියාත්මක නොවන්නකි. එසේ ම එය ප්‍රායෝගික ද නොවේ. සමාජ සුබසාධනය උදෙසා අති විශාල මුදලක් වැය කරන තවමත් සුබසාධන රාජ්‍යයක් ලෙසින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන්නා වූ රටකට එය කිසිසේත්ම කළ නොහැකිය. උසස් පෙළ සමතුන් සියල්ලන්ටම අතිවිශාල මුදලක් වැය කරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දීමට මුදල් වැය කිරීමට ගියහොත් අනෙක් අත්‍යවශ්‍ය කාරණා සඳහා මුදල් වැය කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට මේ පිළිබඳ සටන් පාඨය ඉදිරිපත් කරන අන්තවාදීන් පිළිතුරු දෙන්නේ නැත. විශේෂයෙන් ම රු. 10/=ක් උපයාගෙන රු. 20/=ක් පිටරටින් භාණ්ඩ ආනයනය කිරීමට වැය කරන රටකට එය කිසිසේත්ම කළ නොහැකි ය.

එහෙත් වසරින් වසර යම් ප්‍රතිශතයකින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගන්නා පිරිස වැඩි කළ හැකි ය. රජය එය දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටී. 2010 වසරේ උසස් පෙළට පෙනී සිටි අයගෙන් 61% විශ්වවිද්‍යාල වරම් ලැබූහ. එහෙත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගනු ලැබුවේ 17.2%කි. එනම් 21547 කි. 2014 දී 58%ක් සරසවි වරම් ලැබීම සඳහා සුදුසුකම් ලැබුව ද බඳවා ගනු ලැබුවේ 17.5%කි. එනම් 25, 200 කි. මෙවර 2015/16 වසර සඳහා 27603ක් බඳවා ගැනීමට නියමිතය. එහෙත් දැනට බඳවා ගෙන තිබෙන්නේ 26541කි. 2020 වන විට රජය මෙම සංඛ්‍යාව 50, 000 දක්වා වැඩි කිරීමේ ඉලක්කයක් සහිත ව කටයුතු කරන බව පෙනේ.

මේ අතර අද දක්නට ලැබෙන විශේෂ ප්‍රවණතාවය විශ්වවිද්‍යාවලට බඳවා ගැනීමට තීරණය කරනු ලබන ප්‍රමාණයවත් අවසානේ නොපැමිණිමයි. 2015/16 සඳහා තෝරා ගෙන ඇති සිසුන් 27, 603කින් 26, 541 පැමිණෙන්නේ එ් නිසාය. බඳවා ගැනීමට ගත වන ප්‍රමාදය, විශ්වවිද්‍යාල සිසුන්ගේ කලකෝලහාල හා විවිධ ගැටුම් නිසා සිදු වන ප්‍රමාදයන් සමහරුන්ට රජයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිකුල් කිරීමට හේතු වී ඇත.

පහසුකම් සැපයීම

රටක් විශ්වවිද්‍යාල වරම් ලබන සියල්ලටම විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලැබීමේ පහසුකම් සැපයිමට නොහැකි නම් හා එ් සඳහා සුදුසුකම් ලබන පිරිසෙන් 17%ක් වැනි ඉතා නොවැදගත් ප්‍රතිශතයක් පමණක් බඳවා ගනු ලබනනේ නම් විකල්පය කුමක්ද ? පෞද්ගලික මට්ටමින් බාහිර උපාධි සඳහා ඇති ඉඩකඩ පුළුල් කිරීමයි. එසේ නොවන්නේ නම් අධ්‍යාපනයේ නිදහස අහිමි වනු ඇත.

මේ නිසා අද එම අවස්ථාව (බාහිර උපාධි) පුළුල් වෙමින් පවතී. දහස් ගණනක් සිසුහු දේශීය හා විදේශීය වශයෙන් විවිධ විෂයන් යටතේ බාහිර උපාධි ලබා ගනිමින් සිටිති. මේ සඳහා විදේශීය රටවලට ඇ දී යන මුදල් ප්‍රමාණය ද වසරින් වසර වැඩි වෙමින් පවතී. එය විදේශ විනිමය හිඟකමකින් පසුවන ශ්‍රී ලංකාව වැනි රටකට අහිතකර වුවද අධ්‍යාපනය වෙනුවෙන් එම අවස්ථාව සීමා කිරීමට රජය සුදානම් නොවන බව පෙනේ.

මේ දිනවල රටේ මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන සයිටම් ආයතනය පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට සිදු වී තිබෙන්නේ මෙවන් පසුබිමකයි. මාලඹේ සයිටම් ආයතනය වෛද්‍ය උපාධිය පිරිනැමීම අරමුණු කරගත් පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයකි. දැනට ඇති පහසුකම් යටතේ මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කිරීමේ පහසුකම් ඇත්තේ සිසුන් 1250කට පමණි. මේ අතර රටට අවශ්‍ය වෛද්‍යවරුන්ගෙන් භාගයක්වත් තවමත් (ලංකාවේ) නොමැත. මේ නිසා පෞද්ගලික වෛද්‍යවිද්‍යාල රටට අවශ්‍යය යන කාරණය ගැන විවාදයක් නොමැත. මේ වන විට සයිටම් විරෝධී කැරැල්ලට සම්බන්ධ වී සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා ප්‍රතිපත්තියක් ලෙසින් එය පිළිගනී.

පසුගිය රාජපක්ෂ පාලනය සයිටම් ආයතනයට රු.මිලියන 600ක ණයක් ලබා දෙමින් විශ්වවිද්‍යාල කොමිසමේ පිළිගැනීම ඊට ලබා දෙමින් කටයුතු කරද් දී ඊට එරෙහි විරෝධයක් මතු නොකර සිටීමෙන් ද එ් බව පැහැදිලි වේ. එය ප්‍රශංසනීයයි. මේ හා සමානව ම මුදලට වෛද්‍ය උපාධියක් පිරිනැමෙන කොතලාවල ආරක්ෂක ඇකඩමියේ වෛද්‍ය පීඨය උදෙසා රෝහලක්වත් තවම නොමැත. එසේ ම එම පීඨය පිළිගැනීමේ දී ඔවුහු විරෝධතා නොදැක්වීමට වගබලා ගත්ත. ඊට අනුමැතිය ලබා දීමට, වෛද්‍ය සභාව කටයුතු කිරීමේ දී කිසිවෙක් ජනාධිපති ලේකම් කාර්යලය ඉදිරිපිටට හෝ වෛද්‍ය සභාව ඉදිරිපිටට පෙළපාලිවලින් පැමිණ විරෝධතා පැවැත් වූයේ නැත. මේ වන විට විදේශ විශ්වවිද්‍යාල කීපයක වෛද්‍ය උපාධිය හදාරමින් සිටින දේශීය සිසුහු දහස් ගණනක් සිටිති. වාර්ෂිකව මේ සඳහා රටින් පිටවන විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 7000ක් වෙතැයි ගණන් බලා තිබේ.

‘ළමයින් ගිහිල්ලා දුක් විඳලා එ් රටවල ඉගෙන ගන්නේ ඇයි ? ඇයි අපි මේ ළමයි පිටරට යවන්නේ. අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල අරින්න පුළුවන් නම්, මේ ළමයි සියලු දෙනාම අපේ රටේ ඉගෙන ගන්නවා. විශාල මුදලක් අපිට ඉතිරි වෙනවා. මම කියන්න කැමැතියි සයිටම් ආයතනයට පිළිගැනීමක් ලැබුණොත් වෛද්‍ය විද්‍යාල 5ක් ශ්‍රී ලංකාවට එන්න කැමැත්ත දීල තිබෙන බව. (අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල 23.11.2016 පාර්ලිමේන්තුව)

පෞද්ගලික වෛද්‍යවිද්‍යාල

මේ වන විට මුළු ලෝකයම සමාජවාදි, ධනවා දී, අධිරාජ්‍යවාදී භේදයකින් තොරව පෞද්ගලික වෛද්‍යවිද්‍යාල සංකල්පය පිළිගෙන අවසන් ය. සමාජවාදී චීනයේ පෞද්ගලික විශ්වවිද්‍යාල 348ක් හා ඉන්දියාවේ 154ක් දැනටමත් බිහි වී අවසන් ය. බංග්ලාදේශය, බ්‍රසීලය, කොළොම්බියාව, ඉන්දුනීසියාව වැනි රටවල 60%ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලයි. ජපානයේ ඇති විශ්වවිද්‍යාල 543න් 390ක්ම පෞද්ගලික විශ්වවිද්‍යාලයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ ද ප්‍රශ්නයක් වී තිබෙන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රමිතිය ගැනයි. සංකල්පය අනුමත කරන්නේ නම් ප්‍රමිතිය හදා ගත හැකියි. මහාචාර්ය රිෆරි ෂෙරීෆ්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුවක් මගින් සයිටම් ආයතනයේ දුර්වලතා පෙන්වා දී තිබෙන බව දැන ගැනීමට තිබේ. එ් දුර්වලතාවයන්ට යටත්ව එ්වා හදා ගැනීමේ පදනම යටතේ එම ආයතනයට තාවකාලික බලපත්‍රයක් දිය හැකිය. පසුගිය රාජපක්ෂ පාලනය යටතේ කොතලාවල ආරක්ෂක ඇකඩමියේ වෛද්‍ය පීඨයට එක් ප්‍රතිපත්පතියක් හා සයිටම් ආයතනයට තවත් ප්‍රතිපත්යක් පැවතීමට විදිහක් නොමැත.

මේ වන විට සයිටම් ආයතනයේ උගන්වනු ලබන්නේ රජයේ වෛද්‍ය විද්‍යලාවල වෛද්‍ය සිසුන්ට උගන්වන මහාචාර්යවරුන්ම බව තහවුරු වී තිබේ. එම විභාග ක්‍රමය හා අධීක්ෂණ කටයුතු එ් අයුරින්ම කරනු ලබන බව අදාළ මහාචාර්යවරු සහතික වෙති.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්යප්‍රීති සමරජීව:-

රජයේ වෛද්‍ය පීඨයකින් එළියට එන අය හා සමාන උපාධිධාරියෙක් සයිටම් මගින් බිහි කිරීමට අපි සමත් වුණා. කුමක් ද මේ කතා කරන ප්‍රමිතිය. අපි වසර 20ක් තිස්සේ වෛද්‍ය විද්‍යාලවල උගන්වා තිබෙනවා. සයිටම් එම ප්‍රමිතියෙන් දශමයක්වත් පහළට ගිහින් නැහැ. එහෙම නම් අපි මෙතන විනාඩියත්වත් ඉන්නේ නැහැ. මෙතන විභාගවලට වෛද්‍යවරු ආවා. කොළඹ, කරාපිටිය, පේරාදෙණිය විශේෂඥ වෛද්‍යවරු තමයි එ් අයට ලකුණු දුන්නේ. එ් අය සමඟ සාකච්ඡා කරලා එකඟතාවයකින් තමයි ‘සයිටම්’ ළමයින්ගේ ප්‍රගතිය මැන්නේ.

ළිං මැඩි මානසිකත්වය

මහාචාර්ය නෙවිල් පෙරේරා:-

“මම රජයේ විශ්වවිද්‍යලවල වසර 30ක් ඉගැන්නුවා. මේ අයගේ මට්ටම හොඳයි.“

‘සයිටම්’ උගන්වනු ලබන රජයේ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිධාරින් බිහි කිරීමට ඔවුන්ට ද උගන්වනු ලැබු මහාචාර්යවරු තම සයිටම් ශිෂ්‍යයින් ගැන කියන්නේ මෙහෙමය.

එ් නිසා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කුහකත්වයෙන් තොරව පමණක් නොව ළිං මැඩි මානසිකත්වයෙන් තොරව කල්පනා කිරීමේ වැදගත්කමක් තිබේ. රජයේ වෛද්‍ය සභාව පසුගිය රාජ්‍ය සමයේ කල්පනා කළේ අඩුපාඩු සකස්කර ගැනීමේ පදනම යටතේ තාවකාලිකව හෝ සයිටම් ආයතනයකට අවසර දීමේ පිළිවෙතකි. ඒ බව එහි සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ප්‍රකාශවලින්ම පැහැදිලි වුණි. එහෙත් ආණ්ඩු මාරුවීමත් සමඟම ඒ අයගේ ප්‍රතිපත්තිය වෙනස් වෙලා වගේය. අද උසාවි තීන්දුවට ගරුකිරීමට අපට සිදුවී තිබෙන්නේ මේ වෙනස නිසාදැයි කියන්න දන්නේ නැත.

‘‘මේ වෛද්‍ය සභාවේ තවම තියෙන්නේ නවසිය හැත්තෑ ගණන්වල ක්‍රමවේද මේ පිළිගැනීම් ගැන ලෝකය හිනා වෙනවා. (අමාත්‍ය රාජිත සේනාරාත්න 2012.06.20 හැන්සාඩ් වාර්තාව)

අද ලංකාවේ තිබෙන රජයේ වෛද්‍ය විද්‍යාලවලින් එකක්වත් අධීක්ෂණය කරල තියනවද? එහෙම බලයක්වත් මේ වෛද්‍ය සභාවට නැහැ. පනතට අනුව එහෙම බලතල නැහැ. රජරට තිබෙන ක්‍රමවේදය ප්‍රමිතිය මොකක් ද කියලා දන්නේ නැහැ.

තව මිනිහෙක් ඇවිත් කරන කොට බොරුවට ඒකෙ ප්‍රමිතිය ගැන කතා කරනවා. (අමාත්‍ය රාජිත සේනාරාත්න 2012.06.20 හැන්සාඩ් වාර්තාව) තමන් යාවත්කාලීන නොවී අනුන් ගැන කතා කරනවාට වඩා අඩු තරමින් රජයේ විශ්වවිද්‍යාලවලින් වෛද්‍යවරුන් ලෙසින් බිහිවන දහස් ගානකට උගන්වා ඇති, මේ වන විට සයිටම් ආයතනයේ ද උගන්වනු ලබන ආචාර්ය මහාචාර්යවරුන් ගේ හඬට සවන්දිම වෛද්‍ය සභාවට වුව ද වැදගත් වනු ඇත. මේ නිසා දූපත් මානසිකත්වයෙන් යුත් පසුගාමී චින්තනයක නොසිට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දැන්වත් කල්පනා කිරීම වැදගත්වේ.

Email Facebook Twitter Google+ Pinterest PrintFriendly

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *