|

අර්බුද මැදින් ජනතාවට අස්වැසීමක් – සුනන්ද මද්දුමබණ්ඩාර

 

 

නිදහසින් පසු කාලපරිච්ඡේදය තුළ ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කළ ප්‍රතිපත්ති අතර ඉතා වැදගත් එකක් ලෙස සැලකිය හැක්කේ මහජනතාව අතර ආදායම් විසමතාව අඩු කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගය. රටේ ආදායමින් වැඩි කොටසක් ඉහළ ආදායම් ලබන සියයට 20 ක පිරිසක් විසින් භුක්තිවිඳිනු ලබන තත්වයක් තුළ අඩු ආදායම් ලබන පිරිස්වලට සහන සැලසිය හැකි ආකාරය පිළිබඳ විවිධ ආණ්ඩු විශේෂ උනන්දුවක් දැක්වු බව පෙනී යයි. ආදායම් විසමතාව අඩු කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ගයක් ලෙස ඒ ඒ ආණ්ඩු විසින් පොදුවේ සලකනු ලබන්නේ පහළ ආදායම් ලබන කොටස් වෙත විවිධාකාරයෙන් සහන සැලසීමය.

නිදහස ලැබීමෙන් පසු විවිධ කාලවලදී විවිධ ආණ්ඩු විසින් අනුගමනය කරන ලද මහජනතාවට සහන සැලසීමේ ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ මත ප්‍රකාශ වී තිබේ. එම සහන සැලසීම හේතුවෙන් රජයේ ආදායම නිෂ්පාදන ක්‍රියාවලියට යොමු නොවන බවක් ද, සහන හේතුවෙන් සමහර කොටස් රජය මත යැපෙන තත්වයක් ඇතිව තිබෙන බවක්ද, රජයට ඒ හේතුවෙන් ආයෝජනය සඳහා මුදල් වෙන් කිරීමට ඉඩක් නොලැබෙන බව ද ප්‍රකාශ විය. එසේ වුවද දෙවැනි ලෝක සංග්‍රාමය පවතිද්දි ආරම්භ කරන ලද සහල් සහනාධාරය වැනි සුබසාධන ක්‍රම ශ්‍රී ලංකාව විසින් බොහෝ කාලයක් යනතුරු පවත්වාගෙන යන ලදී. සහල් සහනාධාරය ආදායම් බේදයකින් තොරව සියලු‍ දෙනාටම ලබාදුන් අතර එය අඩුවැඩි කිරීමට හෝ ගෙවන මිල අඩු වැඩි කිරීමට ගත් උත්සාහය රටේ දේශපාලනය කෙරෙහි විශාල බලපෑමක් ඇති කළ අවස්ථා ද තිබුණි.

කෙසේ වුවද 1991  සිට ආරම්භ කරන ලද ජනසවිය ව්‍යාපාරය දරිද්‍රතාව පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රථම විධිමත් සහ ඉලක්කගත වැඩපිළිවෙළ ලෙස හැඳින්විය හැකිය. ඉතා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් යටතේ දරිද්‍රතාවෙන් පෙළෙන පිරිස් හඳුනා ගැනීම, එම අයට දරිද්‍රතාවෙන් ගොඩ ඒම සඳහා දැනුම සහ පුහුණුව ලබාදීම, තෝරාගත් පවුල්වලට පරිභෝජනය සඳහා ආධාර ලබාදීම සහ ඒ අය වෙනුවෙන් ආයෝජන සඳහා ද ප්‍රාග්ධන අරමුදල් ලබාදීම වැනි ක්‍රියාමාර්ග එම යෝජනා ක්‍රමයේ අඩංගු විය. ඉන්පසුව අඛණ්ඩව දරිද්‍රතාව පිටුදැකීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලද අතර විවිධ වෙනස්කම්වලට බඳුන් වෙමින් සමෘද්ධිය, දිවි නැගුම සහ අස්වැසුම වැනි නම් සහ විවිධ වෙනස්කම් යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක වු එම ප්‍රතිපත්තියෙන් ආර්ථිකමය වශයෙන් ඉතා හොඳ ප්‍රතිඵල අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

 

 

2019 කෝවිඞ් 19 වසංගතය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම සියයට 3.2 මට්ටම දක්වා අඩුකර ගැනීමට රටට හැකිවිය.

එසේ වුවද කෝවිඞ් වසංගතයත් ඉන්පසුව ඇතිවු ආර්ථික අර්බුදයත් අවසානයේදී බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමත් නිසා සියල්ල වෙනස් විය. දරිද්‍රතාව නැති කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව අත්කරගෙන තිබූ විශාල ප්‍රගතිය ඇසිල්ලකින් නිමාවන තත්වයක් උදා විය. ශ්‍රී ලංකාව පමණක් නොව ලොව ධනවත්ම රටවල මහජනතාව ද කෝවිඞ් නිසා විශාල ආර්ථික පසුබෑමකට මුහුණ දුන් අතර එම රටවල ජනතාව ද ආදායම අඩුවීම, ආහාර මිලදී ගැනීමට නොහැකි විම ආදි හේතු නිසා දරිද්‍රතාවේ විවිධ මට්ටම් පිළිබඳ අත්දැකීම් ලබන්නට විය. සංවර්ධනය වු රටවල් එම අවස්ථාවේදී මහජනතාවගේ පීඩනය අවම කිරීම සඳහා විවිධාකාරයේ සහන වැඩ සටහන්  ක්‍රියාත්මක කරන ආකාරය දැක ගැනීමට හැකි විය. ඇමරිකාව, යුරෝපා රටවල්, ජපානය, කැනඩාව සහ දකුණු කොරියාව වැනි රටවල් මුල්‍යමය ප්‍රදාන එක් එක් පුද්ගලයන්ට වෙන වෙනම ලබාදීමෙන්  ඇතිව තිබූ ආර්ථික බලපෑම අවම මට්ටමකට ගෙන ඒම සඳහා කටයුතු කරන ලදී. ශ්‍රී ලංකාව ද රෝගී පවුල්වලට වියළි ආහාර ලබාදීම, පීඩනයට පත් ජනතාවට මූල්‍යමය ප්‍රදාන ලබාදීම ආදියෙන් සහන සැලසීමට උත්සාහ කළේය.

අඩු ආදායම්ලාභී පිරිස්වලට තම ජීවන මාර්ග අහිමිවීම ආරම්භ වූයේ කෝවිඞ් සමයේ විවිධ ප්‍රදේශ සහ කම්හල්, කාර්යාල ආදිය වසා දැමීමත් සමගය. එදිනෙදා විවිධ රැකියාවල යෙදීම සහ ස්වයං රැකියා මගින් ජීවනෝපාය උපයාගත් අතිවිශාල පිරිසකට ඒ හේතුවෙන් ජීවනෝපාය අහිමි විය. කම්කරු, වඩු, මේසන්, ධීවර සහ විවිධ තාවකාලික වෘත්තීයන්හි නියැලු‍නු පිරිස්වලට රැකියා අහිමි වු අතර, සුළු හා මධ්‍යම පරිමාණ නිෂ්පාදන සහ ව්‍යාපාරික ආයතන විශාල ගණනක් වැසී ගියේය. ඒ අතරම ඇඟලු‍ම් වැනි ප්‍රධාන පෙළේ නිෂ්පාදන ආයතන වසා තැබීම නිසා බොහෝ දෙනකුට රැකියා අහිමි විය. මේ හේතුවෙන් රටේ දරිද්‍රතාව  නැවත  වරක්  විශාල  ලෙස   ඉහළ  ගියේය.  ඒ අතර ජාත්‍යන්තර  ආයතනවලින්  ශ්‍රී ලංකාවේ දරිද්‍රතා ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යා දත්ත විවිධ ස්වරූපවලින් ප්‍රකාශයට පත්වී තිබේ. ප්‍රමාණය පිළිබද විවිධ සංඛ්‍යා ඉදිරිපත් වි ඇති නිසා දරිද්‍රතා මට්ටම පිළිබඳව නිශ්චිත සංඛ්‍යාවක් දැක්විය නොහැකි නමුදු කෝවිඩ්වලින් සහ ආර්ථික අර්බුදයෙන් පසු අද වනවිට රටේ දරිද්‍රතා මට්ටම සියයට 25 ක් හෝ ඊට වැඩි මට්ටමක පවතින බව පෙනී යයි.

අද වනවිට බංකොළොත් භාවයෙන් අත්මිදීම සඳහා ආර්ථික උපාය මාර්ග සැකසීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය නිෂ්පාදන හා සේවා අංශ යළි පැවැති මට්ටමට ගෙන ඒම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම පීඩාවට පත්වී සිටින ජන කොටස් ජීවත් කරවීම  සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද ආණ්ඩුවට සිදුවී තිබේ. ඉතාම සරළව ප්‍රකාශ කරන්නේ නම් රට වැටී ඇති බංකොළොත් භාවයෙන් ගොඩ ඒමට පියවර ගත යුතුව ඇත. ඒ අතරම ආර්ථික වශයෙන් දුබල බවට පත්ව ඇති ජන කොටස් ජීවත් කරවීම සඳහා ද කටයුතු කළ යුතුව ඇත. හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටීම වැනි තත්වයකට රට පත්ව තිබේ. රටේ ආදායම අවම තත්වයකට පත්ව තිබෙන නමුදු දරිද්‍රතාවෙන් පෙළෙන පිරිස් මියදෙන තත්වයක් වළක්වාගෙන ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යැම සඳහා පියවර ගත යුතුව තිබේ.

එසේ වුවද ඒ සඳහා වැයකළ හැකි ආදායමක් රජය සතුව නැත. 2022 වසරේ සිට පිට පිටම කාර්තු 6 ක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පහළ වැටී තිබේ. ඒ අතරම බංකොළොත් භාවයෙන් අත්මිඳීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කරන ලද ගිවිසුම අනුව මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ඉතා පරෙස්සමෙනුත්, දැඩි විනයක් පවත්වා ගැනීමෙනුත් කටයුතු කිරීමට සිදුව තිබේ. රජයට මුදල් වෙන් කිරීම පිළිබඳ ක්ෂණික තීරණයක් ගෙන වහාම ක්‍රියාත්මක විය හැකි තත්වයක් දැන් නැත. එවැනි වාතාවරණයක් තුළ වුවද රටේ පහළ ආදායම් ලබන කොටස් සම්බන්ධයෙන් අප්‍රමාදව කටයුතු කිරීමට රජය ඉදිරිපත් වීම සතුටට කරුණකි. 2023  වසරේදී දුගී පවුල් 14,30,247 කට සහන සැලසීමට රජය කටයුතු කර ඇත. ඒ අතරින් පවුල් 3,60,336 අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන අය ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් සඳහා මාසිකව රු.15,000/- ක මුදලක් ලබාදීමට කටයුතු කර තිබේ. පවුල් 6,14,880 ක් දරිද්‍රතා මට්ටමින් පෙළෙන අය ලෙස හඳුනාගෙන ඇති අතර ඒ අයට මාසිකව රු.8500/- ක් ලබා දේ. පවුල් 2,94,503 ක් අවදානම් මට්ටමේ සිටින අය ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන්ට මසකට රු.5000/- බැගින් ද දුගීභාවයට පත්වෙමින් සිටින පවුල් 2,12,528 ක් හඳුනාගෙන ඇති අතර  එම පවුල්වලට රු.2500/- බැගින් ලබාදී තිබේ.

මේ වසරේදී පවුල් සංඛ්‍යාව විසි ලක්ෂය දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ සඳහා වු ප්‍රතිපාදන අයවැය ලේඛනය මගින් වෙන්කර ඇත. ඉහත කී පිරිස්වලට අමතරව වකුගඩු වැනි රෝගාබාධවලට ලක්ව ඇති පුද්ගලයන් 4,10,000 කට රු.7500/- බැගින් ද ආබාධිත පුද්ගලයන් 50,000 කට රු.7500/- බැගින් ද වියපත් පුද්ගලයන් 8,20,000 කට රු.3000/- බැගින් ද ලබාදීමට කටයුතු කර තිබේ. මුළු පුද්ගල සංඛ්‍යාව දොලොස් ලක්ෂ අසූදාහකි.  දුගී බවින් පෙළෙන එහෙත් තවමත් තෝරාගෙන නොමැති අයට අභියාචනා කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති අතර එහිදී ලැබිය යුතු පිරිස් හඳුනා ගන්නේ නම් ඒ අය සඳහා මෙම සහන ලබාදීමට ද කටයුතු කර තිබේ.

රජයේ සේවකයන්ට රු.10,000/- කින් වැටුප් වැඩිකර තිබේ. මෙය 2016 වසරෙන් පසු ලබාදෙන ලද ප්‍රථම වැටුප් වැඩි කිරිම වේ. මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මට්ටම වැඩි කිරිම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ඇගයීමක් ලැබිය යුතු යැයි සිතමි. 2016 වසරේදී ඔහු විසින් රාජ්‍ය සේවක වැටුප ඉහළ දැමීමට කටයුතු කරන ලද අතර ඉන්පසු වසර 05 ක් යන තුරු මූලික වැටුප වැඩිවන ආකාරයේ වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදි. රාජ්‍ය සේවක වැටුප අද පවත්නා තත්වයට ගෙන ඒම සඳහා 2016 දී හඳුන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ වැටුප් ප්‍රතිසංස්කරණ බොහෝදුරට හේතු විය.

රට ඉතා දුෂ්කර තත්වයකට පත්ව ඇති නමුදු  ඒ නිසා අන්ත අසරණ තත්වයකට පත්ව සිටින අඩු ආදායම් ලබන ජනතාව රැක ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සැලසුම් කළේය. එය ක්‍රියාත්මක කිරීම රට තුළ ඇතිවීමට තිබු ගැටලු‍ රැසක් විසදා ගැනීම සඳහා ආධාර වී ඇති බව පෙන්වා දිය යුතුව ඇත. දරිද්‍රතාවත් සමග ඇතිවන මන්දපෝෂණය, ලෙඩ රෝග, මරණ අනුපාතය වැඩිවීම, ළදරු මරණ සහ පාසල් හැර යාම වැනි තත්ව වළක්වා ගැනීමට මේ නිසා හැකි වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් ඇති අවස්ථාවකදී සහන සැලසීම සඳහා සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් වෙන් කිරිමට රජයට හැකිවී ඇත්තේ එහි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒත්තු ගැන්වීමට රජයට හැකිවීම හේතුවෙනි. ඉතා දරුණු අර්බුදයක ගිලී සිටියදී අර්බුදයෙන් මිඳීමට මෙන්ම රටේ දිළිඳු ජනතාව රැක ගැනීමට කටයුතු කිරීම සඳහා වු උපාය මාර්ගික සැලැස්මක් ඇතිකර ගැනීමට හැකිවීම හැඳින්විය හැක්කේ ඉතා තීක්ෂණ දුරදක්නා දැක්මකින් කටයුතු කිරීමක් ලෙසය.

 


කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ


හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය


සුනන්ද මද්දුමබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *