බොරු වළවල් වලින් ප්‍රවේශම් වන්න

ජාතියක් විනාශ කෙරෙන්නේ ජාතිවාදයෙන් බව හිටපු ඇමරිකානු ජනාධිපති රොනල්ඞ් රේගන් කියා තිබේ. මාරක දේශපාලනික උගුල් විවිධ මුහුණුවරින් කරලියට එන අපේ රටේ ජාතිවාදී, අන්තවාදී, දූෂිත බලවේගයක් තුළ, දැනුවත්ව හෝ නොදැනුවත්ව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිරව සිටිති. විධායක ජනාධිපති ක්‍රමය අවලංගු නොකළයුතු බවත්, එය දිගටම පවත්වාගෙන යායුතු බවත් ඔවුහූ දැන් ජනතාවට කියති.

ඒ අනුව, 2020 දී ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන තම පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වියයුතු බව ඔවුන්ගේ යෝජනාවයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළයුතු බව, මේ රැවටිල්ල තුළ ඉදිරිපත් කෙරෙන අනිත් යෝජනාවයි. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන හෙයින් මේ ඉල්ලීමට ඔහු සවන්දිය යුතු බව තවදුරටත් ඔවුහු පෙන්වාදෙති.

කදිමයි. ලස්සණයි. විශිෂ්ටයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලනික දිවියට වස පෙවීමේ මේ වැඩ පිළිවෙලින් සැදුම්ලත් උගුල ඔවුන් දැන්අටවා තිබේ. 2014 නොවැම්බර් මාසයේදී මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ආවේය. අභයාරාමයේ බුද්ධ ප්‍රතිමාව විවෘත කරන උත්සවයේදී ඒ ගැන ඔහු පැහැදිළි කෙළේය. පැවති රාජපක්ෂ පාලනය දුර්දාන්ත වීම, නීතිය කැලෑ වැදීම, ඒකාධිපති ප්‍රවණතාව ආදිය ඊට පිටුදුන් කරුණු වශයෙන් ඔහු ගෙනහැර දැක්වීය. එතෙක් ඔහු සිර වී සිටි ඒ භීෂණකාරී තත්වයෙන් ඔහුව ගලවා ගනු ලැබ ඔහු මේ රටේ නායකයා බවට 2015 ජනවාරි 8 වැනි දා පත්කර ගැනුණි. එය සුජාත ජයග්‍රහණයකි.

එම මැතිවරණ ව්‍යාපාරයේ පොදු අපේක්ෂකයා වූ ඔහු බොහෝ වැදගත් පොරොන්දු රට ඉදිරියේ තිබ්බේය. තමා බලයට පත්වූ පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන බව ඔහු කීවේය. නැවත ජනාධිපතිවරණයකට තමා ඉදිරිපත් නොවන බව කීවේය. එසේම අලුත් ව්‍යවස්ථාවක් ඇති කොට රටේ ප්‍රජාතන්ත්‍රවාදය උසස් තලයකට ඔසවා තැබීම සඳහා තමා ක්‍රියාකරන බව ඔහු කීවේය.

අද ජනාධිපතිවරයා වටා සිටින බොහොමයක් දෙනා එදා සිටියේ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙනි.

උත්කෘෂ්ට ප්‍රතිඥා

කෙසේ වෙතත්, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ උත්කෘෂ්ට ප්‍රතිඥා අගය කළ එක්සත් ජාතික පාක්ෂිකයන්ට, දෙමළ සහ මුස්ලිම් පුරවැසියන්ද, ජනතා විමුක්ති පෙරමුණ සහ සිවිල් සංවිධානද ඒකරාශී කරගෙන, 62 ලක්ෂයක ඡන්දයෙන් මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපතිවරයා වශයෙන්ප ත්කර ගැනීමට හැකිවිය.

මේ ජනවරම ලබාගැනීම සඳහා කැප වී කටයුතු කළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මෘත දේහය ඉදිරිපිට, තමාදුන් ප්‍රතිඥාව නැවත වරක් මතක් කරමින්, සෝභිත හිමියන්ගේ අපේක්ෂාව වූ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම තමන් විසින් කරන බවට ජනාධිපතිවරයානැවත වරක් ප්‍රතිඥා දුන්නේය.

ජනාධිපතිවරයාගේ පැහැදිළි ආස්ථානය ඉතා පැහැදිළි ය. එවැනි අදහසක් දරණ ජනාධිපතිවරයාව දේශපාලනික ගිලටීනයට දැක්කීමට වලිකන බලලෝභී කල්ලිය කියන්නේ, ජනවාරි 8 වැනි දා ඔහු ලැබු ජනවරමට පිටුපාමින් ජනතාවගේ උත්තරීතර අපේක්ෂාවට ඔහු පයින් ගැසියයුතු බවයි.

මේ රටේ ඇතිවු විශාලතම ජනතා පෙරළියට දායකත්වයක් නොසැපයූ, ඒකාධිපති පාලනය පෙරලා දැමීමට උරනොදුන්, පෙරටත් වඩා භීෂණය, දූෂණය සහ කැලෑ නීතිය රජ කැරැවීමට බැලූ, පෙරටත් වඩා බල උමතුවෙන් ඉදිමීමට බැලූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ට, ජනතා මතයට සහ ජනතා අපේක්ෂාවට පිටුපෑම සඳහා ජනාධිපතිවරයාව තල්ලු කිරීමට සදාචාරමය අයිතියක් නැත. 62 ලක්ෂයක ජනතාවගේ අපේක්ෂාවට නැවතීමේ ලකුණ තැබීමට අයිතියක් මේ කුමන්ත්‍රණකාරීන්ට ආවේ කොහෙන්ද?

පක්ෂය අතහැර ගොස්, පොදු අපේක්ෂකයා බවට පත්ව, තමන්ව පරාජයට පත්කළ මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ සභාපතිත්වය පිරිනැමීමට මහින්ද රාජපක්ෂට සිදුවිය. එසේ පැවරීමෙන් සතියක් ගත වනවිට ඊට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විරෝධතා ව්‍යාපාරයක්ද දියත් කෙරුණි. අද වනවිට එය, පක්ෂය දෙකඩ කිරීමේ අදියරකට පැමිණ ඇත.

මේ දිරච්ච ලණුව ජනාධිපතිවරයාට දීමට පත්කර ගැනුණේ එස්. බී. දිසානායකවයි. මේ දිරච්ච ලණුවෙන් තොණ්ඩුවක් හදා දේශපාලනිකව සියදිවි නසා ගැනීමට තැත් කළොත් සිදුවන්නේ ලණුව කැඩී බිමවැටී කොන්දකඩා ගැනීමට සිදුවීමයි. මේ මිනිසුන්ගේ කාලකණ්ණි ප්‍රයත්නය වන්නේම ජනාධිපතිවරයාගේ කොන්ද කැඩීමයි. 2020 දී ජනාධිපතිවරණ වේදිකාවට මෛත්‍රිපාල සිරිසේනව මේ පුද්ගලයන් විසින් ඔසවා තබනවිට රට ඉදිරියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කීමට ඉතිරිවන්නේ කුමක්ද?

“පොරොන්දු වෙච්ච අලුත් ව්‍යවස්ථාව මං ගෙනාවේ නැහැ. පොරොන්දු වෙච්ච විදිහට විධායක ජනාධිපති ක්‍රමය මං අහෝසි කළේ නැහැ. සංහිඳියාව ගැන මං කතා කළත් ඒක කළෙත් නැහැ. මං කළේ බොරුවක්.”
2015 දී ඔහු කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවගේ ඡන්දය එවිට ඔහුට නොලැබෙනු ඇත.

දේශපාලනික ජීවිතය

මෙවැනි නිරර්ථක කතා කියමින් ජනාධිපතිවරයාට මේ පිරිස දිරච්ච ලණු දෙන්නේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලනික ජීවිතය විනාශ කරලීමට ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මේ රටේ අඳුරුතම යුගයක් නිමාකිරීම සඳහා නොබියව ඉදිරියට පැමිණි, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය සහ සාධාරණත්වය, සමානාත්මතාව සහසංහිඳියාව ඇතිකිරීමට පෙරමුණ ගත්, ඉතා ප්‍රසන්න දේශපාලනික දැක්මක්ඇති, නව දේශපාලනික සංහිඳියාවක් අත්කර ගත් පරිණත දේශපාලඥයෙකු අමාරුවේ වැටෙනු ඇත.

මේ වනාහී, තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ හොල්මන් කරන රාජපක්ෂ රෙජිමයේ අවතාර විසින් අටවනු ලබන නිහීන කුමන්ත්‍රණයකි. එය, යටිකූට්ටු වැඩපිළිවෙලවල් තුළින් ද, ඒ කාලයේ හරිහම්බකරගත් ධනයේ ආනුභාවයෙන් ද, කෛරාටික පිරිසක් විසින් මනාව සංවිධානය කරන ලද කුමන්ත්‍රණයකි.

මේ කෛරාටික සහ අවස්ථාවාදී දේශපාලනික උගුලට ජනාධිපතිවරයා හසුනොවිය යුතුය. පොරොන්දු ඉටුනොකළ, ජනතා අපේක්ෂා ඉටුනොකළ සහ ජනතා විශ්වාසය බිඳදැමූ නායකයෙකු වශයෙන් මෛත්‍රීපාල සිරිසේනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයකට ඉදිරිපත්කොට පරාජය කැරැවීම ඔවුන්ගේ අරමුණයි. එවිට මේ බලලෝභී කෛරාටික රැළ, ඒකාබද්ධ විපක්ෂය හරහා රාජපක්ෂවරයෙකු වේදිකාවට නංවනු ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් තොරව, රට වෙනුවෙන් නවව්‍යවස්ථාවක් ගෙනඒමෙන් තොරව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දේශපාලනික අනාගතයක් නැත. මෑතකදී ජනාධිපතිවරයා මෙසේ කීවේය: “වංචාව, දූෂණය සහ සොරකම ඔඩුදුවා තිබුණා. ඒ වැරදි ක්‍රමයෙන් අපි ගොඩආවා. ඒ වගේ ක්‍රමයක් නැවත ඇති කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒක මං පැහැදිළිව කියන්න ඕනේ. හිටපු ත්, දැන් ආණ්ඩුවේ වුණත් හොරකමනං හොරකමමයි. ඒක නිසා හොරකමට සම්බන්ධ, හිටපු , දැන් ආණ්ඩුවේ කෙනෙක්ද කියන එකමට අදාළ නැහැ.”

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය අප අගේ කළයුතුය. ඔහු කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය අප සනාථ කළ යුතුය. එසේ නොමැතිව, ජනතාවට දුන් ප්‍රතිඥා ඉෂ්ට කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැත. එබැවින්, නැවත වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලලෝභී කොටස් වලින් නිදහස්කර ගැනීමේ මාර්ගයක් ඔහු සොයාගත යුතුව තිබේ. ජනවාරි 8 වැනි දා දේදුනු විප්ලවයේ ප්‍රතිඥා ඉෂ්ට කිරීමට, ජනතා අපේක්ෂා සාක්ෂාත් කරලීමට මාර්ගයක් ඔහු සොයාගත යුතුව තිබේ. දුර දක්නා දේශපාලන දැක්මකින් යුත්නායකයෙකුට ඒ අවබෝධය තිබියයුතුය.

“ජනතාව විසින් ජනතාව සඳහා පවත්වාගෙන යනු ලබන ජනතා ආණ්ඩුවක් මිහිතලයෙන් තුරන්නොවනු ඇත.”- ඒබ්‍රහම් ලින්කන්.

මෙය ජනතාව තෝරා පත්කර ගත් ආණ්ඩුවකි. එය ජනතාව විසින් ජයග්‍රහණයට පත්කරවන ලද ආණ්ඩුවකි. පරාජිතයන්ගේ මර උගුල්වලට එය හසුවියයුතු නැත. දුර්වල, දූෂිතයන්වනාහී, තණ අස්සේ සැඟවුණු සර්පයන් බව අමතක නොකළ යුතුය.
2017 පෙබරවාරි 06 වැනි දා ‘සිලෝන්ටුඬේ’පුවත්පතේ
‘මයි තැප්‍රොබේන්’ තීරුවේ පළවූ
බොරු වළවල් වලින් ප්‍රවේශම් වන්න
නැමැති ලිපියේසිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’අනුග්‍රහයෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *