|

සින්නක්කර ඔප්පු බෙදාදීමෙන් රටේ විශාලආර්ථික ප්‍රසාරණයක් සිදු වෙනවා – ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ

කිසිම විදේශිකයකුට මෙරට ඉඩමක් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ

කිසිම ලියවිල්ලක් නැති අයට සින්නක්කර ඔප්පු දෙන්නේ නැහැ

කිසිවෙකුට වංචාවෙන් ඉඩම් හිමිකම් ලබා ගන්න බැහැ

හිමිකරු කිසිවකුට නොලියා මියගියහොත් භාර්යාවට 50%ක් අයිතියි

ලාංකේය ඉඩම් හිමිකම් ඉතිහාසයේ පෙරළියක් ඉකුත්දා (05) දඹුල්ලේදී සිදු කෙරිණ. ඒ උරුමය වැඩසටහන යටතේය. එහිදී මෙතෙක් බලපත්‍ර හෝ තාවකාලික වෙනත් ඔප්පු යටතේ රජයේ ඉඩම් භුක්ති විඳි ජනතාවට සින්නක්කර හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරිණ. ඉන්පසුව විවිධ පාර්ශ්ව ඒ පිළිබඳ නොයෙක් අදහස් දක්වනු අසන්නට ලැබුණි. ඒ අනුව අපි ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ මහතාගෙන් ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු විමසුවෙමු.

 

l උරුමය එකවරම පහළ වූ අරුමයක්ද?

මේක ප්‍රජාව තුළ කලක් පැවැති බලාපොරොත්තුවක්. ඒත්, ඒක ඇත්තක් වුණේ ඉකුත්දායි. මෙරට වර්ෂ 1935දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අවසර පත්‍ර සහ දීමනා පත්‍ර දී තියෙනවා. ඒවායේ විශේෂ කොන්දේසි සඳහන් වෙනවා. නිදසුනක් විදියට පසු උරුමය නම් කර නැති අවස්ථාවකදී අයිතිකරු මියගිය පසුව භාර්යාවට ඇත්තේ ජීවිත භුක්තිය විතරයි. දරුවන් කොපමණ හිටියත් ඒ අයගෙන් වැඩිමහල් පිරිමි දරුවාටයි මේ දේපළ අයිති වෙන්නේ. එතැන ගැටලු සහගතයි. පවුලක වැඩිමහල් පිරිමි දරුවා ඉඩම අයිති කර ගත්තාම අනෙක් දරුවන්ට දේපළ අයිතියක් නැති වෙනවා. ඒ අය එළියට බහිනවා. ඒත්, මේ හරහා ඒ ගැටලු නිරාකරණය වෙනවා වගේම, මෙතෙක් පුද්ගලික ඉඩම්වලට පැවැති වටිනාකම හා සමානවම රජයේ ඉඩම්වලටත් වටිනාකමක් ලැබෙනවා. ඉන් රජයේ ඉඩම් කෙරෙහි බොහෝ දෙනකුගේ පැවැති ආකල්පයත් පහව යනු ඇතැයි අපේක්ෂා කරනවා.

ඉතින් කලින් සඳහන් කළ විදියට හුඟක් පවුල්වල, අම්මාට ඇත්තේත් ජීවිත භුක්තියම පමණයි. ඇයටත් මේ දේපළ දරුවන්ට බෙදා දීමේ හැකියාවක් නැහැ. ඒ තමයි අවසරපත්‍ර, දීමනාපත්‍ර ඉඩම් හිමිකම් පසුපස තියෙන ඇත්ත. මේ එක කොන්දේසියක්. තවත් ගණනාවක් වෙනවා. අතුරු බෙදීම්වලදී, රජයේ බැංකු මූල්‍ය ආයතනයකට තබා උකසක්, ණයක් ගැනීමේදී ඊට ප්‍රාදේශීය ලේකම් හෝ එහෙමත් නැතිනම් ඉඩම් කොමසාරිස් ආදීන්ගේ අවසර ගැනීම් අවශ්‍යයි.

මේ ඉඩම්වල ඇති ගස්කොළන් ඉවත් කිරීමටත් අවසර ගත යුතුයි. නේවාසික පදනම යටතේ දී ඇති නම් වෙළෙඳසලක් ආදී ජීවනෝපායක් ඒ තුළ කර ගැනීමටත් නීතිමය අවසරයක් නැහැ. එවැනි හේතු නිසා මහජනතාව මේ අවසර පත්‍ර, දීමනා පත්‍ර ලද නමුත් දිගු කලක් තිස්සේ මහ විශාල පීඩනයකින් තමයි ජීවත් වුණේ. ඊළඟට තමන්ගේ දරුවන්ව උරුමකරුවන් විදියට නම් කර දේපළක් ඉදිරි ජීවිත කාලය සතුටින් ගත කිරීම සඳහා දීමට නීතිමය ඉඩක් නැති තත්ත්වයක් තමයි මෙතෙක් තිබුණේ. රජයේ කන්තෝරු ගාණේ මේ මිනිස්සු ඒ කටයුතුවලදී රස්තියාදු වුණු වාර ගණන අනන්තයි. ප්‍රාදේශීය ලේකම් සිට ජනාධිපතිවරයා දක්වා විවිධ නිලතල දරන්නන් හමු වී තමන්ගේ මේ ගැටලු නිරාකරණය කර ගන්නයි ඒ අයට සිදු වුණේ.

මින් පෙරත් රනිල් වික්‍රමසිංහ මහතා දෙවතාවකදී පමණ මෙවැනි ක්‍රමයක් සඳහා පාර්ලිමේන්තුවට යෝජනා කළා. ඒ අවස්ථාවේදීත් මේ පනතේ වගන්ති වෙනස් කර ගැනීමට පාර්ලිමේන්තුවේදී හැකියාව ලැබුණේ නැහැ. මෙවර එතුමා ජනපති හා මුදල් ඇමැතිවරයා විදියට මේ වසරේ ( 2024) අය වැය යෝජනාවලියට මේ වැඩසටහන ඉදිරිපත් කළා. එය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණා. ඒ සමඟ අපි දෙපාර්තමේන්තුවක් විදියට සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළ නෛතික පදනම සොයා බැලුවා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වූවා. එවිට පවතින තත්ත්වය අනුව නිදහස් දීමනා පත්‍රයක් ජනතාවට දීම පිළිබඳ තීරණයකට එළැඹුණා. ඒ අනුව තමයි, අදාළ වැඩපිළිවෙළ අපි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ. ඊට එහි අනුමැතිය හිමි වුණා. ඉන්පසු චක්‍රලේඛයක් එළි දැක්වූවා. 2023 අංක 1 දරන චක්‍රලේඛය නිකුත් කළේ ඒ අනුවයි. එහි පැහැදිලිව දක්වන කරුණු වෙනවා. නිදහස් දීමනා පත්‍රයක් දෙන්නේ කොහොමද කියලා ඉන් විස්තර කෙරෙනවා. සින්නක්කර ඔප්පු බෙදා දීම හරහා මෙරට විශාල ආර්ථික ප්‍රසාරණයක් වෙනවා.

l ආර්ථික ප්‍රසාරණයක් සිදු වන්නේ කොහොමද?

මේ ජයභූමි, ස්වර්ණභූමි ආදී ඔප්පුවලට අදාළව ඒවා ප්‍රදානය කෙරුණු අරමුණුවලට පිටින් කටයුතු කරන්න බැහැ. නිවහනක් වෙනුවෙන් දී ඇත්නම් ගෙයක් හදාගෙන පදිංචි වෙන්න විතරයි පුළුවන්. වෙන දෙයක් බැහැ. ඒත්, සින්නක්කර ඔප්පුව හරහා ඉඩම වාණිජ කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. හෝම් ස්ටේට් ආදී නවීන සංචාරක ආකර්ෂණ ක්‍රම විවෘත වෙනවා. සමහරු අනවසරයෙන් මහ මඟ ආසන්නයේ ඇති මෙවැනි ඉඩම්වල ඉන්ධන හල් අරඹා තියෙනවා. ඉඩම ආපහු අරන් බදු ගන්න කියනවා ඉස්සර. ඒත්, දැන් එහෙම නැහැ. ෆුඩ් සිටියක්, චැනල් සෙන්ටර් එකක් ආදී ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ඇරඹිය හැකියි. ඒ තුළින් මෙරට විශාල සංවර්ධනයක් ඇති වෙතැයි අපි අපේක්ෂා කරනවා. මේ අවස්ථාව අවුරුදු 90කට විතර පස්සේ ජනතාවට ලැබී තියෙන්නේ. ජනතා පැතුමක් ඉටුවීමක්. හැකි තරම් ආරවුල් බැහැර කරගෙන සින්නක්කර ඔප්පුවක් ලබා ගෙන තමනුත් දරුවනුත් අනාගතයේ සුරක්ෂිත පවුලක් බවට පත් කර ගන්නැයි ඉල්ලනවා.

l එහෙම නම් ඊළඟ වටය?

කලින් සඳහන් කළ, බාධා නැති, සැබෑ හිමිකරුම භුක්ති විඳින ඉඩම් තෝරා බේරාගෙන ඒ තැනැත්තන්ට නිදහස් දීමනා පත්‍ර දීමයි ඊළඟට කෙරෙන්නේ. ඒ කියන අය සිය කැමැත්තෙන්ම කොන්දේසි ඉවත් කර දෙන්නැයි භාර දුන්විට අපි ඊට නිදහස් දීමනා පත්‍රයක් දෙනවා. ඊට නිසි ක්‍රියාවලියක් තියෙනවා. ඊට ලියාපදිංචි ගාස්තු හෝ වෙනත් කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. ඒ අතරම කලින් සඳහන් කළ තෙවැනි කාණ්ඩයේ අයට ගම් මට්ටමෙන් ඒ තැනැත්තන්ගේ ගැටලු විසඳීමට කටයුතු යොදනවා. මේ වන විට ඒ කටයුතු ඇරඹී තියෙනවා. ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරින්ට ඒ කාර්යය පැවරී තියෙනවා. වෙනදාත් ඒ කටයුතුවල නිරත වූ එම නිලධාරින් කඩිනම් වැඩපිළිවෙළක් වශයෙන් හඳුනාගෙන මේ කටයුතුවල නිරත වෙනවා.

මැනුම් කටයුතු හමාර නොවූ ඉඩම්වල මැනුම් කටයුතු හමාර කළ විගස ඒ කටයුතු කෙරෙනවා. ඒ හැර ගැටලු පැවතීම බාධාවක් වෙන්නේ නැහැ. ඒ, අදාළ ගැටලු නිරාකරණය කරමින් රජය අදාළ නිදහස් දීමනා පත්‍ර දීමට කටයුතු කරන නිසයි. අපි ජනතාවට පණිවුඩයක් දෙන්න ඕනෑ. එනම්, රජයෙන් නොමිලයේ දී ඇති මේ ඉඩමේ හෝ ඊට යාබද ඉඩම්වල වෙසෙන්නන් අතර ආරවුල් පවත්වා ගනිමින් දිගුකාලීන ආරවුල්වලට මුල පුරනවා වෙනුවට ඉතා සුළු කොටසක එහා මෙහා වීමක් ඇති නම් එහෙමත් නැතිනම් වැට මායිම් ගැටලු වේ නම්, ඒ ගැටලු නිරවුල් කර ගන්නවා නම් අපහසුවකින් තොරව සින්නක්කර ඔප්පුවක් ලැබීමට ඒ අයට පුළුවනි.

l එදා මහාමාන්‍ය ඩී. එස් සේනානායකවත් නොකළ වැරැදි දෙයක් මෙදා කළා කියලයි ඇතැමුන් චෝදනා නඟන්නේ?

ඒක මෙහෙමයි. එකල පැවැති සමාජ තත්ත්වය මතයි එහෙම කොන්දේසි පවරා ඉඩම් හිමිකම් ප්‍රදානය කළේ. ඒ සමාජය නෙවෙයි නූතනයේ තියෙන්නේ. මේ අදට ගැළපෙන්නට ගත්, තීන්දු තීරණ. අනාගතයේදී එහි ස්වභාවය තවත් වෙනස් වෙන්නත් පුළුවන්.

l විදේශිකයන් අතට මේ කියන සින්නක්කර ඔප්පුවලින් ආවරණය වන ඉඩම් යම් විදියකින් යා හැකිද?

කිසිම විදේශිකයකුට මෙරට ඉඩමක් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. ඒ අයට බදු ගන්න පුළුවන්. විදේශීය ජාතිකයකුට වුවත් එහි කටයුත්තක් කළ හැකියි. ඒ අයට මේ ඉඩම් අරන් යන්න බැහැනේ. පනත අනුවත්, කිසිවකු හිතාමතා හෝ අත්වැරදීමකින් හෝ විදේශිකයකුට ඉඩමක් විකුණා ඇති නම් එය බල ශූන්‍ය වන බව දැක්වෙනවා.

l ඊළඟ අදියරේ කටයුතු ගැන හුඟ දෙනෙක් බලා ඉන්නවා?

එහි දෙවැනි අදියර විදියට ක්‍රි.ව 1935 සිට මේ දක්වා මෙරටට නේවාසික පදනමෙන් හා කෘෂිකාර්මික පදනමෙන් දුන් ඉඩම් කැබලි ලක්ෂ 20ක් පමණ වෙනවා. පවුල් ලක්ෂ 20ක් පමණ එහි වෙනවා. ඒ අයටත් අපි නිදහස් දීමනා පත්‍ර නිකුත් කළ යුතුව තියෙනවා. ඒ දීමනාපත්‍ර සමහරු බැංකුවලට උකස් කර ණය අරන් තියෙනවා. තවත් සමහරු මිය ගිහින්. දරුවන්ට නොපැවරීම නිසා ඒ දරුවන් අතර ආරවුල් ඇති වී තියෙනවා. විශේෂයෙන්ම ජයභූමි දීමනා පත්‍ර දී ඇත්තේ මැනුම් කටයුතුවලින් තොරවයි. තවත් මායිම් ආරවුල් ඇති ඉඩම් බොහොමයි. ඉතින් මේ වගේ, විවිධ ගැටලු වෙනවා. ගැටලු ඇති ඉඩම් දීමනා පත්‍රවලට නිදහස් දීමනා පත්‍ර ප්‍රදානය කිරීමට දෙවැනි අදියරේදී හැකියාවක් නැහැ. ඒත්, ඒ අයව නොසලකා හැරීමක් වෙන්නේත් නෑ. අපි තුන්වැනි වටයේදී ඒ අයට නිදහස් දීමනා පත්‍ර දීමට කටයුතු කරනවා. වැඩි කලක් නොගොස් තෙවැනි වටයත් නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ, මේ වර්ෂය තුළදීමයි. දෙවැනි අදියර ක්‍රියාත්මක වන අතරම තෙවැනි වටයට අදාළව පරීක්ෂණ පවත්වා ඊට අදාළ කටයුතු රට පුරා ග්‍රාම නිලධාරි වසම් 14,022 පුරා ක්‍රියාත්මක කෙරෙනවා.

l මෙහි සමස්ත ප්‍රතිලාභින් කොපමණක්ද?

ලක්ෂ 20ක්. මේ සඳහා රජය බිලියන 2ක මුදලක් අය වැය යෝජනා මඟින් වෙන්කර තියෙනවා. මේ ඉඩම් කුඹුරු, ගොඩ ඉඩම් ආදී වශයෙන් දී ඇති ඉඩම්. මෙරට පවතින අනෙකුත් නීතිවලට එකඟවයි ඉඩම් දී තියෙන්නේ. පාරිසරික, ගොවිජන, වාරිමාර්ග ආදී නීති, පනත්වලට අනුගතවයි මේ කටයුතු කෙරෙන්නේ. ඉතින් උරුමය කුඹුරු ඉඩමක් ගොඩ කරගෙන එහි ගෙයක් හදා ගන්න පුළුවන් විදියේ එකක් නෙවෙයි.

l වතුකරය හා උතුරු නැඟෙනහිර ප්‍රජාවටත් දැඩි ඉඩම් ගැටලු තියෙනවා?

ඔව්. ඒ අයව උරුමයෙන් ඉවත් කර නැහැ. ඉකුත්දා දඹුල්ලේදී පැවැති ඔප්පු ප්‍රදානයේදී උතුරු නැඟෙනහිර ජනතාවට ඔප්පු හාරදහසකට වඩා ප්‍රදානය කෙරුණා. වතුකරයත් එසේමයි. මුළු රටම නියෝජනය වන පරිදියි ඒ අය තෝරා ගත්තේ. විශේෂයෙන් වතුකරයේ ජනතාවට පදිංචිය සඳහා පර්චස් 4 සිට 10 දක්වා ප්‍රමාණයක් පදිංචියට වෙන් කිරීමට කටයුතු කෙරෙනවා.

l නාගරිකයන්ට මුකුත්ම නැතිද?

නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්වයි ඒ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නේ. එහි කටයුතු ඉදිරියේදී ඇරඹීමට නියමිතයි. කොළඹ නගරයේ තට්ටු නිවාසවල වෙසෙන තැනැත්තන්ට ඒ ඒ නිවාසවල සින්නක්කර අයිතිය මේ වැඩසටහන යටතේ ලැබෙනවා.

l ගොවියාට උරුමය කියලා සීනි තැවරූ වසක් දීලා කියලා ඇතැමුන් චෝදනා නඟනවා?

කෘෂි කර්මාන්තයෙන් මිදී අන්තර්ජාතික වෙළෙඳපොළ ඉලක්ක කරගෙන ගොවීන් සවිබල ගැන්වීම රජයේ අපේක්ෂාවයි. එවිට එක් කන්නයක් නෙවෙයි. එක කන්නයකින් පසුව නැවත තවත් කන්නයක් කර ගන්නා තෙක් ගොවීන්ට ආදායම් අහිමියි කියලානේ ඔය කියන්නේ. ඒත්, කෘෂි නවීකරණ වැඩපිළිවෙළ යටතේ එය එසේ නෙවෙයි. එක් කන්නයක් වගා කරලා, ඒ බිමේ ඊළඟට භෝග විවිධාංගකරණය ආදී ආදායම් උත්පාදන වැඩපිළිවෙළකට මඟ පෙන්වනවා. එය ගොවීන්ට ප්‍රාග්ධනයක්. දියුණු රටවල සහායත් ඊට ලැබෙනවා. දැනටත් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මකයි. ගොවීන් විදේශ විනිමය රටට ගෙනෙනවා. අම්මලා තාත්තලා දරුවන්ට ඉඩම් කෑල්ලක් උරුම කර දීම මිසෙක ඉඩකඩම් විකුණා දමා මුදල් ඉපැයීමේ ප්‍රවණතාවක් මෙරට ජන සමාජයේ දක්නට නැහැ.

නිදහස් දීමනා පත්‍ර දුන් පසුව සාමාන්‍ය සිවිල් නීතිය යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙහි හිමිකරු කිසිවකුට නොලියා මියගියහොත් භාර්යාවට 50%ක් අයිතියි. දරුවන්ට ඉතිරිය අයිතියි. එතෙක් ජීවිත භුක්තිය පමණක් තිබූ භාර්යාවට ඉඩමේ අයිතියත් මේ හරහා හිමි වෙනවා. අධිකරණ හරහා ඒ ගැටලු විසඳා ගත හැකියි. මේ හරහා ඉඩම් ආරවුල් බොහොමයක් අඩු වෙතැයි බලාපොරොත්තු වෙනවා.

l උරුමයේ ඉලක්කය මැතිවරණය ද ?

දැනට මෙරට මැතිවරණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කොහොමත් මැතිවරණ නියමිත කාලවලදී, පවත්වනවා. ඒ නිසා අනෙකුත් සංවර්ධන කටයුතු හා ජනතා අවශ්‍යතා ඉටු කර නොදී මඟහැරිය නොහැකියි. ඒ නිසා අපි රජයේ නිලධාරින් විදියට මෙවැනි කටයුතු නොකරන බව කිව යුතුයි. අපි කළේ අපිට අය වැය යෝජනා මඟින් අනුමත කර දෙන දේ ජනතාවට දීම පමණයි.

නුවන් මහේෂ් ජයවික්‍රම

ඡායාරූපය – නිශ්ශංක විජේරත්න

දිනමිණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *