රටටත්-පක්ෂ දෙකටත් සංහිඳියාවේ පණිවුඩයක් – මහින්ද රත්නායක

 නිදහස් දිනයේ ජාතිය අමතා ජනාධිපතිතුමා ඉතා වැදගත් කරුණු තුනක් අවධාරණය කළේ ය. නිදහස යන වචනය පිළිබඳ විග්‍රහයක් කළ එතුමා යටත් විජිතවාදයෙන් නිදහස් වීම හා අද අප කතාකරන නිදහසේ ඇති සන්දර්භීය වෙනස අවධාරණය කළේ ය. ඒ අර්ථයෙන් ගත් කල 2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාව දිනාගත්තේ ද නිදහස බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. මානව නිදහස, මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීිමේ නිදහස හා රැස්වීමේ නිදහස අර කියන ලද දිනයේ ලබාගත් නිදහස අතර තිබුණි. දුෂ්ට පවුල් පාලනය පලවාහැර ලබාගත් ඒ නිදහස අර්ථවත් කරගැනීමේ ඇති වැදගත්කම දෙවනුව පැහැදිලි කළ ජනාධිපතිතුමා ජීවත්වන්නවුන් ජයග්‍රාහිකයින් නම් යුද්ධයේදි මියගියවුන් පරාජිතයින් වන්නේ ද යන ප්‍රශ්නය ජාතිය හමුවේ තැබුවේ ය. ජනාධිපතිතුමා එ තුළ සියලූ දෙනාටම ඉගෙනගත යුතු පාඩමක් ඇතිබව කියා සිටියා පමණක් නොව ලබාගත් නිදහස අර්ථවත් වන්නට නම් ජාතික හා ආගමික සංහිඳියාව ඇතිකර ගැනීමේ තිබෙන වැදගත්කම අමතක කළේ නැත. තව ද වත්මන් ආණ්ඩුව අර කියන ලද සංහිඳියාව ඇති කිරීමට ප්‍රමුඛත්වය දී ඇති බව ද කියා සිටියේ ය. ජාතිකව පමණක් නොව ජාත්‍යන්තර සහයෝගය මෙයට ලැබුණත්, අවස්ථාවාදීන් රටට එරෙහිව ක්‍රියාකරන බව පෙන්වා දීමට මෙහිදි ජනාධිපතිතුමා මැලීවූයේ නැත.

මෙයට අමතරව ආර්ථික නිදහස පිළිබඳ කාරණය ජාතිය අමතා ජනාධිපතිතුමා කළ කතාවේ තවත් මාතෘකාවකි. වෙළඳපොළ ආර්ථිකයේ අයහපත් දේ පිටුදැක යහපත් දේ ලබාගත යුතු බව ද එතුමා කීවේ ය. අනික් පැත්තෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත් දේ ලබාගෙන අයහපත් දේ බැහැර කළ යුතු බව ද අවධාරණය කළේ ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික දර්ශනය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආර්ථික දර්ශනය අතර වන පරස්පරය ඉවත්කර ගැනීමේ යෝජනාවක් ඇති බව ජනාධිපතිතුමාගේ කතාවෙන් ගම්‍යමාන වේ. එය ද මෙවර ජාතිය අමතා ජනාධිපතිතුමා කළ කතාවේ අවධානය යොමුකළ යුතු කරුණකි. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රථම, නිදහස් දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ විශේෂ නිවේදනයේ අන්තර්ගතය පිළිබඳව ද සලකා බලමු.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත නැවතත් තමා අන්ත ජාතිවාදියකු බව සනාථ කරමින් හිරිකිතයකින් තොරව කියා සිටියේ දිනාගත් නිදහස රැක ගන්නවා වෙනුවට පොලිස් බලතල උතුරු නැගෙනහිරට ලබා දී රට පාවාදීමට සූදානම් වන බව ය. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට දැනටමත් පොලිස් බලතල ලබා දී ඇති බව පමණක් මෙහිදි අවධාරණය කළ යුතුව ඇත. මෙයට අමතරව වරාය. ගුවන් තොටුපළ වැනි ජාතික සම්පත් විදේශිකයින්ට විකිණිම තූළ අපිට හිමිවන නිදහස කුමක් ද යන්න ඔහු ප්‍රශ්නකර තිබුණි. නිදහස් උළෙලට සහභාගිවීමට තමන්ට ආරාධනාවක් ලැබුණු නමුත් එහි නොගොස් තමා මෙතනට පැමිණි බව කුරුණැගල පැවැති රැස්විමක දී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසී ය.

පරාජය විඳ දරාගැනීමට ඕනෑම පාලකයකු සමත් වන්නේ වී නමුත් ජයග්‍රහණයක් විඳදරා ගැනීමට සමත් වන්නේ විශිෂ්ට ගනයේ රාෂ්ට්‍ර පාලකයෙකුට පමණක් යන කියමන් ඇත. ඒ බව නිශේධනාත්මකව සනාථ කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යුද ජයග්‍රහණය විඳ දරා ගැනීමට නොහැකි බව ඔහුගේ නිවේදනයෙන් මොනවට පැහැදිලිකර ඇති බව පෙනේ. ඔහුට අනුව අධිකාරිවාදි පාලනයක්, යුද්ධයේ නාමයෙන් තවදුරටත් පවත්වාගෙන යා හැකි ය. ඒ අනුව ඔහු තවමත් කල්පනා කරන්නේ තම පවුලට හා සහචරයින්ට ජීවිතය පවතින තුරා යුද ජයග්‍රහණයේ ප්‍රතිලාභ හිමිවිය යුතු බව ය. ජාතියට හෙණ ගැහුවත් යුද්ධය ජය ගැනීමේ සංතෝශම ලෙස ජාතික ධනය මංකොල්ල කෑමට තමන්ට නිදහස දියයුතු බවයි ඔහු මෙයින් පවසන්නේ. තම මතයට එකඟ නොවන්නන් අතුරුදන් කිරීමට තමන්ට නිදහස තිබිය යුතුබව යි ඔහු මෙයින් නොකියා කියන්නේ. යුද්ධය ජයග්‍රහණය කරදුන් නාමයෙන් නීතියක් නැති පාලනයක් ගෙන යෑමට තමන්ට නිදහස දිය යුතු බවයි ඔහු මේ අවධාරණය කරන්නේ. වෙනත් ආකාරයකට කියන්නේ නම් ඔහු මේ කියන්නේ රාජ පරම්පරාවක් සේ තම පවුලට රාජ්‍ය පාලන කටයුතු කිරීමට නිදහසක් තිබිය යුතු බව ය.

හිටපු ජනාධිපතිවරයාගේ එම චින්තන ස්වභාවය තමන්ට පරාජයක් අත්කර දුන් බව තවමත් තේරුම් ගන්නට නොහැකිවීම ඔහුගේම අභාග්‍යකි. ඔහුව ගොනාට ඇන්දවීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි දේශපාලන පරපුටුවන් ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හැකි වී ඇත්තේ මහින්ද රාජපක්ෂට ජයග්‍රහණයක් විඳදරා ගැනිමට නොහැකි නිසාය. යුද ජයග්‍රහණය, උපේක්ෂා සහගතව විඳදරා ගැනිම විශිෂ්ට රාෂ්ට්‍ර පාලකයෙකුගේ ලක්ෂණයක් වේ. නැවත එවැනි ඛේදවාචකයක් ඇති නොවීම පිණිස එයට තුඩු දුන් සමාජ ආර්ථික කරුණු තේරුම්ගෙන ඒවායේ විපරිවර්තනයක් ඇති කිරීම එවැනි රාෂ්ට්‍ර පාලකයෙකුගේ තවත් ලක්ෂණයකි. එවැනි පාලකයෙක් නොවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන ගමන ජයග්‍රහණය විඳදරා ගැනීමට ඇති නොහැකියාව විසින්ම තීරණය කෙරෙනු ඇත.

අඩු පාඩුකම් නොමැති නමුත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා තමාගේ නිදහස් දින පණිවිඩයෙන් විශිෂ්ට ගනයේ රාෂ්ට්‍ර පාලකයෙක් බව නැවතත් සනාථ කර ඇත. රට මුහුණ දී ඇති මූලික ප්‍රශ්න දෙක වූ ජාතික හා ආගමික සංහිඳියාව බිඳදමන සාධක ඉවත් කරගැනීමේ ඇති වැදගත්කම් එම කථාවේ දී ඔහු නිවැරදි ලෙස අවධාරණය කළේ ය. මේ සඳහා රාජ්‍ය නැවත ප්‍රතිව්‍යුහගත කිරීම හෙවත් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මතු නොකිරීම අඩුපාඩුවක් විය හැකි නමුත් එයින් මෙපිට අර කියන සංහිඳියාව ඇතිකර ගැනීමට හැකි නොවන බව පුරවැසියන් ලෙස අප තේරුම්ගත යුතු ය.

නිදහස් දින කථාවේ අනික් වැදගත් කාරණය වන්නේ ආර්ථික නිදහස සඳහා වන ජනාධිපතිතුමාගේ ආර්ථික දර්ශනයයි. ඉහතින් සඳහන් කළ ආකාරයට වෙ‍ෙළඳපොළ හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත් අංග ආර්ථික නිදහස ඇති කරගැනීමේ දි සැළකිල්ලට ගතයුතු බව මෙහිදි එතුමා අවධාරණය කළේ ය. පසුපෙළ මන්ත්‍රීවරු පමණක් නොව පක්ෂ දෙකේම ජ්‍යෙෂ්ඨයන්ගේ ගේ ද අවධානය මේ සඳහා යොමුවිය යුතුව තිබේ. කැබිනට් තීන්දු ක්‍රියාත්මක කිරීමට යෑමේ දී ඇතිවන අවස්ථාවාදීන්ගේ විරෝධයන් හමුවේ තමන් ඒ තීන්දුවට එකඟ නැති බව පවසා ලකුණු දමාගැනිම නැතිනම් ඇඟබේරා ගැනීමේ ප්‍රතිපත්තියෙන් මිදීමට එය උපකාරී වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් මෙහි දී මතක තබාගත යුතු වැදගත් කරුණක් ඇත. අද රට විශාලතම ආර්ථික අමාරුකමකට මුහුණ දී ඇති බව ඔවුන් වටහාගත යුතුය. එයට බොහෝ සෙයින් වගකිය යුතු වන්නේ රාජපක්ෂ පවුලේ පාලනය වේ. ණය ගෙවීම පැත්තෙන් බැලූ කල එය අද රටට විශාල බරක් වී ඇත. වෙනත් ආකාරයකට කියන්නේ නම් මේ රට අද විශාල ණය උගුලක හිර වී ඇති අතර අද මූලික ප්‍රශ්නය වන්නේ එතනින් එළියට එන්නේ කෙසේ ද යන්න ය. මේ ණයවලින් 90%ක්ම මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ නාස්ති කළ මුදල් බව පිළිගත යුතු ය. මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරාය, එක ජාත්‍යන්තර තරඟයක් පැවැත් වූ හම්බන්තොට ක්‍රීඩා පිටිය, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවේද පවත්වා ඇත්තේ එකම එක ජාත්‍යාන්තර සමුළුවක් පමණි. නෙළුම් පොකුණ රඟහල වැනි අනවශ්‍ය ආයෝජන අතර 60%ක් පමණ මුහුදේ මාළුවන්ට විවෘතව ඇති නෙළුම් කුලුන නමැති ටිවී කුළුන මේ නාස්තිකාර වියදම් අතර වේ. මෙකී වියදම් සඳහා මුදල් ගත් කොන්දේසි හංගා ඇති අතර සමහර කොන්දේසි එළියට එන්නේ දැන් ය. මෙයින් හම්බන්තොට වරායට ගෙන ඇති ණය ප්‍රමාණය පමණක් ගතහොත් ඩොලර් බිලියන එකහමාරකි. වාරිකය හා පොලිය එක්කළ විට වාර්ෂිකව ඩොලර් මිලියන 100ක් මේ සඳහා ගෙවිය යුතු වේ. මේ මුදල ගෙවන්නට එම වරායෙන් ආදායමක් නොලැබෙන තරම් ය. එහෙයින් මෙය ආදායම් ලැබෙන මාර්ගයක් ලෙස නැවත සැලසුම් කළ යුතුව ඇත.

ජේ . ආර් ජයවර්ධනගේ ආර්ථික උපාය මාර්ගයේ දරුවන් වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, චරිත රත්වත්තේ මහතා. පාස්කරලිංගම් මහතා වැනි අය එදා මෙන් විදේශ ආයෝජන එනු ඇති බවට විශ්වාසයෙන් පසුගිය වසර දෙක ගත කළහ. 2008 ලෝක ආර්ථිකයේ බිඳවැටිම තුළ ආයෝජකයින්ට ආයෝජනය සඳහා තවම විශ්වාසයක් නැත. එය අපගේ පාලනයෙන් තොර ලෝක පරිමාණව පවතින තත්ත්වයකි. අනික් අතට ඇමෙරිකානු නව ජනාධිපති ට්‍රම්ප් විදේශවල මුදල් ආයෝජනය කරන තම රටේ ආයෝජකයින්ට විශාල වශයෙන් බදු නියම කිරීම ආයෝජන ගලා යෑමට ද බාධාවක් වි ඇත. මේ නිසා රටේ ආර්ථිකය මෙහෙයවන එජාපය පසුගිය වසර දෙක නිකරුණේ නාස්තිකළ බව එජාපය ද පිළිගත යුතුව ඇත.

මේ බව තේරුම් ගත් නිසාදෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආර්ථික මූලෝපායෙන් කැඩී රාජ්‍ය මග පෙන්වන ආර්ථික මූලෝපයකට මාරු වී ඇති බවට බොහෝ සාධක පෙනෙන්නට ඇත. හම්බන්තොට නව සංවර්ධන සැලසූම සකස් වන්නේ ද ඒ අනුව ය. පසුගිය දා ශ්‍රී ලංකාවේ චීන තානාපති පැහැලිව පවසා ඇත්තේ චීන ආයෝජන පමණක් නොව වෙනත් රටවල ආයෝජනවලට ද හම්බන්තොට විවෘත බව ය. ඩෙන් ෂියා ඕ පෙන් තරමට කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පවසන්නේ මේ මේ අංශ සඳහා ආයෝජන රටට අවශ්‍ය බව ය. එයින් පෙනෙන්නේ අයාලේ යන ආයෝජන නොව රටට අවශ්‍ය ආයෝජන පමණක් ගෙන්වාගත යුතු බව ය. 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ වැසුණු ආර්ථිකයක රාජ්‍ය මැදිහත්වීමක් නොව චීනයේ මෙන් විවෘතවූ ආර්ථිකයක රාජ්‍ය මැදිහත්මක් ලෙස මෙය තේරුම්ගත යුතුව ඇත. විශේෂ සංවර්ධන විධිවිධාන පනත අගමැතිතුමා ඉදිරිපත් කරන්නේ ද ඔහුගේ මේ විතැන්විමට අනුකූලව ය. එයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ හා ආර්ථික විද්‍යාව පිළිබඳ ටියුෂන් ගුරුවරයෙක් වූ බන්දුල ගුණවර්ධන ගේ පදයට ඇතැම් ශ්‍රිලනිප මැති ඇමතිවරුන් නැටීම කනගාටුදායක ය.

ජනාධිපතිතුමා නිදහස් දින කථාවේ දි පැවසූ ආර්ථික දර්ශනය හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආර්ථික දර්ශනය අතර තිබුණු පරතරය ඉවත්වෙමින් පවතින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් මේ බව තේරුම් ගන්නේ නම් සාමුහික වගකිමක් ඇතිව මෛත්‍රි-රනිල් ආණ්ඩුවට අවස්ථාවාදි විරෝධයන්ට මුහුණ දී රට හිරවී ඇති ආර්ථික උගුලෙන් ගලවා ගැනීමට බැරිකමක් නැත. නිදහස් දිනයේ දී ජනාධිපතිතුමා කළ කථාව මෙයට මහත් රුකුලක් වන බව අපගේ විශ්වාසය වේ.

මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *