|

පොලී අනුපාතික විශාල ලෙස පහත වැටේ! – ඉකොනොමැට්ටා

පොලී අනුපාතික විශාල ලෙස පහත වැටේ!
අද (2024 පෙබරවාරි 7) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික විශාල ලෙස පහත වැටී තිබෙනවා. ඒ පසුගිය සතියේද එවැනිම පහත වැටීමක් සිදු වීමෙන් පසුවයි. පහත තිබෙන්නේ අද වෙන්දේසියේ පොලී අනුපාතික.
දින 91 – 10.96%
දින 182 – 11.07%
දින 364 – 10.73%
දෙසතියකට පෙර (2024 ජනවාරි 23) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදීද බිල්පත් අලෙවි වූයේ මීට වඩා සැලකිය යුතු තරම් ඉහළ පොලී අනුපාතික වලටයි.
දින 91 – 13.35%
දින 182 – 13.41%
දින 364 – 12.78%
මාස විස්සකට පෙර (2022 අප්රේල් 7 දින), වත්මන් මහ බැංකු අධිපතිවරයා ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව, උද්ධමනය ඉක්මණින් අඩු කර ගැනීම ඉලක්ක කර ගනිමින්, පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාමට ඉඩ සැලැස්වූවා. පහත තිබෙන්නේ ඔහු ධුරයේ වැඩ භාර ගෙන මාස හතරකට පසුව (2022 සැප්තැම්බර් 7) පොලී අනුපාතික පැවති මට්ටමයි.
දින 91 – 32.89%
දින 182 – 31.29%
දින 364 – 30.50%
කෙසේ වුවද, මේ වන විට පොලී අනුපාතික වත්මන් අධිපතිවරයා වැඩ භාර ගන්නා විට පැවති මට්ටමට සාපේක්ෂව වුවද විශාල ලෙස පහත වැටී තිබෙනවා. පහත තිබෙන්නේ ඒ වන විට (2022 අප්රේල් 6 දින) පැවති පොලී අනුපාතිකයි.
දින 91 – 14.12%
දින 182 – 15.36%
දින 364 – 15.69%
උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවක් සතු ප්රධානම මෙවලම පොලී අනුපාතිකයි. වත්මන් අධිපතිවරයා විසින් ධුරය භාර ගැනීමෙන් අනතුරුව එම අවිය නිවැරදි ලෙස ප්රයෝජනයට ගැනුනා.
පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාම බොහෝ දෙනෙකුගේ කණස්සල්ලට හා විවේචනයට හේතු වුවත්, එමගින් 73.7% වැනි (ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව) ඉහළ මට්ටමක පැවති උද්ධමනය කෙටි කලක් තුළ මහ බැංකුවේ ඉලක්ක මට්ටම දක්වා පහත දමා ගැනීමට හැකි වුනා.
ආසන්න කාලයකදී උද්ධමනය මෙවැනි ඉහළ මට්ටමක පැවති බොහෝ රටවල එම ඉහළ උද්ධමනය තවමත් පාලනය වී නැහැ. පොලී අනුපාතික නිසි සේ ප්රයෝජනයට ගනිමින් ලංකාවේ උද්ධමනය පාලනය කිරීමෙන් අනතුරුව දැන් පොලී අනුපාතිකද දිගුකාලීනව පැවති සාමාන්ය මට්ටම දක්වා පහත වැටෙමින් තිබෙනවා.
කෙසේ වුවද, මහ බැංකුවේ මුදල් ප්රතිපත්තියට අමතරව, පොලී අනුපාතික පහත වැටීම කෙරෙහි රාජ්ය මූල්ය ප්රතිපත්ති වෙනස්කම් වලින් විශාල බලපෑමක් සිදු වී තිබෙනවා. මේ වන විට රජයේ ආදායම් වැඩි කර ගැනීම හා වියදම් පාලනය හරහා ප්රාථමික අයවැය අතිරික්තයක් ඇති කරගෙන ඇති බැවින් පරණ ණය හා පොලී ගෙවීම සඳහා හැර රජය පවත්වා ගෙන යාම සඳහා ණය ගැනීමේ අවශ්යතාවයක් නැහැ. ඒ නිසා, රජය විසින් අලුතෙන් ණය ලෙස ලබා ගන්නේ පරණ ණය හා පොලී වෙනුවෙන් දේශීය මුදල් වෙළඳපොළට පොම්ප කරන රුපියල් ප්රමාණයට වඩා අඩු රුපියල් ප්රමාණයක්.
ඉහත තත්ත්වය තුළ දේශීය මුදල් වෙළඳපොළේ රුපියල් ද්රවශීලතාවය ඉහළ යමින් තිබෙනවා. මහ බැංකුව විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීම හරහා මෙම අතිරික්ත ද්රවශීලතාවයෙන් කොටසක් අවශෝෂණය කර ගන්නා නමුත් අනෙක් අතට මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමද සිදු කරමින් සිටින නිසා නැවතත් වෙළඳපොළේ රුපියල් ද්රවශීලතාවය ඉහළ යනවා. ජනවාරි මාසය තුළ රටේ නිල සංචිත තව දුරටත් ඉහළ යාම මගින් හා ඩොලරයක මිල පහත යාමෙන් පෙන්නුම් කරන්නේ මහ බැංකුව විසින් දිගින් දිගටම වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් සිටින බවයි.
රජයේ ණය ගැනීම් සීමා වෙද්දී බැංකු පද්ධතිය තුළ ඉතිරි වන අතිරික්ත රුපියල් ප්රමාණය පෞද්ගලික අංශයට ණය ලෙස දීමට බැංකු වලට සිදු වෙනවා. මෙහිදී ණය සැපයුම පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම ඉක්මවීමේ ප්රතිඵලයක් ලෙස එම ණය පොලී පහත වැටීමක්ද සිදු වෙමින් පවතිනවා.
පොලී අනුපාතික විශාල ලෙස පහත වැටේ!
ECONOMATTA.BLOGSPOT.COM
පොලී අනුපාතික විශාල ලෙස පහත වැටේ!
sri lanka economy

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *