ගුරු අරගලය හරහා රාජ්‍ය සේවය දැකීම – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
රාජ්‍ය සේවයට අයත් ගුරුවරුන් වෘත්තීය ගැටළු වලට වඩා බලය අල්ලන පිරිසක් ශක්තිමත් කිරීමට දඩමීමා කර ගැනීමක් මෙයින් පැහැදිලිවේ. නවසිය පණස් ගණන්වල සනීපාරක්ෂක කම්කරුවන් යොදවා කොළඹ නගරය අසූචි නරකාදිය බවට පත් කිරීමට වඩා මේ උපාය අනාගත පරපුර අනාථ කරවන්නකි. වර්තමාන ගුරු නායකයන් පාසල් ආරම්භ වන තෙක් වර්ජන සඳහා කල් මරන්නේ කොළඹ නොව රටම ගිනි තැබීමටය.
සේවා කොන්දේසි එක සමාන වුවද වෘත්තීය වශයෙන් ගුරුවරුන්ට පැවරුණ බොහෝ ආචාර විධි මග හැරිය නො හැකි වගකීම් වේ. ගුරු සේවයට නිල ඇඳුමක් නැතත් විච්චූරණ ඇඳුම් විලාසිතා පාසලට තහංචිය. ඇඳුමෙන් පවා සංවර විය යුතු මෙන්ම සංවරකම ආදර්ශයට දිය යුතු ගුරු වෘත්තිකයන් කෙරෙහි ජන ආකල්ප බලපෑම සුළුපටු නොවේ.
එවැනි සම්මත ගෞරවනීය ගුරුවරුන් සතු වර්ජන දියත් කිරීමට පාසල් පටන් ගන්නා තෙක් ජෝෂප් ස්ටාර්ලින් බලා සිටීම යනු පාසල් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල කිරීමෙන් නො නැවතී, ගරු ගෞරවය කෙළෙසීමක්ද වේ. පාලකයන්ට එරෙහිව ආයුධයක් හැටියට රටේ අධ්‍යාපනය බිලි කිරීම යහපත් නොවේ. අසාධ්‍ය රෝගියෙකුට දුන් ඔක්සිජන් සැපයුම ගලවා සෞඛ්‍ය සේවා අකුරට වැඩ කිරීම මෙන්ම සහ ජෝෂප් ස්ටාර්ලින්ගේ උපක්‍රමය ද මනුෂික නොවේ.
තවමත් රටේ ආර්ථික අර්බුදය විසඳී නැත. එකී පසුබිමෙහි වෘත්තිකයන් අරගල කරති. රස්සා නැති එවුන් මහ පාරේදීත් වලළු මාල කඩමින් මංකොල්ල කති. පොලිසියට හසුවූ සැකකාර ඝාතකයෙකු කියා තිබුණේ ලොරියේ මාසික වාරිකය ගෙවීම සඳහා ඝාතන කොන්ත්‍රාත්තුව භාර ගත් බවය. ලීසින් වාරිකය ගෙවීමට මිනී මැරිමත් ඉල්ලීම් ලබා ගැනිමට ගුරු වෘත්තීකයන් පාසල් දරුවන් පන්ති කාමරවල තනි කිරීමත් අතර වෙනසක් නැත. ආර්ථික අර්බුදයට එකම හේතුව දූෂණ වංචා පමණක් නොවේ. කිසි දිනෙක අත් නොවිඳි එකී ව්‍යසනයට හේතුව පවත්නා තත්වය කළමනාකරණය නො හැකියාවය.
අප්‍රේල් අරගලය පුපුරා ගියේ ඉන්ධන අර්බුදය සමගය. එක් ලීටරයක් රුපියල් දහසකට හෝ ලබා ගත නොහැකි තරමට ඉන්ධන හිඟවීමෙන් ඇති වූ ජන පීඩනය පාලකයා පළවා හරින තරම් බරපතල විය. සත්තකින්ම එදා පැවතියේ සීමිත ඉන්ධන ප්‍රමාණය බෙදා හැරිමට පැවති නො හැකියාව පමණක් බව බොහෝ දෙනාට මතක නැත. අවශ්‍ය තරම් ඉන්ධන තොග නො පැවතියද, එක් රැයක් තුළ ඉන්ධන පෝලිම් අවසන් කිරීම කළමනාකරණ හැකියාවකි. ගෝඨාභයට කිව්ආර් කේතය ගැන අවබෝධයක් තිබුණා නම් අදටත් ඔහු රටේ ජනාධිපති බවට සැක නැත. එහෙත් ලංකාවට ඇණවුම් කළ ඉන්ධන නැව් ගොඩ ගත නොහැකිව ප්‍රමාද ගාස්තු ගෙවමින් වරායේ තිබීම යනු ඍජු ආර්ථික අර්බුදයේ කොටසකි. ගෝඨා නික්ම යන තෙක් පැවති අරගලයෙහි පක්ෂ දේශපාලනයක් නොවීය.
අරගලය කෑ ගසා කීවේ ක්‍රමයක් මිස පුද්ගලයෙක් අනවශ්‍ය බවය. හෙවත් රට කඩා වැටුණේ රාජ්‍ය පාලන ක්‍රම වේදයක් නො පැවති නිසාය. 2022 අප්‍රේල් – ජූලි අතර ඉන්ධන පෝලිම්වල මිනිසුන් මිය ගියේ ආහාර ඖෂධ හෝ වසංගත හෝ නො හඳුනන තුවක්කු කරුවන් නිසා නම් කිව්ආර් කේතයට එක් රැයින් එකී ප්‍රාතිහාර්යක් පෑ නො හැකිය.
එපමණක් නොවේ. අප්‍රේල් මැයි ජූනි ආදි මාස කිහිපයක් රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප කොටස් වශයෙන් ගෙවනු ලැබීය. අද වැඩි වැටුප් සහ දීමනා ඉල්ලා රෝගින් පාසල් දරුවන් ප්‍රාණ ඇපයට ගැනීමෙන් අදහස් වන්නේ එක් වසරක් තුළ වැටුප් වැඩි කිරීමට හැකි ආර්ථීක වර්ධනයක් පවත්නා බව විපක්ෂයද පිළිගත යුතුය.
2022 ජූලියේ නැවත පාසල් ගිය උසස් පෙළ දරුවන් කීවේ වසර ගණනාවක් රටේ පාසල් වසා තිබුණ බව අරගලයට හෝ සිහිපත් නොවූ බවය. අද ඒ දරුවන් උසස් පෙළට පෙනී සිට ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටිනාතර ජෝෂප් ස්ටාර්ලින්ගේ අරමුණ පාසල් අධ්‍යාපනය අවුල් කොට උසස් පෙළ ප්‍රතිපල පමා කොට රටේ දේශපාලන වෛරයක් ඇති කිරීමය.
අද විදේශ විනිමය හෝ ඉන්ධන හිඟයක් හෝ ඉන්ධන පෝලිම්වල මිනිසුන් මිය යාම වෙනුවට මාධ්‍ය වාර්තා කරන්නේ වර්ජන තර්ජන සහ සේවා බිඳ වැටීම් නිසා කෑ මොර දෙන රෝගීන්ගේ අඳොනාවන්ය. සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති කියන්නේ තම අඛණ්ඩ වැඩ වර්ජනයෙන් පීඩාවට පත් රෝගින් මුදවා ගැනීම ආණ්ඩුවේ වගකීමත් බවය. ජීවිත පරදුවට තබා මේ ඉල්ලන්නේ සල්ලිය. බදු ක්‍රමය අක්‍රිය වූ ලංකාවට නැත්තේද මුදල්ය. අවශ්‍ය වියදම් සඳහා බදු අය කරන විට බදු නො ගෙවන සේවකයන් පවා බදු විරෝධි සටනට කැඳවති. මේ වසරේ දින 28කට සංචාරකයන් දෙ ලක්ෂයකට ආසන්න ගණනක් පැමිණීම ආර්ථික ජයග්‍රහණයකි. ඒ හරහා අපට ලැබෙන්නේ ඩොලර්ය. මේ වනවිට රුපියල සහ ඩොලරය නිරන්තර ඉහළ පහළ යමින් සිදුවන ආර්ථිකයේ ධනාත්මක චලනයට වැඩ වර්ජනයකට ලැබෙන ප්‍රසිද්ධිය ලැබෙන්නේ නැත.
පසුගිය සතියේ රජයේ විධායක නිලධාරින්ද සිය වෘත්තීය සමිති ශක්තිය මාධ්‍ය හරහා ආණ්ඩුවට මෙන්ම රටේ ජනතාවටද තහවුරු කළහ. මෙහිදී සමෘද්ධිය වෙනුවට අස්වැසුම ක්‍රියාත්මක කිරිමේදී සමෘද්ධි නිලධාරින්, ග්‍රාම නිලධාරින් මෙන්ම ප්‍රාදේශීය ලේකම් වරුන්ද එකී සේවා වලින් ඉවත්ව ඇති කළ පීඩනයෙන් බැට කෑවේ දුප්පතුන් මිස රටේ පාලකයා නොවේ. සමෘධිය යනු නැත්තන්ගේ දෛනික උවමනා සඳහා දෙනු ලබන කරුණාසහගත දීමනාවක් නොව පක්ෂ දේශපාලනය ශක්තිමත් කරන ව්‍යාපෘතියක් බව රහසක් නොවේ.
එකී සහනාධාර ක්‍රියාවලිය විගණනයෙන් නිදහස් කිරීමට ගම නැගුම පනත් කෙටුම්පතට ඇතුළත් වගන්ති ඉවත් කිරීමට කළ අධිකරණ නිර්දේශ නිසා ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට ගෙදර යැවීම ඊට සාක්ෂියකි. රාජ්‍ය සේවයේ බහුතරය අස්වැසුමට බාධා කළේ සමෘද්ධිය තුළ පැවති දේශපාලන නැඹුරුව රැකගක ගැනීමටය. එහි ප්‍රතිපලය ප්‍රජාතන්ත්‍රවාදය විකෘති වීමය. තම නිත්‍ය වගකීමෙන් පිට පැනීම නිසා රාජ්‍ය සේවය වී අදාන්ත චරිත අසරණ මිනිසුන්ගේ වීරයන් බවට පත්විය.
විපක්ෂය දූෂිතයන් ලෙස නම් කළ බොහෝ දේශපාලනඥයන් හැට හැත්තෑ දහසක් මනාප ලබන්නේ රජයේ නිලධාරින්ගේ වරද මිස ඡන්ද දායකයන්ගේ දෝෂයක් නොවේ. එහෙත් ඊළගට රටේ බලය ඉල්ලන දේශපාලන ව්‍යාපාර පවත්නා පාලකයා එළවීමට යොදා ගන්නේ ඒ ඊනියා රාජ්‍ය සේවා වෘත්තිය සමිති ශක්තියම නොවේද? මහජනතාවට රාජකාරි ලිපියක් යවනතරම්වත් මූල්‍ය ශක්තියක් නිල වශයෙන් තමන්ට නැති බව දන්නා රාජ්‍ය විධායක නිලධාරින් සහ පාසල් වාරය එළඹෙන තෙක් වෘත්තීය ක්‍රියා මාර්ග දියත් කිරීමට බලා සිටින ගුරු වෘත්තිකයන් අතර වෙනසක් නැත.
දූෂණය වංචාව ගැන ඇඟිලි දිගු වන්නේ 225කට පමණක් වුවද රටේ ජීවත්වන කෝටියකට අධික කතා නො කරන නිහඬ පුර වැසියන් දරුවන් පාසල් වලට ඇතුල් කිරීමට පවා පගා ගන්නා විදුහල්පති සේවය දැන සිටියද බලය ඉල්ලන විපක්ෂය ඒ ගැන කතා නො කරති.
අකල් මරණයකට මුහුණ දුන් සනත් නිසාන්ත රාජ්‍ය ඇමතිවරයා ගැන සමහර සමාජ මාධ්‍යවල පළ වූ අදහස් මෙන්ම ඔහුගේ අභාවය ගැන හඬා වැටුණ ජනතාව යනු ප්‍රජාතන්ත්‍රවාදය නම් කාසියේ දෙ පැත්තක් නම් ඒ කාසිය මැතිවරණයකදී හැරෙන්නේ තම නියෝජිතයා වෙතටය. රාජ්‍ය නිලධාරියෙකු කාර්යාලයෙන් පිටතට ගෙනැවිත් ගස් බැන්ඳ මර්වින් සිල්වා මෙන්ම සනත් නිසාන්තද සමන්විත දේශපාලන ධාරව කෙරෙහි ජනතාව ආකර්ෂණය වුණේ දූෂිත රාජ්‍ය සේවයේ බිඳ වැටීම නිසාය.
මර්වින් ගස් බැඳි රාජ්‍ය සේවක සහෝදරයා වෙනුවෙන් හෝ අනුරාධ ජයරත්නගෙන් රාජ්‍ය දේපලෙන් ඉවත් වීමට දැනුම් දුන් හේතුවෙන් ස්ථාන මාරු කළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් වරිය වෙනුවෙන් අස්වැසුමට එරෙහිව ග්‍රාම නිලධාරින් සමග එක්ව සටන් කළ කිසිදු පරිපාලන නිලධාරියෙකු හඬක් නැගුවේ නැත. දේශපාලනික සමෘද්ධිය වෙනුවෙන් අස්වැසුම ව්‍යාපෘතිය අඩාල කිරීමට ඉහළ සිට පහළට ශ්‍රේණි භේදයක් නැතිව රාජ්‍ය සේවය පෙළ ගැසුණේ රාජ්‍ය මුදල් අවභාවිතා වන බව නො දැන නොවේ. රාජ්‍ය සේවයේ බහුතරය සහාය දුන් දේශපාලන ධාරාව නියෝජනය කළ මර්වින් සිල්වා දළදා මාලිගා අනුරුවක් ඉදි කළ පුද්ගලයා හමුවී නීතිය අතට ගෙන එය කඩා බිඳ දමන තර්ජනය කරන අයුරු මාධ්‍ය රටටම වාර්තා කළද කිසිවෙකු කට ඇරියේ නැත.
කවුරුන් ගර්හා කළද, පුත්තලමේ සනත් නිසාන්ත යනු වැඩිම ජන පදනමක් සහිත පුත්තලම් නායකයා වන්නේ මේ තත්වය තුළය. ඒ ප්‍රදේශයෙන් කළ විමසුමකදී දැන ගත් කරුණු අනුව එකී පුද්ගලයන් තේරී පත් වීම ගැන ඡන්දායකයන්ගේ නොව ගුරු වෘත්තිකයන්ද ඇතුළු වර්තමාන රාජ්‍ය සේවය වගකිව යුතුවේ. ලක්ෂ ගණනින් ඩෙක්ස් බංකු අලෙවි වන පාසලකට සාමාන්‍ය පවුලක දරුවෙකු ඇතුළත් කරවා ගැනීමට සනත් නිසාන්තලාගේ ගර්ජන තර්ජන අත්‍යාවශ්‍ය වුණේ එහෙමය. ආදායම් වාර්තා නො තකා සමෘද්ධිය බෙදුණේත් එහෙමය. ඒ අනුව සනත් නිසාන්ත යනු පුත්තලමේ සාමාන්‍ය මිනිසුන්ට ඉටු දෙවියෙකි.
මේ තත්වය පුත්තලමට පමණක් නොව මුළු රටටම පොදුය. සිංහරාජය හරහා මහා මාර්ගයක් තැනීමේ නීති විරෝධි සිද්දියේදී වන සංරක්ෂකයන් සිටියේ නිදි වැදිලාය. සිද්ධිය ඇවිස්සුණ විට ඒ පාර කපා අවසන් වන තෙක් කල් මැරූ ජනාධිපති ගෝඨාභය ව්‍යාපෘතිය අනුමත කළ පසුව නාටකය අවසන් විය. මීගමුව කඩොලාන වෙනුවෙන් ගම්පහ වන සංරක්ෂණ අධ්‍යක්ෂ දේවානි ජයතිලක මෙහිදී ව්‍යතිරේකයකි. අපේ රටේ නීතිය මෙසේ වාසියට නුහුරට හැරවීම ගැන නිලධාරින් වගකිව යුතුවේ. ස්ථාන මාරුවක් උසස්වීමක් අපෙක්ෂාවෙන් නිතිය නැමූ රාජ්‍ය නිලධාරියා එහි වන්දිය සේවා කාලය පුරා ගෙවීමත් මර්වින්ලාගේ නිසාන්තලාගේ සේවය හෙටත් සාමාන්‍ය ජනතාව අපේක්ෂා කිරීමත් සමාන්තර රේඛා දෙකකි.
ජෝෂප් ස්ටාර්ලින්ලා පාසල් වාරය එන තෙක් වර්ජන පමා කරන්නේ ගිනි අවි ශක්තිය විශ්වාස කළ දේශපාලනයක් වෙනුවෙනි. ලංවිම ආදායමෙන් සේවක ණය පොලිය හා උපයන විට බද්ද ගෙවීමට අනුමත කළේ රාජ්‍ය නිලධාරින් මිස වෘත්තිය සමිති නායකයන් නොවේ. වරායේ ඉරු දින අතිකාල කිරිම වෙනුවෙන් ලබන පැය අසූවක දීමනාව තවත් ආයතනයක් ඉල්ලා සිටියොත් කරන්නේ කුමක්ද? නිදහස් ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය හරහා රටට සිදුවූ විනාසය රටේ සාමාන්‍ය ජනතාව තේරුම් නො ගන්නා තෙක් සක්‍රයාට හෝ රට ගොඩ ගත නොහැකි වේ.
(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com