|

ශ්‍රී ලංකාව අද විවෘත ආර්ථිකයක් තිබෙන රටක් නොවේ – මහාචාර්ය සිරිමල් අබේරත්න

ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයක් ඇති රටක් ලෙස සමහරු හැඳින්වුව ද මේ වනවිට මෙරට විවෘත ආර්ථිකයක් නොමැති බව මාහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ප්‍රකාශ කරයි.

1977 දී මෙරට ආර්ථිකය විවෘත කිරීම සිදුවුයේ අර්ධ වශයෙන් බවත්, කළ යුතුව තිබු බොහෝ ප්‍රතිසංස්කරණ  සිදු නොකළ බවත් කී ඒ මහතා පසුගිය වසර 20 ක 25 ක කාලයේ එම තත්ත්වය ද ආපසු හරවා ඇති බව ද කී ය.

විවෘත ආර්ථිකයක් පවත්වාගෙන යෑම සඳහා නීතියේ ආධිපත්‍යය පැවතීම අත්‍යවශ්‍ය කාරණයකි. පොලීසිය , අධිකරණ පද්ධතිය ඇතුළු එම ක්ෂේත්‍රයේ කිසිදු බලවත් ප්‍රතිසංස්කරණයක් පසුගිය මුළු කාලයේ ම සිදු වී නැත.

2019 වසරේ සංඛ්‍යාලේඛන අනුව මෙරට රජය ආදායමෙන් සියයට 18 ක් ලබාගෙන ඇත්තේ ආනයන මත පනවා ඇති බදු මගින් ය. ඉන්දියාවේ එය සියයට 4 කි. බොහෝ රටවල එය පවතින්නේ සියයට 2 -4 මට්ටමේ ය. සිංගප්පුරුවේ සියයට 0 කි. ආනයන මත විශාල ලෙස බදු අයකරන ශ්‍රී ලංකාව විවෘත රටක් වන්නේ නැත.

ලෝක ආර්ථිකයට  විවෘතභාවය පිළිබඳ  දර්ශකවලින් අපරට සිටින්නේ ඉතා පහළිනි. ලෝකයේ අනෙක් බොහෝ රටවල් විවෘතභාවයෙන් සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා ඉහළින් ය.

දැන් අපගේ අභියෝගය වී ඇත්තේ ආර්ථිකයේ දැනට නැති විවෘත භාවය ඇතිකර ගැනීම යි.

අඩ්වොකාටා ආයතනය සංවිධානය කළ “ධනවත් රටක් හදන ආර්ථික නිදහස ” සමුළුවේ සාකච්ඡා මණ්ඩපයට එක්වෙමින් මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා , අඩ්වොකාටා  ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහත්වරුන්ගේ දේශනාවලින් අනතුරුව පැවති සාකච්ඡා මණ්ඩපයට මහාචර්ය සිරිමල් අබේරත්න , රාජ්‍ය ඇමති තාරක බාලසුරිය, පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්වරු සහභාගී වුහ. සභාව මෙහෙයවීම ප්‍රහෂණ ශිල්පී හසලක තුසාර මහතා විසින් සිදුකරනු ලැබීය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *